ගෝව නිදහස්‌ කර ගැනීමේ පුවත

ගෝවේ ගෑනු පරාදයි යන සිංදුව ඇසෙන විටත්, තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ දේහය රටින් බැහැර කිරීමේ පුවතත්, ලක්‌දිව මුහුදුබඩ පෙදෙස්‌ අල්වාගත් පෘතුග්‍රීසි ජාතිකයන් ගැන කියෑවෙන විටත් ගෝව යන නම ඒ හා සමගම සිහියට නැගීම වැළකිය නොහැක.

ඉන්දියාවට අයත් ගෝව එක්‌ පසෙකින් අරාබි මුහුදට මුහුණපා ඇත. ඉන්දීය බටහිර වෙරළේ පිහිටි මෙම බිම් පෙදෙස වර්ග සැතපුම් 2625 කි. යපස්‌ ආකරවලට ප්‍රසිද්ධ මෙම පෙදෙසින් ලෝකයේ හොඳම මැංගනීස්‌ නමැති ලෝහය ද ලැබේ.

පළමුව පෘතුගීසීන් විසින් ගෝව යටත් කර ගන්නා ලද්දේ 1510 පෙබරවාරි 27 වැනිදාය. එයට දින කීපයකට පසු එල්ල කරන ලද ප්‍රති ප්‍රහාරයකින් ගෝව නිදහස්‌කර ගන්නා විට දේශප්‍රේමීහු 6000 ටත් අධික ප්‍රමාණයකින් තම දිවි අහිමි කර ගත්හ. එහෙත් ඊට හය මසකට පසුව සෙන්පති ඇල්බියුරේක්‌ සමඟ පැමිණි පෘතුග්‍රීසී බළකාය නැවත වරක්‌ ගෝව යටත් කර ගන්නා ලදී. තමන් නැවත ගෝව යටත් කර ගත් බව පෘතුගාලයේ ලිස්‌බන් පුරවරයේ වාසය කළ තම අධිරාජයාට ඇල්බියුරේක්‌ දැන්වූ අතර එහි මෙසේ ද සඳහන්ව තිබේ.

"....... නගර ගම් බිම් ගිනි දමා විනාශ කළා. හමුවන සෑම ස්‌වදේශිකයකුම කපා මරා දැම්මා. මුස්‌ලිම් ජාතිකයන් ඔවුන්ගේම පල්ලි තුළට ගාල්කර ඒවාද ගිනිබත් කළා..."

ගෝව නිදහස්‌ කර ගැනීමේ සටන නොකඩවා ශතවර්ෂ ගණනාවක්‌ තිස්‌සේ පැවතියද, එහිදී මුහුණට මුහුණලා මෙන්ම ගරිල්ලා ක්‍රමයට ද සටන් කළේ වී නමුදු එය දිනා ගත නොහැකි වූවා පමණක්‌ නොව, ඒ සඳහා දිවි පිදූ ස්‌වදේශිකයන් දහස්‌ ගණනක්‌ ද විය. පෘතුගීසීන්ගේ තාඩන, පීඩන මැද එහි වැසි ජනතාව බලවත් පිළිකුලින් යුතුව ජීවත් වූහ.

ඉන්දියාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා ගැනීමෙන් පසුව පවා ගෝව දමාන් හා ඩියු යන ප්‍රදේශ පෘතුග්‍රීසීන් විසින් දිගටම තමන් භාරයේම තබා ගන්නා ලදී. ඔවුන්ගේ පාලනය යටතේ එහි විසූ වැසියන්ට දේශපාලන නිදහස පමණක්‌ නොව සාමාන්‍ය ප්‍රජා අයිතිවාසිකම් ද අහිමිකර තිබිණි. යමෙකු ඒ සඳහා උද්ඝෝෂණයක නියුතු වී නම් ඔහුට හිමි වූයේ අමානුෂික දඬුවම් ය. ගෝවේ පාලනය පිළිබඳව එහි වසන්නන් වරින්වර ඉන්දීය නිදහස්‌ රජයට දන්වා සිටි නමුදු ඒ සඳහා ඔවුන්ට ක්‍රියාකිරීමට ඉඩ ප්‍රස්‌ථාවක්‌ ලැබුණේ නැත.

