දැස්‌ නොපෙනුනත් සුදු සැරයටියෙන්
ලෝකය දකින මිනිස්‌සු...


අපගේ ජීවිත ගතවෙන්නේ ආලෝකයත් අඳුරත් සමඟ පවතින නිරන්තර සබැඳියාවකිනි. අප අඳුර විනිවිද දකින්නේ ආලෝකයේ කැලුම් හරහායි.

අඳුරත් ආලෝකයත් අප වෙන්කොට දකින්නේ කුමකින්ද?

දැසින් විඳින ආලෝකයේ සිට අප අඳුරට සාප කළද අඳුර ආලෝකය කොට ගෙන ජීවත්වන පිරිස අන්ධභාවයෙන් පෙලෙන්නෝය. ඔවුහු කිසිදා අඳුරට සාප නොකරති.

දැස පෙනෙන අප අඳුරට බියෙන් අඳුරින් මිදෙන්නට උත්සාහ ගනිද්දී, දැස්‌ අන්ධ සෙස්‌සන් අන්ධකාරය ආශිර්වාදයක්‌ කොට ගෙන අඳුරට ඇලුම් කරමින් අඳුරත් ආලෝකයත් මනැසින් දකිමින් ජීවත් වෙති.

ඔවුනට පිහිටට සිටින්නේ සවිමත්ව දැතේ රැඳෙමින් නොපෙනෙන දැසට පෙනීමක්‌ ගෙනෙන සුදු සැරයටියයි. ආරක්‍ෂිතව සහ ස්‌වාධීනව පා තබා යා හැකි පරිදි සවිමත් අත්වැලක්‌ වන්නේද සුදු සැරයටියයි.

ජාන මගින් හෝ වෙනත් ආබාධ හේතුවෙන් අන්ධ වීම හැරුණු කොටගෙන සංඛ්‍යාත්මකව විශාල පිරිසක්‌ දෘෂ්‍යාබාධිත තත්ත්වයට පත් වූයේ, 1921 වකවානුවේ පළමුවැනි ලෝක යුද්ධයේදීය. සමාජ සංසිද්ධීන් හේතුවෙන් මනුෂ්‍ය වර්ගයාගේ දැස නොපෙනී යැම අතිශය සෝචනීය සිදුවීමක්‌ බවට පත්වූ හෙයින්ම, ඊට යම් විසඳුමක්‌ සොයා අන්ධ වූ ජනතාවට පිහිටක්‌ වීමට බොහෝ රටවල් එකල විවිධ යෝජනා ඉදිරිපත් කළහ.

වර්ෂ 1931 දී ප්‍රංශ ජාතික ගලී හර්බටන් විසින් පිහිටුවා ගන්නා ලද "ජාතික සුදු සැරයටි පෙරමුණ" හරහා ලොව ප්‍රථම වරට සුදු සැරයටි ප්‍රදානය කළේ යුද්ධය නිසා අන්ධ වූ ජනතාවටය.

එවන් උදාරතර කර්තව්‍යයෙන් පෑදුණු මඟ ශක්‌තිමත් හා පැහැදිලි බව ඒත්තු ගන්වන්නට හොඳම මඟ වූයේ, සුදු සැරයටි භාවිත කරන්නන් සුරක්‍ෂිත කිරීම සඳහා වූ පනතක්‌ ප්‍රථම වරට සම්මත වීමය. ඒ ඇමරිකාවේ ඉලෝනික්‌ ජනපදයේය.

අදටත් අපට දැස හැර බලා සිහිපත් කොට මෙවන් උත්තරීතර මිනිසුන් පිළිබඳව වචන හසුරුවන්නට ඉඩක්‌ තැබූයේ, ඇමරිකානු ජනාධිපති ලින්ක්‌සන් ජොන්සන් මහතාය. ඒ ඔහු විසින් වසර 1964 ඔක්‌තෝබර් මස 15 වැනිදා සුදු සැරයටි සුරක්‍ෂිත දිනයක්‌ ප්‍රකාශයට පත් කිරීම නිසාය.

ලෝක අන්ධ ජන සංවිධානයේ සංඛ්‍යා ලේඛනවලට අනුව, ලෝක ජනගහනයෙන් මිලියන එකසිය හැටක්‌ දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ය. මේ මිලියන එකසිය හැටක පිරිස ලොවම කළඹා සුරපුරයක්‌ සැකසීමට තරම් සවිබලයෙන් අනූනය. ඒ සවිබලය ඇත්තේ ඔවුන්ගේ කයෙහි නොව මනසෙහිය. හදවතෙහිය. අප අගය කළ යුත්තේත් රැකගත යුත්තේත් දෘෂ්‍යාබාධිත පිරිසගේ හැඟීම්ය. සිතිවිලිය.

බෞද්ධ දර්ශනය මෙහිදී අපට රුකුලක්‌ වන්නේ, බුදුන්වහන්සේගේ බුදුවීමට පෙර ඒ ඒ ආත්මවලදී හෙළි වූ චරිතයන්ය.

