ප්‍රාඩෝ යුද ටැංකිවලින් කළ දෙමටගොඩ කුඩු යුද්ධය

හෙරොයින් ජාවාරමත්, පාතාල ලෝකයත් පාදඩ දේශපාලනඥයනුත් අතර ගසට පොත්ත මෙන් වූ බැඳීමක්‌ ඇත්තේය. හෙරොයින් මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සඳහා පොලිසිය කොතෙකුත් උත්සාහ කළ ද එය තවමත් ව්‍යර්ථ වූ ක්‍රියාවලියක්‌ බවට පත්ව ඇත්තේ ඇතැම් දූෂිත දේශපාලනඥයන් නිසාය. කොළඹ නගරය තුළ හෙරොයින් ජාවාරමට ප්‍රසිද්ධියක්‌ උසුලන ස්‌ථාන ගණනාවකි. මාලිගාවත්ත, කොටහේන, මෝදර, දෙමටගොඩ, මට්‌ටක්‌කුලිය, රාජගිරිය බොරැල්ල, මරදාන, වැලිකඩ, කොම්පඤ්ඤවීදිය වැනි ප්‍රදේශ ඉන් සමහරකි. කොළොන්නාව ප්‍රදේශයද මේ වනවිට හෙරොයින් ජාවාරමේ තෝතැනන්නක්‌ වී හමාරය.

දෙමටගොඩ, කොළොන්නාව, බොරැල්ල, රාජගිරිය, වැලිකඩ ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරම ජයටම සිදු වෙයි. කුඩු රුවන්, මෝල චමින්ද, වැන්නවුන්ගෙන් මෙම ප්‍රදේශවල මත්කුඩු ජාවාරම පෝෂණය වී ඇති බව නොරහසකි.

මොවුන් හෙරොයින් ජාවාරම හරහා උපයන ධනස්‌කන්ධය අති විශාලය. මෙසේ උපයන ධනස්‌කන්දය මෙන්ම හෙරොයින් තොග බෙදා ගන්නට යැමේදී මේ අපරාධකරුවන් අතර ගැටුම් හට ගැනීම සුලභය. බොහෝවිට ඒ ගැටුම් කෙළවර වන්නේ එකකු දෙන්නකු ගේ ජීවිත අහිමි කරමින්ය.

පසුගිය 8 වැනිදා මධ්‍යම රාත්‍රියේ දෙමටගොඩ මංසන්ධියේදී පුපුරා ගියේ මේ හෙරොයින් ජාවාරම්කරුවන් අතර වූ වෛරයේ බෝම්බයකි.

දෙමටගොඩ මංසන්ධිය යනු කොළඹ නගරයේ ප්‍රධානම ජනාකීර්ණ ස්‌ථානයකි. පොලීසිය පිහිටා ඇත්තේ මංසන්ධියට යාර කීපයක දුරින්ය. නිරතුරුවම පොලිස්‌ නිලධාරීහු දෙමටගොඩ හන්දියේ රාජකාරි කරමින් සිටිති.

එහෙත් මේ කිසිවක්‌ කොළොන්නාවේ චණ්‌ඩින්ට මහ කඡ්ජක්‌ වී නැත. ඔවුන්ට පොලිසිය සිටියත් ඵලක්‌ නැත. නොසිටියත් ඵලක්‌ නැත. කොළඹ නගරයේ කුමන ස්‌ථානයක්‌ වුවද ඔවුන්ට ඵලක්‌ නැත.

තම අවශ්‍ය ඉලක්‌කය ඔවුන් සපුරා ගන්නේ තමන් සතුව ඇති මහා බලපරාක්‍රමය අභියෝගයට ලක්‌කරමින්ය.

ඉකුත් 8 වැනිදා රාත්‍රි 11.45 ට පමණ වන විට දෙමටගොඩ හන්දිය ප්‍රදේශය පුරා පැතිර තිබුණේ තරමක නිහැඬියාවකි. බේස්‌ලයින් මාර්ගය ඔස්‌සේ වේගයෙන් ධාවනය වන වාහන එකක්‌ දෙකක්‌ හැරෙන්නට වෙනත් කලබලකාරී බවක්‌ තිබුණේ නැත.