මේ අතරතුර ගෝව නිදහස්‌ කර ගැනීමේ ස්‌වෙච්ඡා සේවා කණ්‌ඩායමක්‌ සත්‍යග්‍රහ ව්‍යාපාරයක්‌ ඇරඹීමට තීන්දුවක්‌ ගත්හ. එම තීරණයට අනුව 1955 අගෝස්‌තු 15 වැනිදා 1700 දෙනකුගෙන් සමන්විත සත්‍යග්‍රාහී කණ්‌ඩායම ගෝව බලා පිටත් වූහ. පරංගි (පෘතුග්‍රීසීන්) රයිපල් මෙහිදී ක්‍රියාත්මක වීමේ හේතුවෙන් ජීවිත රාශියක්‌ අහිමි විය. ගෝව මුදා ගැනීමේ සටනේ මුල් පියවර (නිදහසින් පසු) ඇරඹියේ එදිනය. "පරංගි සිරගෙයකත් මහා නිරයත් අතර වෙනසක්‌ නැත." යන කියුමෙන් පෘතුග්‍රීසි පාලකයන්ගේ වැඩ කටයුතුවල අමානුෂික භාවය කදිමට පිළිබිඹු කෙරෙන්නේ ය.

සාමාන්‍යයෙන් ගෝවේ ජනගහනයෙන් හින්දු භක්‌තිකයෝ 62% ක්‌ පමණ ද, කතෝලිකයෝ 37% ක්‌ පමණ ද වෙසෙති. ඉන්දියාවේ වෙසෙන කතෝලිකයන්ගේ අදහස වන්නේ ද තම සහෝදර කතෝලිකයන්ගේ ආරක්‍ෂාව සඳහා ගෝව ඉන්දියාවට අයත් විය යුතු බවය. තවද සියලුම ස්‌වභාවික පිහිටීම් හා ඓතිහාසික වාර්තා අනුවද ගෝව ආදියේ ඉන්දියාවට ඈඳී පැවැතිය ද, නිදහසින් පසු කොතෙකුත් වෑයම් කළ ද ප්‍රශ්නයට විසඳුමක්‌ ලැබුණේ නැත. ඉන්දීය බටහිර වෙරළේ උතුරින් මහාරාෂ්ඨ ප්‍රාන්තය ද, නැඟෙනහිරින් හා දකුණෙන් කර්ණාටක ප්‍රාන්තයට ද මැදිව ගෝව පිහිටා ඇත.

තත්ත්වය මෙසේ තිබියදී 1961 නොවැම්බර් 17 වැනිදා නියමිත මුහුදු මාර්ගයේ ගමන් කරමින් සිටි ඉන්දීය ආණ්‌ඩුවට අයත් මඟී නෞකාවකට ද නොවැම්බර් 24 වැනිදා ඉන්දීය මුහුදේ දී, ධීවර යාත්‍රාවකට ද, පෘතුගීසි හමුදාවෝ වෙඩි තැබූහ. මෙම වෙඩි තැබීම හේතුවෙන් එක්‌ පුද්ගලයකු මියගිය අතර, කීපදෙනකුටම තුවාල සිදුවිය. ඉන්දීය ආණ්‌ඩුව මේ සම්බන්ධයෙන් විරෝධය පළ කර සිටියද ඒ වෙනුවෙන් පෘතුග්‍රීසීහු කනගාටුව පළකිරීමක්‌ හෝ වරද පිළිගැනීමක්‌ නොකොට ඒවා ගණනකටවත් නොගෙන සිටියහ. ඉන්දියාවේ ඉවසීම (විශේෂයෙන් ම අගමැති ශ්‍රී නේරුතුමාගේ) අවසන් කිරීමට ආසන්නතම හේතු කාරණා වූයේ ඒවාය. උතුරු අත්ලාන්තික්‌ ගිවිසුම් සංවිධානයේ (භAඔධ) පෘතුගාලය ද සාමාජික රටක්‌ බැවින් එම සංවිධානයේ කටයුතු සඳහා ගෝව යොදා ගැනීමේ හැකියාව ගැන ද නේරුගේ අවධානය යොමු වී තිබිණි.

