අම්මා අලියාට පෑගුණේ දරුවන් බේරන්න යද්දීය



කලබල වූ අපි පැටියා පෙරහැරේ ගමන් කරමින්... පින්තූර - සුරංග දිල්හාන්

අලි බැලිල්ලයි බලි බැලිල්ලයි දෙකම එක වගේය. කොච්චර වේලාවක්‌ බලාගෙන සිටියත් ඇති නොවන දෙයකි. අලි මිනිස්‌ ගැටුමක්‌ ද තිබේ. විටෙක මිනිසා අලියාට එරෙහි වී අලි මරා දමති. තවත් විටෙක අලි මිනිසුන්ව මරා දමති. අලියාත් මිනිසාත් අතර බැඳීම ශිෂ්ටාචාරයටත් එහා ගිය පුදුමාකාර බැඳීමකි.

කොත්මලේ මොරපේ ඓතිහාසික ශ්‍රී කතරගම දේවාලයේ අවසන් රන්දොaලි පෙරහැර බලන්නට 09 වැනිදා රාත්‍රියේ පැමිණි පිරිස ද මඟ දෙපසට වී තේජාන්විත ගමනින් යන අලි දෙස බලා සිටියේ සතුටිනි. කරඬුව ගෙන යන ඇතා කාගෙත් නෙත සිත පිනවූහ. සාදු සාදු සාදු කියමින් දොහොත් මුදුන් දී සැදැහැ සිතින් සිටි අය අතර කුඩා දරුවන් ද වූහ. "අන්න පුතේ අලි" මවුවරු පියවරු තම අත රැඳි දරුවන්ව උස්‌සා ගනිමින් පෙන්වන්නට වූයේ කොයි කවුරුත් මේ සද්දන්ත සතා බලන්නට කැමැති නිසා ය.

හිටි හැටියේ පෙරහැර බලන්නට ආ පිරිස්‌ කලබල වූහ. පහළොස්‌ දහසකට අධික පිරිසක්‌ පාර දෙපස සිටියදී ඇති වූ කලබලය පිළිබඳ බොහෝ දෙනෙකුට අවබෝධ වූයේ ඒ අය පසුපසට තල්ලු කරමින් පිරිස්‌ එහෙ මෙහෙ දුවන්නට වූ පසුවය.

කුඩා දරුවන් ද කිටි කිටියේ අල්ලා ගනිමින් මවුවරු, පියවරු දෙපාවලට වඳිමින් දිව යන්නට වූයේ අලි කුලප්පු වී ඇතැයි කියමිනි.

මොරපේ රන්දෝලි පෙරහැර බලන්නට ආ ඇතැමුන් ළඟ සිටි දරුවන් ද බිරින්දැ ද, සැමියාද, වයස ආච්චි අම්මා ද හිස්‌ ලූ ලූ අත දිව ගියේ ජීවිතයට තිබූ ආශාව නිසා ය. නමුත් මහ අවාසනාවක්‌ සිදුවෙමින් තිබිණි.

තිස්‌පනේ, තිස්‌පනාකන්දේ පදිංචිව සිටි දිනුෂා කුමාරි විමලවීර නමැති තිස්‌එක්‌ හැවිරිදි දෙදරු මව දිව යද්දී මහ පාරටම ඇද වැටිණි. කලබල වූ අලි පැටවකුගේ අලි කකුල්වලට දිනුෂා පෑගෙද්දී ඇයට කියාගත නොහැකි වේදනාවක්‌ ද දැනිණි. අලි මදිවාට කලබල වූ මිනිසුන් නිසා දිනුෂාට වූ නස්‌පැත්තියට ද මැදිහත්වන්නට කෙනෙක්‌ සිටියේද නැත.