බෝසතාණන් දාන පාරමිතාව පුරණ කල්හි සිවි රජුව උත්පත්තිය ලබා සිරුරේ අවයව දන්දෙමින් සිටින කල දැස දන්දීමට අයෙකු සොයමින් සිට ඇත. මේ බැව් දුටු ශක්‍ර දේවේන්ද්‍රයෝ අන්ධ මිනිසකුගේ වෙස්‌ ගෙන සිවිරජු යන මඟෙහි පෙනී සිටියේ දැස්‌ දන්දීමේ සිත් පහළ වන්නටය. ඒ දුටු බෝසතාණෝ දැස්‌ දන් දී පින් රැස්‌ කර ගත්හ. ඒ පින් මහිමය ය.

දැස මූලික කොට ගනිමින්, පව් පුරවා ගත් අයුරුද ඒ පව් ගැල බැඳි ගොනා සේ පසුපස ගමන් ගත් අයුරුද බුදු දහමේ දැක්‌වෙයි.

ඒ චක්‌ඛුපාල තෙරුන්ගේ කතා වස්‌තුව ඔස්‌සේය. චක්‌ඛුපාල තෙරුන් පෙර භවයක කාන්තාවකගේ දැස අන්ධභාවයෙන් මුදවා ගනිමින් අනතුරුව, කාන්තාවට පවසා සිටියේ තමාට දාසකම් කරන ලෙසය. එහි පාපය කොතරම්ද යත් චක්‌ඛුපාල තෙරුන් රහත්භාවයට පත් වුවද දැස්‌ අන්ධ වූවකු විය.

ඉතිහාසය, බුදු දහම එපරිද්දෙන් සිහිපත් කරනුයේ දෘෂ්‍යාබාධිත පිරිස්‌ එදා සිටි බවය. එය ද අරුමයක්‌ නොවන බවය. ඔවුනට කළ නොහැක්‌කක්‌ නොමැති බවය.

බෝසතාණෝ වරෙක ගිරා පක්‍ෂියෙකුව අන්ධ දෙමවුපියන්ට උපස්‌ථාන කළ අයුරු සාලිකේදාරි ජාතකයෙන් දක්‌වන්නේ, ද අන්ධ දෙමවුපියන් රැක බලා ගත් තවත් භවයක්‌ සාම කුමාරයාව ඉපිද ගත කළ අයුරු සාම ජාතකයෙන්ද දක්‌වන්නේ, මනුෂ්‍ය ආත්මයට යහගුණ වගාව අවැසි බව සිහිකරනු වස්‌ය.

මේ සියලු කාරණාවන්ගෙන් අප උකහා ගත යුතු වන්නේ, දෘෂ්‍යාබාධිත හෝ අන්ධවූවන් හෝ යන නාමයන්ගෙන් හඳුන්වනු ලබන පිරිස්‌ ආබාධිත තත්ත්වයේලා සැලකීම සුදුසු නොවන බවයි.

"සුදු සැරයටිය" හි ආරම්භය අපූරුය. යමෙකු යමක්‌ සොයා ගනු ලබන්නේ අත්දැකීම් මගිනි. මෙයද එසේමය.

වර්ෂ 1921 දී පමණ එංගලන්තයේ බ්‍රිස්‌ටල් නගරයේ ජීවත් වූ ඡායාරූප ශිල්පියකු වන ඡේම්ස්‌ බිග්ස්‌ නිදන්ගත රෝගී තත්ත්වයක්‌ මත අන්ධභාවයට පත්ව ඇත. රාත්‍රි කාලයට සුදු වර්ණය මතට ආලෝකය (ලයිට්‌ එළිය හෝ හඳ එළිය) වැටුණු විට කැපී පෙනෙන බව පෙර ක්‍රියාකාරකම් ඔස්‌සේම දැන සිටි ඔහු, තමන් අන්ධ වූ පසු ස්‌වාධීනව ඇවිද යැමට යොදා ගත් සැරයටියේ සුදු වර්ණය ආලේප කළේය. එය ඔහු සිදු කළේ දැඩි විශ්වාසයකිනි.

රථ වාහන වලින්ද ආරක්‍ෂාව ලබා ගැනීමට සුදු සැරයටිය මහෝපකාරී වන බවද ඔහුට ඒත්තු ගොස්‌ තිබිණි. එය සත්‍යයක්‌ වූයේ එදාට පමණක්‌ නොවේ.

සුදු සැරයටිය ලෙස නම් ලැබූ ප්‍රාණ සම හස්‌තය වරින් වර නවීකරණය වූයේ තවදුරටත් සේවය සැපයිය හැකි පරිද්දෙනි.

ඇමරිකාවේ "මාරිලන්ඩ්" අන්ධ විද්‍යාලයේ සේවය කළ ගුරුවරයකු වූ රිචඩ් හූවර් නම් දෙනෙත අහිමි වූ තැනැත්තා ඇමරිකන් හමුදාවේ සාජන් කෙනෙකු වූයේ සිය කැපවීම මතය. වැලිපොච් හමුදා රෝහලේ සිටි යුද්ධයෙන් අන්ධ වූ සොල්දාදුවන් උදෙසා සේවය සැපයීම ඔහුට භාරවූ එක්‌ රාජකාරියක්‌ විය. ඒ අනුව ඔහු සුදු සැරයටියේ මිටෙහි ඇඟිලි තුඩු යෑවිය හැකි ලෙස සැකසූ මිටක්‌ සවිකොට ඇත. එය බෙහෙවින් ප්‍රයෝජනවත් වූවක්‌ බව කියෑවේ.