මිනිස්‌ මනසක්‌ හා හදවතක්‌ ඇත්තන් ද පෘතුග්‍රීසීන් අතර ද සිටි බවට එම ජාතිකයකු විසින්ම කරන ලද ප්‍රකාශයකින් තහවුරු වේ. ක්‍රි. ව. 1759 දී ප්‍රතිරාජයකු වූ කවුන්ට්‌ ඒගා ගෝවට පැමිණ එහි තතු සියෑසින්ම දැක බලා කම්පා විය. ඔහු මෙසේ ප්‍රකාශ කර සිටියේය. "මෙය වූ කලී මුළු මහත් මිනිස්‌බවට කෙරෙන්නා වූ නිග්‍රහයකි. ගෝවේ වෙසෙන ස්‌වදේශිකයන් කෙරේ පෘතුග්‍රීසීන් කටයුතු කරන අන්දම අමානුෂිකය. වර්ණයේ වෙනස්‌කම නිසා මෙතරම් තිරශ්චීන අන්දමට මිනිසුන්ට සැළකිය යුතු නොවේ. ශත වර්ෂ හතරහමාරක්‌ (අවුරුදු 451 ක්‌) තිස්‌සේ ලෙයින් හා කඳුලින් නැහැවුන ගෝවේ ස්‌වදේශීය ජනයාගේ ස්‌වාධීනත්වය පිළිබඳ වූ බලාපොරොත්තුව ඉටුකිරීමට 1961 දී නේරු ඉදිරිපත් විය. ඒ වුවමනාවටත් වඩා ඉවසීමෙන් යුතුව කටයුතු කළ නේරුමය·

1961 දෙසැම්බර් 18 වනදා ඉන්දීය යුද හමුදාවෝ ගෝව, ඩියු හා දමාන් නම් වූ ඉන්දීය භූමියට අයත් පෘතුග්‍රීසි යටත් විජිත තුනට එකවර කඩා වැදුනාහ. (දමාන් හා ඩියු යනු ගුජරාටි ප්‍රාන්තයට අයත් ප්‍රදේශය.) එසේ කඩා වැදුණු ඔවුහු පරංගි හමුදාවලට තියුණු ලෙස ප්‍රහාර එල්ල කළහ. පැය 24 ක්‌ තුළදී පරංගි හමුදා පරාජය කොට ගෝව, ඩියු හා දමාන් මුදා ගැනීමට ස්‌වදේශී කැරලිකරුවන්ට හා ඉන්දීය හමුදාවට හැකි විය. ඒ අතර පරංගීහු පවුල් පිටින් රටින් පලා යමින් සිටියහ. ඉන්දීය නාවික හා ගුවන් හමුදාවෝ ද ඉන්දීය භටයන්ට ආධාර වශයෙන් තම යුතුකම් කොටස ඉටු කළහ. මෙම ප්‍රහාරය නිසා අදිරදවාදී බටහිර ලෝකයාම කුලප්පු වී සිටියහ.

ඉන්දියානු හමුදා පෘතුග්‍රීසී යටත් විජිත තුළට ඇතුළු වීමට පැය තුනකට පෙර ඇමරිකානු තානාපති මහාචාර්ය ජෝන් ගොල්බ්රේන් අගමැති නේරුට කියා සිටියේ බලය පාවිච්චි නොකරන ලෙස ය. ඒ බව තෙවන වරට ද කියා සිටියද, නේරු ඒවා තුට්‌ටුවකට මායිම් කළේ නැත. ප්‍රහාරයට පෙර දෙසැම්බර් 16 දා එක්‌සත් ජාතීන්ගේ මහා මණ්‌ඩලයේ මහා ලේකම් ඌ තාන්ට්‌ මහතාට ශ්‍රී නේරු විසින් යවන ලද ලිපියක සියලු විස්‌තර ඇතුළත් කර තිබිණ. පෘතුග්‍රීසීන් හා ඉන්දියාව සාකච්ඡා ඇරඹිය යුතු බව ලේකම්වරයා ඉල්ලීමක්‌ කළේය. එයට නේරු උත්තර බැන්දේ, 16 වන ශත වර්ෂයේ ප්‍රඥප්තියක්‌ උඩ කටයුතු කරන රජයක්‌ සමඟ සාකච්ඡා කිරීම දුෂ්කර කාරියක්‌ බව පවසමිනි. එවකට ඉන්දීය ආරක්‍ෂක ඇමැති ලෙස කටයුතු කරමින් සිටි ක්‍රිෂ්ණ මෙනන් මහතා 17 වන ඉන්දීය පාබල හමුදා බළකාය තුන් පලකින් ගෝවට කඩාවැදුන බව හෙළිකර සිටියේය. තවද පෘතුග්‍රීසී යටත් විජිත පාලනය බිඳ වැටීමෙන් පසු දේශප්‍රේමී කැරළිකරුවන්ට ආධාර පිණිස හමුදාව යොදවා ඇතැයි ද තවදුරටත් හේ ප්‍රකාශ කළේය.