මාවෙල, රජඇළ සිට පෙරහැර බලන්නට පැමිණ සිටි එම්. එම්. පියදාස නමැති පනස්‌අට හැවිරිදි පුද්ගලයකු ද අලියාගේ අලි කකුලට පෑගී ගියේ ඒ අල්ල පනල්ලේ ය. කලබලව සිටි අලි පැටවාගෙන් බේරීමට හිස්‌ ලූ ලූ අත දිව යන ජනතාවට ඒ සිද්ධිය ද පෙනුනේ නැත. අලි කලබලයට බියේ දිව ගිය බොහෝ දෙනකුට ඒ වන විට විවිධාකාර තුවාල සිදුව තිබිණි. රන්දොaලි පෙරහැරේ කරඬුව ගෙන ගිය ඇතා ද මේ කලබලය නිසා පෙරහැර මාර්ගය අතහැර අලි බැඳ සිටි තැනට යළි දිව යමින් තිබිණි.

අලි කලබලය මැද ඇත්ගොව්වන් හෙන්ඩුව ගෙන මහත් පරිශ්‍රමයක්‌ දරා අලි මෙල්ල කරගන්නා විට අලි පැටවාගේ කකුල්වලට පෑගී බරපතළ ලෙස තුවාල ලබා සිටි දිනුෂා මහත්මිය සහ පියදාස මහතා ජීවිතයත් මරණයත් අතර තරගයට වැටී තිබිණි. අවට සිටි පිරිස මේ දෙදෙනාව වහා ගම්පොළ හා කොත්මලේ ග්‍රාමීය රෝහලට ගෙන ආහ. නමුත් ඒ දෙදෙනාගේ ජීවිත ඒ වන විටත් මාරයා සිය ග්‍රහණයට ගෙන තිබිණි. වෛද්‍යවරු මොන තරම් උත්සාහ ගත්තත් ඒ ජීවිත දෙක ආපසු ගැනීමට මාරයා ඉඩ දුන්නේම නැත. මෙම සිද්ධිය පිළිබඳ ඇසින් දුටුවකු ඒ බියකරු සිද්ධිය විස්‌තර කළේ මෙලෙසිනි.

"ඔය මියගිය කාන්තාව ළඟමයි මම හිටියේ. ඒ කාන්තාවගේ දරු දෙන්නත් ළඟට කරන් පෙරහැර බලද්දී තමයි අලි කලබලය ඇති වුණේ. මේ නෝනා හිටියේ පාර අයිනෙමයි. කලබල වී දිව එන අලියා එනවා දැක්‌ක ඒ කාන්තාව, එයා ළඟ සිටිය දරු දෙන්නව පැත්තකට තල්ලු කරලා දමද්දී එයා පාරට වැටුණා. අලියට පෑගුණේ එතකොටයි. අපි එයාව හනික රෝහලට ගෙන ගියා ඒත් එයාව බේර ගන්න බැරිවුණා."

පෙරහැරවල යන අලි කලබල වූ පළමු වතාව මෙය නොවන බව ඇත්තය. දළදා පෙරහැරේ පවා අලි කලබල ඇතිවූ අවස්‌ථා බොහෝ ය. ගායන ශිල්පී ඇන්ටන් ජෝන්ස්‌ ගයන 'ඝන්ටා නාදේ අවට ඇසෙන්නේ' ගීතය පවා ලියෑවුණේ අලි කලබලයක්‌ මුල්කරගෙන ය.

අලි බැලීමට කොයි කවුරුත් කැමතියි. අලි නැති පෙරහැරකට වඩා අලි සිටින පෙරහැර බලන්නට බොහෝ දෙනා කැමැතිය. පෙරහැරක අලි සිටින ගණන අනුව පෙරහැරේ වටිනාකම ද වැඩිය. නමුත් පෙරහැර බලන්නට එන පිරිසගේ ආරක්‍ෂාවට කුමක්‌ හෝ වැඩපිළිවෙළක්‌ සැකසිය යුතු ය.

සඳ පායා ඇති රැයක, කසකාරයන්ද, හේවිසි නාද ද, බොරු කකුල්කාරයන්ද, ගිනි ජාලාද, නැට්‌ටුවෝ ද, බෙර හඬද, මිනිස්‌ ගඟ ද දකින කල අලි කලබල වීම අරුමයක්‌ ද නොවේ. ඒ නිසා පෙරහැර සංවිධායකයන්, පෙරහැර බලන්නට පාර දෙපසට රැස්‌වන අයගේ වටිනා ජීවිත පිළිබඳව ද පෙරට වඩා කල්පනා කළ යුතුව ඇත.