හිටිහැටියේම කොළොන්නාව ප්‍රදේශයේ සිට වාහන පෙළක්‌ ඉගිල ආවේය. ඉදිරියෙන්ම ආවේ අළු පැහැයට හුරු හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයකි.

බැලූ බැල්මට එහි පුද්ගලයන් පස්‌ දෙනෙක්‌ සිටින බව පෙනිණි. ඊට පිටුපසින් ආවේ නිසාන් වර්ගයේ මෝටර් රථයකි. ඒ වාහන දෙකටම පිටුපසින් පැමිණියේ සුදු පැහැති ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයකි.

මේ වාහන තුනේම සිටි පුද්ගලයන් දැඩි කලබලයකින් සිටින බවක්‌ පෙනෙන්aනට තිබුණේය. හයිබ්‍රිඩ් මෝටර් රථයට පිටුපසින් පැමිණි මෝටර් රථයේ ඉදිරිපස අසුනේ සිටියේ කොළඹ හෙරොයින් ජාවාරමේ අංක එකේ ජාවාරම්කරුවකු බව කියන කුඩු රුවන්ය. ඔහු සමඟ තවත් සිව් දෙනෙක්‌ ඒ රථය තුළ වූහ.

දෙමටගොඩ මංසන්ධියේ මාර්ග සංඥ කණුව ආසන්නයේදී කුඩු රුවන් පැමිණි මෝටර් රථය හයිබ්‍රිඩ් රථයට මග හරස්‌ කළේය.

මේ පිරිස පැමිණෙන්නේ තමන් ලුහුබැඳ බව ඒ වන විට හයිබ්‍රිඩ් රථයේ සිටියවුන් දැන සිටියේ නැත.

බේස්‌ලයින් මාර්ගය ඔස්‌සේ උසට නැඟුණු විදුලි පහන්වල ආලෝකයෙන් මුළු ප්‍රදේශයම එළිය වැටී තිබුණේය. ගතවූයේ නිමේෂයකි. සුදු පැහැති ප්‍රාඩෝ ජීප් රථයෙන් එකකු බැස ගත්තේය.

ඔහු මාර්ගය හරස්‌ කර තිබූ හයිබ්‍රිඩ් රථය දෙසට දිව යන්නට වූයේය. රථයේ රියෑදුරු අසුන පැත්තෙන් සිය ඉලක්‌කය ලබාගත් නාඳුනන පුද්ගලයා හෙණ හඬ නඟමින් වෙඩි පිට වෙඩි ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තේය.

අනපේක්‌ෂිත අවස්‌ථාවකදී එල්ලවූ වෙඩි ප්‍රහාරවලින් අන්දුන්කුන්දුන් වූ හයිබ්‍රිඩ් රථයේ සිටියවුන් කෑගසන්නට වූහ.

ඒ වනවිට එහි රියෑදුරු අසුනේ උන් තරුණයා වෙඩි ප්‍රහාරයට ලක්‌ව සිටියේය. මරු විකලයෙන් මෙන් ඔහු රථය ඉදිරියට ධාවනය කරන්නට වූයේය. එහෙත් ඔහුට මීටර් 200 කට වඩා එහා දුරක්‌ ඉදිරියට යන්නට ඉඩ ලැබුණේ නැත. හයිබ්‍රිඩ් රථය මාර්ගය අසල පදික වේදිකාවක ගැටෙමින් ගොස්‌ නතර වුණේය.

මෝටර් රථයේ සහ ප්‍රාඩෝ ජීප් රථයේ ආ ඝාතකයන් මෝටර් රථය පසුපස හඹා එන්නට වූහ. බේස්‌ලයින් මාර්ගය මැද නතරවූ හයිබ්‍රිඩ් රථයෙන් කලබලයෙන් සිව් දෙනෙක්‌ බැස ගත්තේය.

