නැගලා යන්න පුළුවන් ගුවන් යානා දහඅටක්‌ හැදුවා...
තුනක්‌ හෙළිකොප්ටර්

විනෝදයට අහස්‌ යාත්‍රා හදන
මීගමුවේ එඩ්වඩ් මහත්තයා


මුල් කොටස
පසුගිය සතියේ පල විය...

'සර් මේක කීයක්‌ වෙනවද' මම විඡේවර්ධන මහත්තයාගෙන් එහෙම ඇහුවා. එතුමා මගේ මූණ දිහා බලාගෙන ඉඳලා 'මනුස්‌සයෙක්‌ගෙන් අහන්න ඕන ප්‍රශ්නත් තියෙනවා. නැති ප්‍රශ්නත් තියෙනවා. ඒ නිසා හොඳට හිතලා කතා කරන්න.' කියලා ගුවන් තොටුපළේ සේවකයන් මැද්දේ මට බැන්නා.

'වැරද්දක්‌ වුණා නම් සමාවෙන්නෘ ඔයාගෙයි මගෙයි ආශාව එකයි. එකයි මම එහෙම ප්‍රශ්නයක්‌ ඇහුවේ. මෙතැන තියෙන ගැටලුව ගුවන් යානා පිළිබඳ අත්හදා බලන්න, ගුවන් යානා සමග වැඩ කරන්න ඔයාට අවස්‌ථාව ලැබිලා තියෙනවා. ඒ වාසනාව මට ලැබිලා නැහැ. එකෙන් කොටසක්‌ අපිටත් දෙන්න' ඒ වචන ටික තරමක්‌ වේගයෙන් කියවුණා. විඡේවර්ධන මහත්තයා හොඳට මම කියන දේ අහගෙන ඉඳලා එයාගේ ඔෆිස්‌ කාමරේට යන්න ගියා. ටික වේලාවකට පස්‌සේ අපිට එතැනට එන්න කියලා පණිවුඩයක්‌ එව්වා.

'මගේ ළඟ තියෙන කිසිම බඩුවක්‌ විකුණන්නේ නැහැ. ඔයා කෙලින්ම කතා කරපු නිසා මම මේ ප්ලේන් එකේ ගාණ හදලා බැලුවා. රුපියල් විසි දාහක්‌ වෙනවා. ඔයාට ගන්න පුළුවන්ද? විඡේවර්ධන මහත්තයා හිනා වෙලා එහෙම ඇහුවා.

'ඇත්ත... එච්චර මුදලක්‌ මා ළඟ නැහැ. නමුත් මම කොහොම හරි ඒ මුදල හොයාගෙන එනවා' කියලා මම විඡේවර්ධන මහත්තයාගෙන් සමුගත්තා.