ගෝවේ, දමානයේ හා ඩියුවේ විසූ ප්‍රතිකාල් ජාතික කාන්තාවන් හා ළමුන් පකිස්‌ථානයටත්, පෘතුගාලයටත් ගෙන යැම සඳහා විශේෂ ගුවන් යානා යෙදවීමට ප්‍රතිකාල් රජයට සිදුවිය.

ඉන්දීය හමුදා ඉහත කී ප්‍රදේශවලට ඇතුළු වූ විට පෘතුගාලය විසින් එක්‌සත් ජාතීන්ගේ මහා මණ්‌ඩලයට කරන ලද 'පැමිණිල්ල' විභාග කිරීමට නිව්යෝර්ක්‌ හි දී ආරක්‍ෂක මණ්‌ඩලය රැස්‌විය. එහිදී ඇමරිකානු නියෝජිත ඇඩිලායි ස්‌ටීවන්සන්, බ්‍රිතාන්‍ය හා සෙසු ධනවාදී රටවල නියෝජිතයන් සමඟ එක්‌ව යෝජනාවක්‌ සකස්‌ කළේය. එම යෝජනාවෙන් කියෑවුණේ එදිරිවාදිකම් නවතා දමන ලෙසත් ඉන්දිය හමුදා වහාම ඉවත්කර ගන්නා ලෙසත් ය. (එය සම්මත වූයේ නම් ඉන්දියාවේ පෘතුග්‍රීසි යටත් විජිත තවදුරටත් තබා ගැනීමට මහත් වූ පිටුබලයක්‌ ලැබෙන්නේය.) එහෙත් එම යෝජනාවට එරෙහිව සෝවියට්‌ දේශය තම නිෂේධ බලය පාවිච්චි කරන ලද හෙයින් යෝජනාව ප්‍රතික්‍ෂේප වී ගියේය.

ගෝව නිදහස්‌ කර ගැනීමේ සටනේදී අප රට ද උදාසීනව සිටියේ නැත. එවකට ආණ්‌ඩු බලය පැවතිවේ ගරු සිරිමාවෝ බණ්‌ඩාරනායක අගමැතිනියගේ ප්‍රධානත්වයෙනි. එකල එක්‌සත් ජාතීන්ගේ මහා මණ්‌ඩලයේ නිත්‍ය ලංකා නියෝජිතයා වූයේ ගුණපාල මලලසේකර මහතාය. ඔහු එම මණ්‌ඩලය අමතා කියා සිටියේ "ගෝව ඉන්දියානු භූමියට අයත් බිම් පෙදෙසකි. එහි පවත්නා පෘතුග්‍රීසි පාලනය ආරම්භයේ පටන් ම නීති විරෝධීය. මෙම මණ්‌ඩලය ඉදිරියේ පවත්නා ගෝවේ ප්‍රශ්නය යටත් විජිත ප්‍රශ්නයකි" යනුවෙනි. තවද ඉන්දියාව නිදහස ලැබිමෙන් පසුවත් ගෝව ඩියු හා දමාන් තවදුරටත් පෘතුග්‍රීසි පාලනයක්‌ යටතේ දිගටම පවත්වා ගෙන යැම, හුදෙක්‌ ඉන්දියාවට අයත් ප්‍රදේශ කීපයක්‌ නීති විරෝධීව විදේශිකයන් විසින් ඩැහැ ගැනීමක්‌ මිස වෙනත් දෙයක්‌ නොවේ යයි ද ඔහු කියා සිටියේය. එපමණක්‌ නොව, ඉන්දියාව මෙහිදී ක්‍රියාකර ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට බැහැරව නොවේ. එය වෙනත් රාජ්‍යයකට කිසිසේත්ම ඇඟිලි ගසා නෑ. ඉන්දියාව පෘතුග්‍රීසි බිම් පෙදෙසක්‌ හෝ ජනතාවක්‌ වෙත ආක්‍රමණයක්‌ කර නැත. ගෝවේ ජනතාව පෘතුග්‍රීසීන් යයි කීමට හෝ එම බිම් පෙදෙස්‌ පෘතුගාලයට අයත් යෑයි කීමට හෝ සිහිබුද්ධිය ඇති කිසිවකුටත් ඉඩක්‌ නැතැයි ද තවදුරටත් ඔහු කියා සිටියේ පෘතුගාලය වෙනුවෙන් පෙනී සිටින්නන්ට කට උත්තර ද නැති කරමිනි.