උන් අත ටී, 56 ගිනි අවි දෙකකි. එහෙත් ඒ එකකුවත් තමන්ට ප්‍රහාර එල්ල කරන සතුරාට ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට උත්සාහ කළේ නැත. උන්ට අවශ්‍යව තිබුණේ කෙසේ හෝ දිවි ගලවාගෙන පලා යැමය.

රථයෙන් බැසගත් සිව්දෙනා වනාතමුල්ල ප්‍රදේශයට අතුරු මාර්ගයක්‌ ඔස්‌සේ දිව ගියෝය.

ඝාතකයාට අවශ්‍යව තිබුණේ හයිබ්‍රිඩ් රථයේ රියෑදුරුට මුලින්ම වෙඩි තබා ඔහු අඩපණකර එහි සිටි සෙසු සාමාජිකයන් පරලොව යෑවීමය. එහෙත් මරුවිකලයෙන් මෝටර් රථය ඉදිරියට රැගෙන යැමට රියෑදුරු කටයුතු කිරීම නිසා ඝාතකයන්ගේ ඉලක්‌කය සාර්ථක වුණේ නැත.

තත්පර ගණනක්‌ තුළ සිදුවූ මේ සියලු ත්‍රාසජනක සිදුවීම් දෙමටගොඩ හන්දියේ රාජකාරී කරමින් සිටි පොලිස්‌ නිලධාරියකු මෙන්ම තවත් කිහිප දෙනෙකුගේම නෙත ගැටී තිබිණි.

බොරැල්ල දෙසට වේගයෙන් ධාවනය වූ කුඩු රුවන් රැගත් මෝටර් රථය නැවතත් හරවාගෙන දෙමටගොඩ දුම්රිය ස්‌ථානය දෙසට ධාවනය වන්නට වූවේය. කුඩු රුවන් අවසානයේ නතර වූයේ දෙමටගොඩ පොලිසිය අසලය. දෙමටගොඩ හන්දියේ කවුදොa කට්‌ටියක්‌ වෙඩි තියාගන්නවා. දැන්ම ගියොත් අල්ලගන්න පුළුවන්.

කුඩු රුවන් පොලිසිය අසල රාජකාරි කරමින් සිටි නිලධාරියකුට දැනුම් දුන්නේය. මේ තොරතුරු ලබාදෙන පුද්ගලයා කොළොන්නාවේ කුඩු රුවන් බව හඳුනා ගන්නට ඒ පොලිස්‌ නිලධාරියාට අපහසු වුණේ නැත.

තොරතුරු ලබා දුන් කුඩු රුවන් නැවතත් පවනට බඳු වේගයෙන් කොළොන්නාව දෙසට සිය රථය ධාවනය කළේය.

දෙමටගොඩ පොලිසියේ ස්‌ථානාධිපති ලලිත් අබේසේකර මහතා ඒ වන විට කිසියම් රාජකාරියක්‌ සඳහා දෙමටගොඩ ප්‍රදේශයට ගොස්‌ සිටියේය. වෙඩි තැබීමේ සිද්ධිය සැළවූ වහාම ලලිත් අබේසේකර සිය නිලධාරීන්ද සමඟ දෙමටගොඩ හන්දියට ආවේය. ඒ වනවිට හයිබ්‍රිඩ් රථයේ උන් තරුණයා ලේ විලක්‌ මැද වැටී සිටියේය.

ලලිත් අබේසේකර සිය නිලධාරීන්ද සමඟ එක්‌ව තුවාලකරු වෙනත් රථයකට දමා ගත්තේය. ඒ වන විටත් තුවාලකරු ජීවිතයත්, මරණයත් අතර සටනකට මැදිවී සිටියේය. ඔහුගේ මුවින් සිහින් කෙඳිරිලි හඬක්‌ නිකුත් වුණේය. වෙඩි ප්‍රහාර කීපයක්‌ ඔහුගේ උදරය දෙසට එල්ලවී තිබුණේය.