පසු කලෙක සැරයටියේ ලීය වෙනුවට ඇලුමිනියම් යෙදූ කේනයක්‌ නිපදවා ඇති අතර තවදුරටත් නවීකරණය කරමින් නැමිය නොහැකිව තිබූ සුදු ඇලුමිනියම් සැරයටිය නැමිය හැකි සැරයටියක්‌ බවට පත් විය. එසේ නවීකරණය කළේ ඇමරිකාවේය.

වත්මන වන විට, සුදු සැරයටිය ඇලුමිනියම්, ග්‍රැනයිඩ්, කාබන්, ෆයිබර් ග්ලාස්‌, ෆයිබර් යන ලෝහවලින් නිර්මාණය වේ.

වළවල්වල වැටී සිදුවන අපහසුතා මඟහැරීම පිණිස සැරයටියේ අගට රෝලරයක්‌ සවිකර තිබෙන්නේ තවදුරටත් ආරක්‍ෂිත වීමටය. වත්මන් ලෝකයේ සුදු සැරයටිය කොතරම් දියුණු කර ඇත්ද යත්, එමගින් ආබාධිත භාවයේ ස්‌වභාවය නිරූපණය වන පරිදි සකසා තිබේ.

උදාහරණ ලෙස සුදු සැරයටිය තුළ රතුපටි දෙකක්‌ යොදා තිබීමෙන් එය රැගෙන යන්නා අන්ධ සහ බිහිරි පුද්ගලයකු බව හඳුනා ගත හැකි වෙයි.

සුදු සැරයටිය භාවිත කරන දෘෂ්‍යාබාධිත පුද්ගලයන් වර්ග හතකට වෙන්කර දැක්‌විය හැකිය. එය දත යුත්තේ සාමාන්‍ය වැසියන්ය.

i. පූර්ණ අන්ධ

ii. එක්‌ ඇසක්‌ පමණක්‌ අන්ධ

iii. දුර හෝ ළඟ නොපෙනීම (දුර දෘෂ්ටිකත්වය හා අවිදුර දෘෂ්ටිකත්වය)

iv. ආලෝකය පමණක්‌ පෙනෙන

v. තරමක්‌ පෙනෙන

vi. රාත්‍රි කාලයේ පෙනීම නැති

vii. වර්ණ අන්ධතාව

මේ සත් කොට්‌ඨාසයෙන් කුමන කොටසකට අයත් අන්ධ පුද්ගලයකු වුවද සිතේ ශක්‌තිය දැඩිව ඇත්තන්ය. ඔවුනට අන්තර්කරණ අධ්‍යාපනයත් (සාමාන්‍ය පාසල්වල සාමාන්‍ය දරුවන් සමඟ) ලබා දුන්නද ජීවිකාව ගෙන යැමේ අයිතිය තැන තැන අහුරා ඇතිසේය.

අන්ධ වූවන් සේ සැලකුවද බරක්‌ කරට ගෙන ඉදිරියට යා හැකි පිරිසකි. එහෙත්, මොවුහු කිසිදා රටට බරක්‌ වන්නට කැමැති අය නොවේ.

ඔවුහු එක්‌ව හඬ නඟන්නේ රටේ උත්තරීතර පදවිය ඉල්ලා නොවේ. ශ්‍රී ලංකා ජාතික දෘෂ්‍යාබාධිත සම්මේලනයේ මධ්‍යම පළාත් ශාඛාවේ සභාපති ප්‍රසන්න වික්‍රමසිංහ හා පිරිස සෑම වසරකම එක්‌ව පා ගමන් ඇතුළු ජනතා අවබෝධයන් අලුත් කරන්නේ, නිදහසේ ඇවිද යැමටත්, රථවාහන රියෑදුරන් දැනුවත් කිරීමටත්, දුරගමන් සේවා පහසුකම් නොඅඩුව ලබා ගැනීමටත්, සිය දැනුම උපයෝගිත්වයෙන් සේවයට බඳවා ගන්නා ලෙසත් ඉල්ලාය.

එහි වරදක්‌ නැත. දැස පෙනෙන නූගතුන් මහපුටුවල රජකරන සමයේ, උගත්, අත්දැකීම්වලින් සපිරි යහගුණ දත් දෘෂ්‍යාබාධිත පිරිස්‌ සේවයට බඳවා ගැනීමේ වරද කුමක්‌ද? ඔවුනට ද ජීවත්වීමේ "නිදහස්‌ව ස්‌වාධීනව ජීවත්වීමට" පූර්ණ අයිතියක්‌ ඇත.

උපේක්‍ෂා වීරසේකර
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.