දේශපාලනය හා කුඩු ව්‍යසනය
(නඩු නැති කුඩු සටන)

මේ රටේ විපක්‍ෂයේ ප්‍රධාන පක්‍ෂය වන එ.ජා.ප. යේ කුප්‍රකට මාතර වීදි සටන මෙන්ම ආණ්‌ඩුවේ ඇමැතිවරයකුට සම්බන්ධ බව කියෑවුනු නිලධාරියකු පැහැරගෙන යැමේ නාට්‍යමය සිදුවීම් අතරට දෙමටගොඩ මංසන්ධිය අසලදී සිදු වූ කුඩුකාරයන්ගේ යුද්ධයද එක්‌වීම නිසා ඉකුත් සතිය විවිධාකාර පුවත්වලින් ගහන වූ බව ඇත්තය. එහෙත් මේ එක්‌ පුවතක්‌ හෝ මේ රටේ ගෞරවයට හෝ අභිමානයට හේතු වන බවක්‌ නම් කිසිවෙකුට කිව නොහැක.

එ.ජා.ප. යේ දේශපාලනය මොනතරම් ප්‍රපාතයකට තල්ලු වී තිබේදැයි ඒ පුවත දකින පාක්‍ෂිකයන්ට මෙන්ම සාමාන්‍ය ජනතාවටද දැඩි සංවේගයක්‌ ඇතිවනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සමාජයක ප්‍රමුඛ බලවේගයක්‌ බවට පත්විය යුතු විපක්‍ෂය අද කෙබඳු දේශපාලන බංකොලොත් බවකට පත්ව තිබේදැයි එය දකින දේශපාලන විචාරකයෝ ප්‍රශ්න කරති. එහෙත් ඒ දේශපාලන දුර්ගන්ධය වේදිකා දෙකකට නැගී දෙකට බෙදී හඬතලන නායක කාරකාදීන්ට නොදැනීමද අපට තිබෙන පුදුමයයි.

පොලිසිය හා නීතියද තඹයකට මායිම් නොකරමින් රිසි රිසි විලසින් තම සතුරන් පැහැර ගෙන යැමේ අශ්ලීල, ග්‍රාම්‍ය හා භයානක ක්‍රීඩාවද මේ දේශපාලන අන්ධකාරයේම විපාකයක්‌ ලෙස අපි විඳිමු. මෙබඳු පැහැර ගැනීම් දවල් රෑ භේදයක්‌ නොමැතිව සිදු වන ආකාරයද ඊටත් වඩා විශ්මයජනක වී තිබේ.

අනෙක්‌ බරපතලම සිද්ධිය වූ කුඩු ජාවාරම්කරුවන්ගේ සටනද අප සමාජය තුළ විවිධ අයුරින් දක්‌නට ලැබෙන ජාතික විනාශයක්‌ බව අමුතුවෙන් කිව යුතු නැත. දේශපාලන, සමාජ හා වෙනත් ක්‍ෂේත්‍රවල අද බොහෝ විට මෙකී "කුඩු" යන හඩු විශේෂණ පදය සමඟ යෙදෙන පුද්ගල නාමද සුලභව ඇසෙයි. මේ වර්ගයේ කුඩ්ඩන් ඔසවා තබන සමාජයක ජීවත්වන අපට හෘද සාක්‍ෂියක්‌ තබා නාසයක්‌වත් නැද්දැයි කෙනෙක්‌ ඇසීමට බැරි නැත. එහෙත් අපේ හෘදය සාක්‍ෂිය පමණක්‌ නොව නාසය ඇතුළු සියලුම ඉන්ද්‍රියයන් කලක සිට මිය යමින් තිබෙන බව අපගේ අදහසයි. එයටද වගකිව යුත්තේ මේ ජරපත් දේශපාලනයම මිස අන් දෙයක්‌ නොවේ.

මේ රටේ ජාතික, සංස්‌කෘතික, ආගමික මෙන්ම සාමාජික කරුණු පිළිබඳව හතර අතින් ඇසෙන කන් හිරිවට්‌ටන ඝෝෂාවේ තරමට ඒවායේ අපට හෝ රටට දැනෙන බරක්‌ හෝ බලපෑමක්‌ තිබේද යන්නත් ගැටලුවකි. සමාජයට ව්‍යසනයක්‌ වී තිබෙන කුඩු වසංගතය නැවැත්වීමට අපේ කිසිදු ප්‍රබලයකුට හැකි වී නොමැත. කුඩුකාරයන් නිසා රටට සිදු වී තිබෙන විපත් ගැන කතා කරන දේශපාලනඥයෝ පවා කුඩුවලට අත තැබීමට බිය වෙති. කුඩු හා පාතාලය යනු දේශපාලනයේම අවිනීත හා අප්‍රසන්න නඩත්තු කිරීමක්‌ බව අමුතුවෙන් කිව යුතුද නොවේ.

ශ්‍රී ලංකාවේ කුඩු වාර්තා පිළිබඳ අපට බොහෝ තොරතුරු දැක්‌විය හැකිය. අපි ආසන්නතම එක්‌ සිදුවීමක්‌ සිහිපත් කරමු. ඒ පසුගිය මාසයේදී ග්‍රීස්‌ ටින්වල සියුම්ව අසුරා මේ රටට ගෙන්වන ලද හෙරොයින් කිලෝ 260 ක්‌ පමණ තොගයකි. එහි වටිනාකම කෝටි 156 ක්‌ බවද වාර්තා විය. එසේම එය දකුණු ආසියාවේ රටකින් හමු වූ විශාල මත්ද්‍රව්‍ය තොගය බවද කියති. කාටද ආඩම්බර? යෑයි අපි නොවිමසමු.