තුවාලකරු වහාම කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගියේය. එහෙත් ප්‍රමාද වැඩිය. රෝහල් ගත කරන විටත් මේ පුද්ගලයා මෙලොව හැර ගොස්‌ සිටියේය.

කොළඹ නගරයේ වැදගත්ම ස්‌ථානයකදී කිසිදු බයකින් සැකයකින් තොරව මෙවැනි ප්‍රහාරයක්‌ එල්ල කිරීම පොලිසියට විශාල අභියෝගයක්‌ විය.

වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ වන්නේ ඉන්පසුවය. කොළඹ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ ආර්. එල්. රණ්‌වීරගේ සෘජු අධීක්‍ෂණය යටතේ දෙමටගොඩ පොලිස්‌ ස්‌ථානාධිපති ලලිත් අබේසේකර ඇතුළු නිලධාරීහු දෙමටගොඩ ප්‍රදේශයම පීරන්නට වූහ.

කුඩු රුවන් මේ ඝාතනය පිටුපස සිටින බව එවකට පොලිසිය දැනගෙන සිටියේය. වෙඩි ප්‍රහාරයට ලක්‌ව ඝාතනය වූ තරුණයා බොරැල්ල සර්පන්ටයින් පාරේ පදිංචි සුජිත් කරුණාරත්න බවද පොලිසිය හඳුනා ගත්තේය. 27 හැවිරිදි වියේ පසුවූ මොහු තිදරු පියෙකි.

කුඩු රුවන්ගේ ප්‍රධාන පෙළේ ගෝලයකු ලෙස කටයුතු කළ සුජිත් කරුණාරත්න මීට ටික කලකට උඩදී ඔහු සමඟ විරසක වූ බවද පොලිසිය හෙළිකර ගත්තේය. වෙඩි ප්‍රහාරය එල්ල වනවිට හයිබ්‍රිඩ් රථයේ සිටි අනෙක්‌ සිව් දෙනා දෙමටගොඩ සංඛ, බොරැල්ල සර්පන්ටයින් පාරේ පදිංචි චුට්‌ටා, බිම්සර, ගනේමුල්ලේ සංජීව යන අය බවද හෙළි කරගන්නට පොලිසියට එතරම් කාලයක්‌ ගත වූයේ නැත. මේ තොරතුරු ලැබුණේ දෙමටගොඩ හන්දියේ ත්‍රිරෝද රථ රියෑදුරන් කිහිප දෙනකු හරහාය.

තමන්ට ප්‍රහාර එල්ල කරන පුද්ගලයන්ට ප්‍රතිප්‍රහාර එල්ල නොකර ටී 56 ගිනි අවි දෙකක්‌ද රැගෙන වනාතමුල්ල දෙසට මොවුන් පලා ගියේ මන්ද යන සැකය පරීක්‍ෂණ කණ්‌ඩායම තුළ තිබුණේය.

හයිබ්‍රිඩ් රථයේ තිබී ටී 56 මැගසින් එකක්‌, කඩු දෙකක්‌, මන්නා පිහියක්‌, ජංගම දුරකථන තුනක්‌ පොලිසිය සොයා ගත්තේය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණය සඳහා අවශ්‍යම සාක්‍ෂියද මෝටර් රථයේ තිබී සොයා ගැනීමට පොලිසිය සමත්වූයේය.

මෝටර් රථය ඉදිරිපස වීදුරුවේ සවිකර තිබූ වීඩියෝ කැමරාව ඒවන විටත් ක්‍රියාත්මකව තිබුණේය. මෙම ඝාතනයේ සැඟවුණු සියලු කරුණු කාරණා හෙළිකර ගැනීමට පොලිස්‌ නිලධාරීන් සමත් වූයේ මේ වීඩියෝ කැමරාව හරහාය.