ඊට පහුවදා උදේ පාන්දරම විඡේවර්ධන මහත්තයා අපේ ගෙදර ඇවිත් මම කරන වැඩ ගැන සෝදිසි කරලා මට කිව්වා 'ඊයේ වෙච්ච කතාව වුණේ නැහැ කියලා හිතා ගන්න. මගේ ළඟ තියෙන සෑම භාණ්‌ඩයක්‌ම ඔයාගේ කියලා හිතාගෙන වැඩ කරන්න. ඒ බඩු ඕන එකක්‌ පාවිච්චි කරන්න. ඕන දෙයක්‌ මෙහෙට ගේන්න. පරීක්‍ෂණ කරන්න. ඔයා මට ගැලපෙන පුද්ගලයෙක්‌. එදා ඉඳලා විඡේවර්ධන මහත්තයා මට ගොඩක්‌ හිතවත් වුණා. අපි එකතු වෙලා නැඟලා යන්න පුළුවන් ගුවන් යානා දහඅටක්‌ හැදුවා. ඒ අතරට හෙලිකොප්ටර් තුනක්‌ තියෙනවා. එක්‌ හෙලිකොප්ටරයක්‌ තමයි හලාවත තෝඩුවාව වෙල් යායකට වැටිලා විනාශ වුණේ. ඒ කාලේ කාකපල්ලියේ රේ විඡේවර්ධනට වත්තක්‌ තිබුණා. විඡේවර්ධන මහත්තයා ඒ වත්ත බලන්න යන්නේ සැහැල්ලු ගුවන් යානයකින්. එහෙම යන දවස්‌වලට අපි පාන්දරින්ම වාහනයක ගිහින් ඒ ගුවන් යානය ලෑන්ඩ් කරන වෙල් යායේ හුළං තත්ත්වය, පොළවේ තත්ත්වය ගැන පරීක්‍ෂා කරලා විඡේවර්ධන මහත්තයාට දැනුම් දුන්නට පස්‌සේ තමයි රත්මලාන එයාර්පෝට්‌ එකෙන් ගුවන් යානය පියාසර කරන්න ආරම්භ කරන්නේ. ඔය කියන හෙලිකොප්ටරය අනතුරට පත් වන දවසෙත් අපි උදේ පාන්දරින් ගිහින් ගුවන් යානය ලෑන්ඩ් කරන වෙල් යායේ තත්ත්වය බලලා අපි විඡේවර්ධන මහත්තයාට දැනුම් දුන්නා. අපි කියපු විදිහට විඡේවර්ධන මහත්තයත් කාකපල්ලිය වෙල් යායට ගුවන් යානය ලෑන්ඩ් කළා. ඊට පස්‌සේ අපි නැවත ගුවන් යානයට පෙට්‌රල් දාලා චෙක්‌ කරලා ආපසු පියාසර කරන්න හැකි තත්ත්වයට සූදානම් කළා. අඩි එක්‌දාහස්‌ පන්සියක පමණ උඩින් මුහුදු වෙරළ දිගේ තමයි විඡේවර්ධන මහත්තයා ගුවන් යානය පියාසර කරලා තිබුණා. ටික දුරක්‌ එනකොට ගුවන් යානයේ උඩ කරකැවෙන බෙල්ට්‌ එකක්‌ කැඩිලා ගුවන් යානයේ ප්‍රශ්නයක්‌ ඇති වෙලා තියෙනවා. ගුවන්යාන සම්පූර්ණයෙන්ම පාලනයෙන් ගිලිහිලා. කොහොමහරි විඡේවර්ධන මහත්තයා හලාවත තෝඩුවාව වෙල් යායට ගුවන් යානය ලෑන්ඩ් කරගෙන තියෙනවා. යානාව සම්පූර්ණයෙන්ම වගේ විනාශ වෙලා තිබුණා. නමුත් වාසනාවකට විඡේවර්ධන මහත්තයාට කරදරයක්‌ වුණේ නැහැ.

