ශ්‍රී ලංකාවට එල්ලවූ කැනඩා "ටෝපිඩෝ" ප්‍රහාරය

උතුරු පළාත් සභාවෙන් සිංහ කොඩිය හැලේ

කැනඩා අගමැති හාපර් පොදුරද සමුළුව
වර්ජනය කළේ ද්‍රවිඩ ඡන්ද නිසයි - ලිබරල් මන්ත්‍රී ජෝන් මැකේ

ප්‍රභාකරන් සමග විදෙස්‌ කොටි ඒජන්තවරු 22 ගත්
ඡායාරූපය කැනඩා පොලිසිය සොයා ගනී. ජිනීවා එන
කිරුබාකරන් ද එහි දැක්‌වේ.

සන් සී කොටි නැව මෙහෙයවූ සත්‍යපවන් හෙවත්
සතී නමැති කොටියා යාපනයේ රිය අනතුරකින් මියයයි

ද්‍රවිඩ සන්ධානය තුළ කොටි හිතවාදී කණ්‌ඩායම හිස ඔසවයි

ශ්‍රී ලංකාවේ ත්‍රස්‌තවාදයට අරමුදල් සැපයුවේ කැනඩාවයි.
- කැනඩා පොලිස්‌ වාර්තාව හෙළි කරයි.

කැනඩාවේ ගෝත්‍රික කාන්තාවන් 600 ක්‌ ඝාතනය වීමේ
පරීක්‍ෂණ පැවැත්වීම කැනඩා රජය ප්‍රතික්‍ෂේප කළා

පැරැණි මිතුරන් අත්හැර දමා අලුත් මිතුරන්
ඇති කර ගැනීමට නොහැක
- ඕස්‌ටේ්‍රලියානු අගමැති ටෝනි ඇබට්‌



ඉන්දුනීසියාව බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය කරන අතර ආරක්‍ෂක හමුදාව නීති විරෝධී ඝාතන සිදු කරනවා. ඒ වගේම සුළුතර වාර්ගික ආගමික නිදහසට ද බාධා පමුණුවනවා යෑයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගියදා සඳහන් කර තිබිණි. එහෙත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශය ගැන තැකීමක්‌ නොකළ කැනඩා අගමැති ස්‌ටීවන් හාපර් ඉන්දුනීසියාවේ පැවැති ඇපෙක්‌ සමුළුවට සහභාගි විය. එහිදී ඔහු ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය කරන්නකු යෑයි කියමින් තමා නොවැම්බර් මස පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවට සහභාගි වන්නේ නැතැයි කියා සිටියේය. කැනඩා මාධ්‍යය අගමැති හාපර්ගේ තීරණය පිළිබඳව පැවසුවේ මානව හිමිකම් උල්ලංඝනය කළ ශ්‍රී ලංකා ජනාධිපතිට මෝටර් රියෙන් බැස අතට අත දීමට හාපර් අකමැතිවීම නිසා පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව වර්ජනය කළ බවයි. මෙයට වසර කීපයකට පෙර ඔහු මානව හිමිකම් උල්ලංඝනය කරන බව කියමින් චීනයට හා රුසියාවට ද චෝදනා කළේය. එහෙත් ඉන්දුනීසියාවේ ඇපෙක්‌ සමුළුවේදී ඔහු චීන හා රුසියානු රාජ්‍ය නායකයන් සමග අසුන් ගත්තේය. පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව වර්ජනය කරන බවට කළ ප්‍රකාශයෙන් නතර නොවූ හාපර් සමුළු කාර්යාලයට සපයන ඩොලර් බිලියන 20 ක මුදල කපා හරින බවට ද තර්ජනය කළේය. මේ පසුබිම මැද ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට මානව හිමිකම් උල්ලංඝනය කරන්නා යෑයි පවසන හාපර් එරට බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය කරන්නකු යෑයි හෙළිවී ඇත. කැනඩාවේ ඔට්‌ටවා ප්‍රදේශයේ ගෝත්‍රික කාන්තාවන් 600 ක්‌ අතුරුදන් වී හෝ මරා දමා ඇති අතර ඔවුන් ගැන විමර්ශනය කිරීම කැනඩා රජය ප්‍රතික්‍ෂේප කර තිබේ. පසුගිය සතියේ ජිනීවා මානව හිමිකම් සැසි වාරය වෙත යොමුවූ එක්‌සත් ජාතීන්ගේ විමර්ශන වාර්තාවකින් කැනඩා රජය ගෝත්‍රික කාන්තාවන්ට එරෙහි සිදුවන හිංසා ගැන විමර්ශනය කළ යුතු බවට ඉල්ලීමක්‌ කළත් ජිනීවා හි කැනඩා තානාපතිනි එලිස්‌සා ගෝල්බර්ග් එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළේය.  ලෝරත් ස්‌ට්‍රාපජියල් නමැති මාධ්‍යවේදිනිය අගමැති ස්‌ටීවන් හාපර්ගේ මානව හිමිකම් ගැන කඳුළු සැලීම ගැන දැඩි ප්‍රකාශයක්‌ ද කළාය. "600 ක්‌ ගෝත්‍රික කාන්තාවන් අතුරුදන්වී තිබෙනවා. අතුරුදන් වූ බව කියන හෝ මරා දමා ඇතැයි කියන ගෝත්‍රික කාන්තාවන් ගැන ජාතික පරීක්‍ෂණයක්‌ කළ යුතු බවට අප නගන හඬ පෙඩරල් රජය නිරතුරුවම ප්‍රතික්‍ෂේප කරනවා" යෑයි ඇය කීවාය.