සිකුරාදා වනවිට දෙමටගොඩ පොලිසිය හෙළිදරව් කරගත් කරුණු කාරණාවලට අනුව හයිබ්‍රිඩ් රථයේ සිටි හෙරොයින් ජාවාරම් කරුවන් ආවේ මෝල චමින්ද සොයාගෙනය. ඒ ඔහු මරා දැමීමටය. ටී 56 ගිනි අවි ඇතුළු ආයුධ රැසක්‌ ඔවුන් රැගෙන ආවේ ඒ සඳහාය.

මෝල චමින්ද යනු පසුගිය වසර කීපයක්‌ තිස්‌සේ මහත් ආන්දොaලනාත්මක චරිතයකි. මොහු භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ ප්‍රධානතම සැකකරුවෙකි. කොලොන්නාව ප්‍රදේශය සිය රාජධානිය කරගෙන මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ යෙදෙන මෝල චමින්ද කෝටිපති ව්‍යාපාරිකයකු ලෙස සිවිල් සමාජයේ පෙනී සිටියි.

භාරත ලක්‍ෂ්මන් ඝාතනයෙන් පසු මෝල චමින්ද හොර රහසේම ඉන්දියාවට පලා ගියේය. එහෙත් ඔහු අවසානයේ දී පොලිසියට කොටු වූයේය.

භාරත ඝාතන සිද්ධිය සමබන්ධයෙන් කලක්‌ බන්ධනාගාර ගතව සිටි මෝල චමින්ද නැවතත් සිවිල් සමාජය හා එක්‌ව සිටියි.

මෝල චමින්දගේ වැඩිමහල් සොහොයුරු කුඩු රුවන්ය. දෙමටගොඩ හන්දියේ සිද්ධිය වන අවස්‌ථාවේ නිසාන් වර්ගයේ මෝටර් රථයේ සිටියේ කුඩු රුවන්ය.

හයිබ්‍රිඩ් රථයේ සිට පලාගිය දෙමටගොඩ සංඛ පාතාල ලෝකයේ නායකයකුව සිටි ඕල්කොට්‌ගේ සමීපතම ගෝලයෙකි. අනෙක්‌ තිදෙනා කොලොන්නාවේ කුඩු රජවරුන් වන මෝල චමින්ද කුඩු රුවන් වැන්නවුන් සමඟ එකට හෙරොයින් ජාවාරමේ නිරත වූවන්ය.

එකට ජාවාරම් කළ මේ අපරාධකරුවන් අවසානයේ මරාගත්තේ ඇයිද යන ගැටලුවට බොහෝ පිළිතුරු සපයා දීමට වීඩියෝ කැමරාව උපකාර වුණේය.

හයිබ්‍රිඩ් රථයේ සිටි දෙමටගොඩ සංඛ ඇතුළු අපරාධකරුවන්ව සිය ඉලක්‌කය වූ මෝල චමින්ද සොයා කොලොන්නාව ප්‍රදේශය පුරා සැරිසරන්නට වූයේය. ඒ 8 වැනිදා රාත්‍රි කාලයේ දීය.

ඔවුන් කොලොන්නාවේ එක්‌ එක්‌ මාර්ග ඔස්‌සේ කතාබහ කරමින් වාහනය හරවාගෙන යන ආකාරය වීඩියෝ කැමරාවේ ඉතාම පැහැදිලිව සටහන් වී තිබිණි.

මෝල චමින්ද ඝාතනය කිරීමට දෙමටගොඩ සංඛ ඇතුළු සගයන් පිරිසක්‌ කොලොන්නාවට ඇතුළු වී සිටින බව කුඩු රුවන්ගේ කන වැකී තිබුණේය. දෙමටගොඩ සංඛට නොදැනෙන්නට කුඩු රුවන් ඇතුළු පිරිස හොර රහසේම ඔවුන් සොයන්නට වූහ. කුඩු රුවන් ඇතුළු පිරිස තමන් ලුහුබඳින බව දෙමටගොඩ සංඛවත් මෝටර් රථයේ සිටි අනෙක්‌ අපරාධකරුවන්වත් දැන සිටියේ නැත.