1995 අවුරුද්දේ අපි ප්ලේන් එකක්‌ හදනකොට කොටින්ට ගුවන් යානා හදනවා කියලා අපිව අත්අඩංගුවට ගත්තා. ඒ එක්‌කම ගුවන් තොටුපළ ප්‍රහාරයට සම්බන්ධ සැකකරු දැලේ. කියලා ඒ පුවත විදිලියක්‌ වගේ රට පුරා ගියා. ආරක්‍ෂක අංශවලට කරුණු කාරණා අවබෝධ කරලා දුන්නට පස්‌සේ අපිව නිදහස්‌ කළා. ගුවන් යානා නිර්මාණය සම්බන්ධයෙන් ඊට පසුවත් මාව කිහිප වාරයක්‌ම අත්අඩංගුවට ගත්තා. ඒත් මම වැටුණේ නැහැ. ඒ හැම දේකින්ම වුණේ මගේ නිර්මාණ දක්‍ෂතා ඉස්‌මතු වන එක විතරයි. ඒ හැම ප්‍රශ්නයක්‌ම ආවේ ත්‍රස්‌තවාදී කලබල නිසා. නැතුව සැහැල්ලු ගුවන් යානා හදන්න බැහැ කියලා මේ රටේ නීති නැහැ. කෙසේ වුවත් ත්‍රස්‌තවාදී තර්ජන නිසා සියලු නිර්මාණ කටයුතු නතර කර, ආරක්‍ෂිත ක්‍රම යටතේ මේ ගුවන් යානා තබා ගන්නට අපට සිදු වුණා. පසුව 2005 අවුරුද්දේ වත්මන් සිවිල් ගුවන් සේවා අධ්‍යක්‍ෂ ජනරාල් එච්. එම්. සී. නිමල්සිරි මහතාගේ විශේෂ නියෝගයකට අනුව දිවයිනේ සියලු ආදර්ශ ගුවන් යානා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචි කරන්න අවස්‌ථාව ලැබුණා. ඒ අතරම ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සහ රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිසි අනුමැතිය සහිතව ආදර්ශ ගුවන් යානා ශ්‍රී ලංකාව තුළ ප්‍රවාහනයටත් සංදර්ශන පැවැත්වීමටත් අවස්‌ථාව හිමි වුණා. ඒ විදිහට තමයි මේ කර්මාන්තයේ නැවත පිබිඳීමක්‌ ඇති වුණේ. පසුව කටුකුරුන්ද, රත්මලාන, කටුනායක ගුවන් තොටුපළවල ගුවන් යානා පිළිබඳ පරීක්‍ෂණ කටයුතු කරන්න ගුවන් හමුදාව මට අවසර දුන්නා. පස්‌සේ මම කතා කරලා පුත්තලම ගුවන් තොටුපළත් ලබා ගත්තා. එතකොටත් සැරට යුද්ධය යනවා.

ගුවන් යානා හදනවා කිව්වට අපි කරන්නේ ගුවන් යානයක්‌ එකලස්‌ කරන එක විතරයි. ප්ලේන් එකක සැකිල්ල පිටරටකින් ගෙන්නලා අපි තමයි එන්ජින් සෙට්‌ කරලා, තටු සවි කරලා කවර් කරලා ඉවර කරන්නේ. නමුත් අපිට ප්ලේන් එකක සැකිල්ල වුණත් හදන්න පුළුවන්. ඒත් ප්ලේන් සැකිල්ල හදනකොට යකඩ වෙල්ඩින් කරලා ස්‌කෑන් කරලා බලන්න ඕනා පිපිරුම් තියෙනවද කියලා. ඒ පරීක්‍ෂණ කරන්න ඕනා ඉතාම පරිස්‌සමට. ඒ තාක්‍ෂණය අපිට නැහැ. ඒ නිසා අපිට සැකිල්ල පිටරටකින් ගෙන්න වෙනවා. සාමාන්‍යයෙන් රුපියල් ලක්‍ෂ පනහක්‌ විතර වියදම් කරනකොට දෙන්නෙකුට විතර යන්න පුළුවන් පුංචි ගුවන් යානයක්‌ එකලස්‌ කරගන්න පුළුවන්. ඒ වගේ සැහැල්ලු ගුවන් යානයකින් අඩි පන්දහසක්‌ පමණ ඉහළ අහසේ පියාසර කරන්නත් පුළුවන්. නමුත් අඩි දහකට එක්‌දහස්‌ පන්සියක පමණ උඩින් යනකොට තමයි පරිසරයේ සුන්දරත්වය හිත පුරා විඳින්න පුළුවන් වෙන්නේ.