මොරපේ රන්දොaලි පෙරහැර බලන්නට ආ දිනුෂා නමැති තිස්‌එක්‌ හැවිරිදි දෙදරු මවගේ සතුට නිමේෂයකින් නැතිව ගියේ අවාසනාවන්ත ලෙසිනි. දරු දෙදෙනකුට ආදරණීය මව අහිමි වී ඇත. නෑ පිරිවරට දැනෙන වේදනාව අපමණය. පියදාස මහතා ද දැන් මළවුන් අතරය. ඔහුගේ අඩුව දැනෙන්නේ ඔහුගෙන් යෑපුන අයටය. නෑ හිතමිතුරන්ටය. දුවා දරුවන්ටය. අලි කලබල කළ, ඒ අලි කලබලයට හසුව පෑගී මියයන බව නිකමට හෝ සිතුණි නම් මේ අය පෙරහැර අහළකටවත් එන්නේ නැත.

අලි මිනිස්‌ ගැටුම ඉහටත් උඩින් ගලා යන මොහොතක, පෙරහැර බලන්නට එන අයත්, අලින්ට ගොදුරු වීම හරි අවාසනාවකි. අලි මංකඩවල, අලින්ගේ කැලෑවල මිනිසුන් ජීවත් වන්නට පටන්ගත් තැන සිට අලි කරදර වැඩි විය. දෙකෝටියක ජනයා අලින්ගේ කැලෑ තුළ වගා කරන්නේද ඒ කැලෑවල ගම්මාන ඇති කරන්නේ හේතු ඇතුවය. නමුත් අලි නිසා මිනිසුන් ද, මිනිසුන් නිසා අලින් ද මිය යැම හෝ මරා දැමීම අපරාධයකි. එනිසා අලි මිනිස්‌ ගැටුමට කදිම සැලසුමක්‌ අවශ්‍යය. අධිවේගී මාර්ග ද දුම්රිය මාර්ග ද, ගම්මාන ද නිසා අලි ජීවත්වන කැලෑ එළිකර ඇත. අලි මිනිස්‌ ගැටුම උග්‍ර වී ඇත්තේ ඒ නිසා ය.

මොරපේ රන්දෝලි පෙරහැරේ දී අලි කලබලය අපි පාඩමක්‌ කරගත යුතු ය. දළදා පෙරහැරේ දී ද, කැලණි පෙරහැරේදී ද, ගංගාරාම පෙරහැරේදී ද අලි කලබල ඇති වූ වාර අපමණය. මිනිස්‌ ජීවිත ද බිලි වූ වාර අපමණය. එනිසා පෙරහැර බලන්නට එන පිරිස, අලි කලබලවලින් බේරා ගත යුතුය. තව ටික කලකින් මෙරටින් අලි වඳ වී යැමට ද පුළුවනි. එය මහ අපරාධයකි. කුඩා දරුවන්ට පෙරහැරක යන අලි පෙන්වන්නට කොයි කවුරුත් කැමතිය. දළදා කරඬුව ගෙන යන්නට ඇතුන් අවශ්‍යය. එනිසා අලි රැක ගැනීම මෙන්ම අලි මිනිස්‌ ගැටුමට ද විසඳුම් අවැසිය. මොරපේ රන්දෝලි පෙරහැරේ දී අලි කලබලයට මැදිව ජීවිතයෙන් වන්දි ගෙවූ ඒ දෙදෙනා පිළිබඳ සටහනක්‌ තැබුවේ වෙන කිසිවකටවත් නොව මින් මත්තට මෙවන් අවාසනාවන්ත සිද්ධීන් අසන්නට දකින්නට නොලැබේවා යන ප්‍රාර්ථනය මුල්කර ගෙන ය. ඒ සඳහා කදිම සැලසුමක්‌ සකසමු යෑයි කීමටය.

ශිරාන් රණසිංහ
පසුබිම් වාර්තා ගම්පොල සුරංග දිල්හාන්
කොත්මලේ - ජයතිස්‌ස

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.