පොලිසියේ අවංක නිලධාරීන් මෙන්ම හමුදා බුද්ධි අංශවල අයද මේ කුඩු ජාවාරම්කරුවන් පිළිබඳ ඕනෑවටත් වඩා හෙළිදරව් කර තිබෙන බවද රහසක්‌ නොවේ. එසේම ඒ කුඩුකාරයන් හා පාතාලයන් සමඟ සන්ධානගත වී ඔවුන්ගේ බලයෙන් උදර පෝෂණය කරන ඇතැම් කොටස්‌ද සිටිති. කුඩු ගැන කතා කරන විට නාසය දන්නට ගෙන කිවිසුම් හරින දේශපාලන චරිතද තිබේ. ප්‍රධාන ධාරාවේ මෙන්ම ප්‍රාදේශීය වශයෙන් ඒවා විහිදී තිබෙන ආකාරයද බොහෝ දෙනෙක්‌ දනිති. එහෙත් මේ එකම කුඩ්ඩෙක්‌ හෝ පාතාලයෙක්‌ නීතිය ඉදිරියට රැගෙන ඇවිත් තිබේද?

ශ්‍රී ලංකාව මත්කුඩු ජාවාරමේ එක්‌ මධ්‍යස්‌ථානයක්‌ බව කියනු ඇසෙයි. වාර්තා පොතට යන ආකාරයට සිදු කළ කුඩු මෙහෙයුම්වලට සිදුවූයේ කුමක්‌දැයි දන්නා අයෙක්‌ද නොවෙති. කුඩු නිසා අත්අඩංගුවට ගන්නා රොඩු ගැන නම් වාර්තා තිබේ. එහෙත් 'නියම බඩු' ගැන හ්ම් ශබ්දයක්‌ නැත.

මේ රටේ කුඩු ජාලය හිර ගෙවල්වලටද සම්බන්ධ බව කීප වරක්‌ම හෙළි වී තිබේ. හිරගෙය තුළ සිට කෙරෙන සකල විධ දූෂණ ගැනද මාධ්‍යවල පළවෙයි. රටේ අපරාධකරුවන්, රඳවා තිබෙන හිර ගෙය අපරාධ කේන්ද්‍රස්‌ථානයක්‌ වී තිබේ නම් එයට වගකිව යුත්තේ ජනතාව නොව ඒවා පාලනය කරන අයත් ඊට උඩින් සිටින දේශපාලනයත් බව කිව යුතුව ඇත.

පාතාලයත් එමගින් මෙහෙයවනු ලබන ප්‍රචණ්‌ඩත්වයත්, මත්ද්‍රව්‍ය හා මත්කුඩුත් මේ රටේ බිහිසුණුම උවදුර බව නොකියන කෙනෙක්‌ නොවෙති. කුඩුවලින් ලැබෙන ක්‍ෂණික ධන ලාභ ඔස්‌සේ පොහොසත් වී සමාජ දේශපාලන මතු මහලට නැග ගන්නා කාලකන්නින්ට මුළු සමාජයම ශාප කළත් උන්ට වදින ශාපයක්‌ තිබේද? මෙලොව වශයෙන් නම් ඔව්හු වැඩි කලක්‌ යස ඉසුරු විඳිති. නිර්ලෝභීව ධනය වීසි කරති. පරලොව වශයෙන් නම් එබඳු වනචරයන්ට යහපත් ජීවිතයක්‌ හිමි නොවන බව හැම ආගමකම අවධාරණය කර තිබේ. එහෙත් මේ අධමයන්ට ආගමක්‌ තබා ජාතියක්‌ ජන්මයක්‌වත් තිබේද?

අනෙක්‌ වැදගත්ම කාරණය නම් මේ කුඩ්ඩන්ට තිබෙන සිවිල් බලයයි. එය දේශපාලනය තුළින් කාන්දු කරන්නකි. එනිසා මේ කුඩු වසංගතය මැඬලීම සඳහා දේශපාලනයේ ඉහළින්ම පියවර ගත යුතු බව අපගේ යෝජනාවයි. දුම් බීමේ විපාක ලෙස ලැබෙන අනතුර පිළිබඳ හැඟවීමක්‌ කරන්නට අසීරු රටක කුඩු විපාක ගැන කතා කිරීමද විහිළුවක්‌ වැන්න. එහෙත් එය තවදුරටත් හෙටට කල් දැමිය හැකි මාතෘකාවක්‌ නොවේ.

දේශපාලන හා වෙනත් බලපෑම්වලට යටපත් කළ නොහැකි ශක්‌තිමත් මත් විරෝධී මෙහෙයුමක්‌ දියත් කිරීම ආණ්‌ඩුවේ වගකීමය. ගුවන් තොටුපලෙන්, වරායෙන් කුඩු ගෙන්වනු ලබන්නේ එසේ මෙසේ පුද්ගලයන් නොව ජාත්‍යන්තර මට්‌ටමේ මාµsයා සාමාජිකයන් බවද ආරක්‍ෂක අංශ මෙන්ම ආණ්‌ඩුවද නොදැන සිටිය නොහැක. ඒවා දෙස නොබලා වැඩබිමේ, මුඩුක්‌කුවේ, කුඩු බෙදන අක්‌කලා හා අයියලා ඇල්ලීමෙන් පොලිසිය කරන්නේ විහිළුවක්‌ බවද කිව යුතුය. විනාශය නතර කිරීමට එහි මුලටම පහර දිය යුතුය. කුඩු වසංගතයේ විපාක කියමින් හඬා වැළපීමෙන් පමණක්‌ මේ අපරාධය නතර කිරීමටද නොහැක.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.