කැනඩා අගමැති ස්‌ටීවන් හාපර් ද බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන තහවුරු වෙද්දී ඔහු පොදු රාජ්‍ය මණ්‌ඩල හමුව වර්ජනය කළේ කැනඩාවේ සිටින විශාලතම ද්‍රවිඩ ප්‍රජාවගේ සහාය ලබාගැනීමට යෑයි අනාවරණය විය. කැනඩා පොලිසිය හෙළි කරන අන්දමට 1990 සිට ප්‍රභාකරන්ට ශ්‍රී ලංකාවට එරෙහිව ත්‍රස්‌තවාදී යුද්ධය ගෙන යැමට ඩොලර් මිලියන ගණනක මුදල සපයා ඇත්තේ කැනඩාවෙනි.  1990 මේ සම්බන්ධව මෙරට හිටපු කැනඩා තානාපතිවරයකු වූ මාටින් කොල්කොට්‌ කැනඩා මාධ්‍ය අමතමින් මෙලෙස කියා සිටියේය. "කැනඩා බුද්ධි සේවාව කීප වතාවත්ම ද්‍රවිඩයන් කොටින්ට අරමුදල් එකතු කිරීම ගැන පාලක ලිබරල් පක්‍ෂයට දැනුම් දුන්නා. එහෙත් ඔවුන් තැකීමක්‌ කළේ නැහැ. මන්ත්‍රීවරු කොටි ප්‍රචාරක උත්සවවලටත් සහභාගි වුණා. ඔවුන්ට අවශ්‍ය වුණේ ද්‍රවිඩයන්ගේ ඡන්ද පමණයි"යෑයි කොල්කොට්‌ තවදුරටත් සඳහන් කළේය. හිටපු කැනඩා තානාපතිගේ ප්‍රකාශය සනාථ කරමින් කැනඩා මාධ්‍ය පවා පැවසුවේ ද්‍රවිඩයන් හා කොටි කැනඩාව ස්‌වර්ගයක්‌ කරගත් බවයි.