ඔහොම ගුවන් යානා නිර්මාණය කරමින් ඉන්නකොට රේ විඡේවර්ධන මහත්තයා මට කිව්වා මටයි පුතාටයි දෙන්නටම ගුවන් යානා පදවන්න ලයිසන් ගන්න කියලා කිව්වා. එතකොට ඔයාලටම කියලා ගුවන් යානයක්‌ තියාගන්නත් පුළුවන් කියලා කිව්වා. ඊට පස්‌සේ 1993 අවුරුද්දේ මමත්, මගේ වැඩිමහල් පුතා නීල් කොනිනුත් පුද්ගලික ගුවන් නියමු බලපත්‍රය ලබා ගත්තා. ලයිසන් එක ගත්තට පස්‌සේ මමයි පුතයි හැම සති අන්තයකම වගේ වයික්‌කාල ප්‍රදේශයේ සැහැල්ලු ගුවන් යානා සංචාරවල යෙදෙනවා. සෑම සාර්ථක ගුවන්ගත කිරීමක්‌ හා ගොඩබෑමක්‌ අවසානයේදීම මගේ හිතට පුදුම සතුටක්‌ ඇති වෙනවා. ඒක වචනවලින් කියන්න මට බැහැ. ඒ වගේම ඉහළ අහසේ ඉඳලා අපේ රට දෙස බලන කොට ඉතාමත් නිහතමානී ආඩම්බරයක්‌ මට දැනෙනවා. ඒ තරම් අපේ රට ලස්‌සනයි.

විඡේවර්ධන මහත්තයා ගුවන් යානා පිළිබඳ මට විශාල දැනුමක්‌ ලබාදුන්නා. එය එතෙක්‌ මෙතෙක්‌ කාලයකට මට ලැබුණු සුවිශේෂී අත්දැකීම් සමුදායක්‌. ඒ වගේම එතුමා ළඟ තිබුණු උපකරණ භාවිත කරන්න ඉඩදීම නිසා මට විශාල කාර්මික දැනුමක්‌ ආවා. ඒ සියලු දැනුම් සම්භාරය මට දීලා එතුමා දැනට අවුරුදු දෙකකට විතර උඩදී අපෙන් සමුගෙන ගියා.

අදටත් මම සිවිල් ගුවන් සේවා අධිකාරිය සමග එක්‌ව පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් කරනවා. මමත්, මගේ දරුවෝ දෙන්නත් ඉතාම කැමැත්තෙන් තමයි මේ දේ කරන්නේ. මගේ මතකය නිවැරදි නම් අපි මේ වන කොට රට පුරා ගුවන් සංදර්ශන දහනවයක්‌ පමණ පවත්වා තිබෙනවා. මේ ගුවන් සංදර්ශන ඉදිරිපත් කරමින් මමත්, මගේ පවුලේ උදවියත් විශාල මානසික තෘප්තියක්‌ ලබනවා. අපේ ගුවන් සංදර්ශන නරඹන පුංචි දරුවන්ගේ සතුට මට දැනෙනවා. මමත් පුංචි කාලේ ගුවන් යානයක්‌ දුටුවම මා තුළ හටගත් ආශාව, සතුට, සොම්නස තවමත් මතකයේද රැඳී තියෙනවා. පුංචි දරුවන්ට ඒ අහිංසක සතුට ලබාදීම සඳහා කරන සංදර්ශනවලට අපි රුපියලක්‌වත් අය කරන්නේ නැහැ.

අවසානයේ මෙන්න මේ ටිකත් ලියලා තියන්න... ජීවිතයේ වටිනාම දෙය තමයි තමා කරන කාර්ය සත්භාවයෙන් යුක්‌තව කරන එක. ඒ වගේම තමන්ගේම හැකියාවන්වලින් ඉදිරියට යනවා කියලා එකම අධිෂ්ඨානයකින් වැඩ කරන්න ඕනා. එහෙම හිතන කෙනාට කිසිමදාක වරදින්නේ නැහැ. දුවේ පුතේ... මම ඔබට කියන්නෙත් ඔබ තුළ මොන යම් හෝ දක්‍ෂතාවයක්‌ හැංගිලා තියෙනවා. අන්න ඒ දක්‍ෂතාවය දියුණු කරගන්න. එහෙම කළොත් ඔබට ඔබේ ජීවිතයේ යන්න පුළුවන් උපරිම දුරකට යන්න පුළුවන්.

තරංග රත්නවීර

ඡායාරූප - සමන් අබේසිරිවර්ධන
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.