කුඩු රුවන් සිය මෝටර් රථයෙන් පැමිණි අතර මෝල චමින්දට අයත් රුපියල් කෝටි ගණනක්‌ වටිනා සුදු පැහැති ප්‍රාඩෝ ජීප් රථයෙන් තවත් කිහිපදෙනෙක්‌ ආහ.

ඔවුන් දෙමටගොඩ හන්දිය තෙක්‌ සංඛ ඇතුළු සගයන් ගමන්ගත් හයිබ්‍රිඩ් රථය පසුපස පන්නාගෙන ආවේය. දෙමටගොඩ හන්දියේ දී එක්‌වරම මතුවූ පුද්ගලයකු හයිබ්‍රිඩ් රථයේ රියෑදුරු ලෙස සිටි සුජිත්ට වෙඩි ප්‍රහාර එල්ල කරන තුරුම ඔවුන් කිසිවකු ඒ බව දැන සිටියේ නැත. සුජිත් මරුවිකලයෙන් මෙන් මෝටර් රථය ඉදිරියට ධාවනය නොකරන්නට එහි සිටි පස්‌දෙනාම නොයෙන ගමන් යනු නියතය.

දෙමටගොඩ හන්දියේ සිදුවූ මෙම ඝාතනයට සම්බන්ධ තොරතුරු හෙළිවීමත් සමඟම පොලිසිය ක්‍රියාත්මක වුණේය. මෝල චමින්ද, කුඩු රුවන් ඇතුළු සගයන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කෙරිණි.

එහෙත් ඒ වනවිටත් මෝල චමින්ද සහ කුඩු රුවන් සිය නිවෙස්‌ අතහැර පලාගොස්‌ සිටියහ.

මොවුන් දෙදෙනා එක්‌තරා ප්‍රබල දේශපාලනඥයකුගේ නිවසේ සැඟවී සිටින බවට තොරතුරු ලැබෙන්නට පටන් ගත්තේය.

මෝල චමින්ද ඝාතනය කිරීම සඳහා දෙමටගොඩ සංඛ ඇතුළු සගයන් කොලොන්නාවට ආවේ කවුරුන් විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක්‌ මතද යන්න හෙළිවී නැත. බොහෝ විට මේ ඝාතන සැලසුම මත්කුඩු ආරවුලක්‌ නිසා සිදුවූවක්‌ බවටද සැකයක්‌ මතුවී තිබෙයි.

කෙසේ වෙතත් සිකුරාදා (11 දා) පෙරවරුවේ 'කුඩු රුවන්' නීතිඥයකු මාර්ගයෙන් අළුත් කඩේ අධිකරණය වෙත භාර වුණේය. කඩු රුවන් දින 14 කට බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්‌ත්‍රාත්වරිය නියෝග කළාය.

නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මේ මිනීමැරුමේ ප්‍රධාන සැකකරු වෙනුවෙන් පෙනී සිටියේය.

පාතාල අපරාධකරුවන් මර්දනය ඉතාම තදින් සිදුවන මෙවැනි කාලවකවානුවක කිසිදු බියකින් සැකයකින් තොරව මේ ආකාරයට ප්‍රසිද්ධ ස්‌ථානවල වෙඩි තබා ගන්නට තරම් පාතාල කණ්‌ඩායම් තවමත් ප්‍රබලව සිටිති.

එය එසේ සිදුවන්නේ කුමක්‌ නිසාද? මේ පාතාල නරුමයන්ට ලැබෙන්නේ කාගේ බලයක්‌ද? ඔවුන්ට රැකවරණය ලබාදෙන්නේ කවුරුන්ද? මේ සියල්ල කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසක්‌ බවට පත්ව ඇත්තේය.

හේමන්ත රන්දුණු

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.