ශ්‍රී ලංකාවේ ත්‍රස්‌තවාදය දියත් කිරීම සඳහා කැනඩාව මුළුමනින්ම වගකිවයුතු බව තවදුරටත් සනාථ වූයේ වර්ල්ඩ් ටැමිල් මූමන්ට්‌  මූලස්‌ථානය කැනඩා පොලිසිය වටලා රහස්‌ ලිපි රැසක්‌ සොයා ගැනීමට ස්‌ටීව් ඩුබ්රෙයිලා නමැති පොලිස්‌ විමර්ශකයා කළ විමර්ශනයෙන් 2008 වසරේදී කැනඩා කොටි ජාලය ගැන සෙවීමේ ක්‍රිබල් මෙහෙයුම ඔහු මෙහෙයවීය. ඔහු ඊට අදාළව පිටු 180 ක වාර්තාවක්‌ කැනඩා රජයට යොමු කළේය. කැනඩාවේ නෝවාස්‌කෝෂියා සහ කැනඩා ට්‍රස්‌ට්‌ යන බැංකුවල තිබූ වර්ල්aඩ් ටැමිල් මූවන්ට්‌ නමැති කොටි හිතවාදී සංවිධානයේ ගිනුම් සිංගප්පූරුවේ ඇරමැක්‌ස්‌ මුදල් හුවමාරු මධ්‍යස්‌ථානයට බැර වන අයුරු ද එහිදී අනාවරණය විය. එසේම කොටි සංවිධානයට අරමුදල් ලබාගැනීම සඳහා 2004 ජුලි 28 සිට ජුලි 30 දක්‌වා කාලය තුළ ප්‍රභාකරන් තම විදේශ ඒජන්තවරුන් වන්නියට කැඳවූ රහස්‌ ලියවිල්ල ද එකී විදේශ ඒජන්තවරුන් 22 කගේ නාම ලේඛනය හා ප්‍රභාකරන් සමග ඔවුන් ගත් සමූහ ඡායාරූප ද ක්‍රිබල් මෙහෙයුම තුළින් සොයා ගැනුණි.

ප්‍රභාකරන් විසින් වන්නියට කැඳවූ විදේශ ක්‍රියාකාරීන් සඳහා වැඩමුළුවක්‌ මුවාවෙන් මුදල් එකතු කිරීමට අදාළ රහස්‌ දේශන පවත්වා ඇත. මෙම වැඩමුළුවට සහභාගි වූ කණ්‌ඩායමේ 19 වැනියා ලෙස කැනඩා පොලිස්‌ වාර්තාවේ සඳහන් වෙන්නේ සෑම වසරකම ජිනීවා මානව හිමිකම් සමුළුවට පැමිණ ශ්‍රී ලංකාවට එරෙහිව හඬ නගන වී. කිරුබාහරන්ය.

මානව හිමිකම් ශාලාව තුළ නිරතුරුවම එහා මෙහා යමින් ශ්‍රී ලංකාවේ තානාපති නිලධාරීන් හා ශ්‍රී ලංකාවෙන් පැමිණ සිටින්නේ කවුරුන්ද යන්න ඔත්තු බලන මේ තක්‌කඩියා ප්‍රභාකරන්ගේ සමූහ ඡායාරූපයේ සිටින අයුරු තහවුරු වී ඇත.

එසේනම් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය දොර විවෘත කර ඇත්තේ කොටි ඒජන්තවරයකුට නොවේද? ප්‍රභාකරන් සහ කිරුබාහරන් ඇතුළු විදේශ කොටි ඒජන්තවරුන්ගේ සමූහ ඡායාරූප සොයාගෙන ඇත්තේ කැනඩා පොලිසියේ සැරයන් හැමල්ය.