මෙසේ අනුන්ගේ රටවල බිම් පෙදෙස්‌වලට කෑදර ලෙස අයිතිවාසිකම් කියන බටහිර බලවතුන් මේ 21 වැනි සියවසේද සිටීම පුදුමයට කරුණක්‌ නොවේ. මහා බ්‍රිතාන්‍යය යයි කියනු ලබන මහා අදිරද වැද්දා ස්‌පාCඳ්Cඳයට අයත් ජිබ්‍රොaල්ටාවට ද, ආර්ජන්ටිනාවට අයත් ෙµdaක්‌ලන්ඩ් දූපත් ද බලහත්කාරකමින් තබාගෙන ඇත. කියුබාවට අයත් භූමියේ පිහිටි ගුවන්තනාමෝව, ලෝකයාගේ පිළිකුලට භාජනය වූ සිරකඳවුරක්‌ ලෙස පවත්වාගෙන යනුයේ ලෝකයේම බලවත්ම පොලිස්‌කාරයා වන ඇමරිකා එක්‌සත් ජනපදයයි. මොවුන් තවමත් සිටින්නේ ශතවර්ෂ ගණනාවකට ඉහතින් පැවැති මානසික තත්ත්වයකින් දැයි සැක සිතේ.

නිදහස ලැබීමෙන් පසු ගෝව අංග සම්පූර්ණ ප්‍රාන්තයක්‌ ලෙස ස්‌ථාපිත කරනු ලැබුවේ 1987 අගෝස්‌තු 12 වැනිදා ය. ඒ අතර දමාන් හා ඩියු ඒකාබද්ධ පළාතක්‌ බවට පත් කෙරිණි. ගෝව ගැන කථා කරන විට ශාන්ත µ්‍රeන්සිස්‌ ෂාවියර් පූජකතුමා ගැන ද නොකියා නොහැක. පැරැණි ගෝව හෙවත් වෙල්හා හි (ගෝව අගනුවර වන පනාජි පුරවරයේ සිට කිලෝමීටර් 15 ක්‌ ඈතින් පිහිටි) පල්ලියක (ඔයෑ ඊasසකසජ් දෙ ඊදබ Jesමි) තැන්පත් කර ඇති නොදිරන දේහයක්‌ ඇත. එය ශාන්ත µ්‍රeන්සිස්‌ ෂාවියර්තුමාගේ බවට විශ්වාසයක්‌ පවතී. එය වසර 400 ක්‌ තරම් පැරැණිය. දස වසරකට වරක්‌ දෙසැම්බර් මස අවසාන සතියේ එම දේහය මහජන ගෞරවය (පිදීම) සඳහා විවෘත කෙරේ. ලොව පුරා කිතු බැතිමත්හු ඒ සඳහා ගෝවට පැමිණෙති. එම දේහය වනාහි පෘතුග්‍රීසීන් විසින් මෙරටින් ගෙන ගිය තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ බව මෙරට ජනතාවගේ මතයයි.

(පොත පත ඇසුරෙනි)
ආරියපාල මුදලිගෙ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.