මේ අතර කැනඩා පොලිස්‌ මෙහෙයුම යටතේ වර්ල්ඩ් ටැමිල් මූමන්ට්‌ සංවිධාන පරිගණකයක තිබී තවත් රහස්‌ ලියවිල්ලක්‌ සොයාගෙන ඇත්තේ කෝප්රල් ක්‌ලවුකර් නමැති විමර්ශකයායි. ද්‍රවිඩ ඊළාම් විරුවන්ගේ මහලේකම් කාර්යාලයේ ප්‍රධානියා වූ පොන් තියාගම් අත්සන් කළ එකී රහස්‌ ලියවිල්ල ද්‍රවිඩ භාෂාවෙන් සකස්‌ වී තිබිණි. එහි දක්‌වා ඇත්තේ ශ්‍රී ලංකාවේ රජයට එරෙහිව කළුකොටි 196 ක්‌ද කළුකොටි කාන්තාවන් 69 ක්‌ද මුහුදු කළු කොටි 136 ක්‌ද මුහුදු කළුකොටි කාන්තාවන් 51 ක්‌ද ඊටත් අමතරව ගොඩබිම් කළුකොටි 81 ක්‌ හා කළුකොටි කාන්තාවන් 18 ක්‌ සිය මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ බවයි. මෙලෙස එල්ලවූ ත්‍රස්‌ත ප්‍රහාරවලදී ද්‍රවිඩ සිවිල් වැසියන් 434 ක්‌ද මරුමුවට පත්වූ බව එකී රහස්‌ ලියවිල්ලේ තවදුරටත් සඳහන් කර තිබිණි.

මේ අතර දන් වැන්කුවර් නුවර පදිංචි හිටපු කැනඩා තානාපති මාටින් වුල්කොට්‌ තවදුරටත් හෙළි කර ඇත්තේ කැනඩා බුද්ධි විමර්ශන සේවාව කොටින්ගේ ත්‍රස්‌ත ක්‍රියාකාරකම් ගැන කළ නිර්දේශ ද ආණ්‌ඩු ගණන් ගත්තේ නැති බවයි.

එම බුද්ධි විමර්ශන සේවාවට අනුව කැනඩාවේ ටැමිල් ඊළම් සොසෙයිටි නමැති කොටි හිතවාදී සංවිධානයට කැනඩා රජය ඩොලර් මිලියන 11 ක මුදලක්‌ ලබාදී තිබූ බව හෙළි විය. මේ නිසා අගමැති ස්‌ටීවන් හාපර්ගේ පසුබිමේ සිටින්නේ කවුද? ඒ ස්‌කාබරෝ ප්‍රාන්තයේ මන්ත්‍රීනි රාතිකා සීතාසබෙයිසන් නමැති ඊළාම්වාදිනියයි. පසුගියදා ද්‍රවිඩ සන්ධානයේ කිලිනොච්චි මන්ත්‍රී ශ්‍රීධරන් කැනඩාවට ගොස්‌ හමුවුයේ ද ඇයවයි. (ඡායාරූපය)


ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන් හා කැනඩා ඊළාම් මන්ත්‍රීනි රාතිකා සීතා සබෙයිසන් කැනඩාවේදී



මෙවන් පසුබිමක්‌ මැද කැනඩා අගමැති ස්‌ටීවන් හාපර් පොදු රාජ්‍ය මණ්‌ඩල නායක සමුළුවට එවන්නේ පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු ලේකම් දීපක්‌ ඔබ්රහායි නමැත්තෙකි.

වන්නි මෙහෙයුම නිමවීමෙන් පසු මොහු 2009 ජුලි මස ද මෙරටට පැමිණ ගුවන් හමුදා හෙලිකොප්ටරයකින් වන්නියට ගියේය. කොටි සංවිධානයට එක්‌වී ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව සටන් කළ කැනඩා කොටියෙක්‌ ද හමුදාවට අසුවී තිබූ අතර ඔබ්රහායි නමැත්තා ඔහු ගැන ආරක්‍ෂක බලධාරීන්ගෙන් විමසා ඇත. අත්අඩංගුවේ සිටින තැනැත්තා කවුද යෑයි රජය දන්නා බවත් ඔහු තවදුරටත් තවදුරටත් පවසා තිබිණි. මේ අතර පසුගිය අඟහරුවාදා පොදු රාජ්‍ය මණ්‌ඩලය සඳහා වූ කැනඩා විශේෂ තානාපති හියු සෙජල් පොදු රාජ්‍ය මණ්‌ඩලයේ මහලේකම් කමලේශ් ෂර්මාට චෝදනා නගමින් ඔහු ශ්‍රී ලංකා රජයේ රූකඩයක්‌ බව කියා සිටියේය. ශ්‍රී ලංකාව තුළ පොදු රාජ්‍ය මණ්‌ඩල නායක හමුව පැවැත්වීමට ක්‍රියා නොකළේ නම් එම සමුළුවේ ශ්‍රී ලංකා සාමාජිකත්වය අත්හිටුවීමට හැකියාවක්‌ තිබූ බවද සේජල් නමැත්තා පළ කළේය. මේ සමගම ශ්‍රී ලංකාවට එරෙහිව වීඩියෝ පට නිපදවූ බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනි සේවාව පැවසුවේ ශ්‍රී ලංකා රජය ඔවුන්ගේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝනය කළ බවට ස්‌වාධීන නීතිඥයන් අගමැති ස්‌ටීවන් හාපර්ට දැන්වූ බවයි. එහෙත් කැනඩා අගමැතිට අතුල් පහරවල් එල්ල වූයේ නවසීලන්ත අගමැති ජෝන් කේ සහ ඕස්‌ටේ්‍රලියානු අගමැති ටෝනි ඇබට්‌ගෙනි. මම අනිවාර්යයෙන්ම සමුළුවට සහභාගි වනවා යෑයි ජෝන් කේ පළ කළේය. ඕස්‌ටේ්‍රලියානු අගමැති ටෝනි ඇබට්‌ ද පැවසුවේ තමා ද යන බවයි. "පැරණි මිතුරන් අත්හැර දමා අලුත් මිතුරන් ඇති කර නොගත යුතුයි." ඇබට්‌ තවදුරටත් සඳහන් කළේය. එසේම නවසීලන්ත අගමැති ජෝන් කේ වැඩිදුරටත් පවසා ඇත්තේ නොයායුතු රටවල් රැසක්‌ ඇති බවයි.

මේ නිසා කැනඩා අගමැති ස්‌ටීවන් හාපර් පොදුරද නායක හමුව කඩාකප්පල් කිරීම සඳහා ඉන්දුනීසියාවේ සිට දියත් කළ ටෝපිඩෝව එම ස්‌ථානයේම පුපුරා ගියේය.

මෙම වාතාවරණය මැද උතුරු පළාත් සභා මහ ඇමැති විග්නේශ්වරන් ජනාධිපතිවරයා හමුවේ දිව්රුම්දීම සම්බන්ධයෙන් ද්‍රවිඩ සන්ධානය අතර බලවත් අර්බුදයක්‌ පැන නැගී ඇත. එම අවස්‌ථාවට ද්‍රවිඩ සන්ධානයේ නැගෙනහිර මන්ත්‍රීවරු ද, ටෙලෝ සහ ඊ.පී.ආර්.එල්.එµa. නායකයන් ද පැමිණ සිටියේ නැත. ටෙලෝ සංවිධානයේ සිවාජිලිංගම් මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ ද්‍රවිඩ සන්ධානයේ සිංහ කොඩි කණ්‌ඩායම එකී දිව්රුම්දීම දියත් කළ බවයි. විග්නේශ්වරන්ගේ දිවුරුම්දීම ගැන වඩාත්ම කෝපයට පත්වූයේ කොටි ඩයස්‌පෝරාව සහ කොළඹ සිට කොටි නිල වෙබ් අඩවිය මෙහෙය වන්නාය. මෙලෙස ද්‍රවිඩ සන්ධානය තුළ කොටි හිතවාදීන් පිරිස හා මධ්‍යස්‌ථ කණ්‌ඩායම අතර පවතින අර්බුදය උග්‍රවන අවස්‌ථාවේ සන් සී නමැති කොටි නැවෙන් ශ්‍රී ලාංකික ද්‍රවිඩයන් 472 ක්‌ කැනඩාවට යෑවූ සත්‍යපවන් ආසීර්වානම් හෙවත් සතී නමැත්තා යාපනයේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්‍ෂයට පත්වී ඇත. සන් සී නැවේ සිටියදී අසුවූ සතී නමැති කොටියාව 2011 දී කැනඩා පොලිස්‌ නිලධාරීහු දෙදෙනකු විසින් කටුනායක ගුවන්තොටුපළට ගෙනවුත් මෙරට ත්‍රස්‌ත මර්දන බලධාරීන්ට භාර දී ඇත.

ත්‍රස්‌ත මර්දන නිලධාරීන් විසින් කළ ප්‍රශ්න කිරීම්වලින් පසු මොහුව මුදාහැර තිබිණි. සතී නමැති කොටියා තායිලන්තයේ සිට කොටි සංවිධානයට අවි ආයුධ සැපයීම සම්බන්ධයෙන් ද වරදකරු වී සිරගතව සිටි අයකු යෑයි විමර්ශනවලදී හෙළිවිය. සන් සී නමැති කොටි නැවෙන් කොටි ඇතුළු ද්‍රවිඩයන් ප්‍රවාහනය කිරීමේ මෙහෙයුම දියත් කිරීමේ මූලිකයා මොහු බව කැනඩා පොලිසිය සොයා ගැනීමත් සමගම ඔහුට යළි වරෙන්තුවක්‌ නිකුත් විය. එහෙත් කැනඩා රජය හා ශ්‍රී ලංකාව අතර ත්‍රස්‌තවාදීන් පිටුවහල් කිරීමට අදාළ ගිවිසුමක්‌ ක්‍රියාත්මක වී නොතිබිණි.

එසේ වුවත් සනී වෙනුවෙන් කැනඩා කොටි ජාලය ගේ්‍රබියල් චාන්ද් නමැති නීතිවේදියකුගේ සහාය ලබාගෙන තිබිණි.

මෙම සන් සී කොටි නැවේ සිටි පිරිසගෙන් 117 කට දේශපාලන රැකවරණ දීමට කැනඩා රජය ක්‍රියා කළ අතර තවත් 117 කගේ දේශපාලන රැකවරණ ඉල්ලුම්පත් ප්‍රතික්‍ෂේප වී ඇත. එම කොටි නැවේ සිටි සිව් දෙනකු දරුණු කොටි ත්‍රස්‌තයන් බවත් ඔවුන් යුද අපරාධවලට සම්බන්ධ බවත් කැනඩා පොලිසිය විසින් සොයාගෙන තිබිණි.

මේ අතර උතුරු පළාත් සභා මහ ඇමැති විග්නේශ්වරන් සහ ඉන්දීය විදේශ ඇමැති සල්මන් කුර්ෂිද් අතර යාපනයේ පැවැති සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ ධජය හැලී තිබිණි. දෙදෙනාගේ සාකච්ඡා මේසයේ දක්‌නට ලැබුණේ උතුරු පළාතේ කොඩිය හා ඉන්දීය ධජය පමණකි. මෙම පසුබිම මැද උතුරු පළාත් සභාව සඳහා ඇමැතිවරු පත් කර ගැනීම සඳහා ද්‍රවිඩ සන්ධාන නායක සම්පන්දන් රහසිගතව ක්‍රියා කිරීමෙන් දැඩි අර්බුදයක්‌ මතුවී ඇත.

කීර්ති වර්ණකුලසූරිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.