රතුපස්‌වල අලුත්ම තත්ත්වය

වැලිවේරිය රතුපස්‌වල වෙනිග්‍රෝස්‌ කර්මාන්ත ශාලාව ලබන වසරේ අප්‍රේල් 30 වැනිදා එම ස්‌ථානයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට එම ආයතනය එකඟවීමෙන් පසු අදාළ කර්මාන්ත ශාලා සභාපති හා සියනෑ ජලය සුරැකීමේ සංවිධානය අතර පසුගියදා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිණි.

මෙම එකඟතාව පිළිබඳව ආරංචි වූ සැනින් ක්‍රියාත්මක වූ රතුපස්‌වල අවට ජනතාව වෙනිග්‍රෝස්‌ කර්මාන්ත ශාලාව ඉදිරිපිටට යළිත් රැස්‌වී යළි විරෝධතාව පළ කිරීමට කටයුතු කර තිබිණි.

ගම් රැසකට බලපා ඇති බරපතළ ප්‍රශ්නයක්‌ සම්බන්ධයෙන් තනි තනි පුද්ගලයන්ට කර්මාන්ත ශාලාව සමඟ එකඟතාවලට පැමිණීමට නොහැකි බව කියමින් ගම්වාසීහු කර්මාන්තශාලා ගේට්‌ටුව ඉදිරිපිට සිට මෙලෙස විරෝධතාව පළ කළහ.

තාවකාලිකව වසා දමා ඇති මෙම කර්මාන්ත ශාලාවේ එක්‌ නිෂ්පාදනාගාරයක්‌ වසා දමා තවත් නිෂ්පාදනාගාර හතරක්‌ නිෂ්පාදන කටයුතු ඉදිරි මාස හයක කාලයකට පවත්වාගෙන යැමට මෙම අවබෝධතා ගිවිසුම මගින් එකඟ වී ඇත.

ගම්පහ කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරිතුමා සමඟින් කර්මාන්ත ශාලාවේ පැය තුනකට අධික කාලයක්‌ පැවැති සාකච්ඡාවකින් පසුව මෙම එකඟතාව ඇති කරගත් අතර සියනෑ ජලය සුරැකීමේ සංවිධානය වෙනුවෙන් එහි සභාපති තෙරිපැහැ සිරිධම්ම හිමියෝ ද කර්මාන්ත ශාලාව වෙනුවෙන් එහි සභාපති ඒ. එම්. පණ්‌ඩිතගේ මහතා ද මීට අත්සන් තැබූහ.

ලබන වසරේ අප්‍රේල් 30 වැනිදා වසා දැමීමට නියමිත නිෂ්පාදනාගාර හතරක කටයුතු නිරීක්‍ෂණය සඳහා තෙරිපැහැ සිරිධම්ම හිමියන් ප්‍රධාන කමිටුවක්‌ ද පත් කිරීමට මෙහිදී එකඟතා ඇති විය.

මෙම ගිවිසුමේ කොන්දේසි අනුව පානීය ජල ප්‍රශ්නයෙන් පීඩා විඳින ප්‍රදේශයේ සමෘද්ධි පවුල් 3000 කට නළ ජලය ලබාගැනීම සඳහා අවශ්‍ය මූලික ගෙවීම් කර්මාන්ත ශාලා කළමනාකාරිත්වය මගින් ලබාදිය යුතු බව ගිවිසුමට ඇතුළත්ය.

මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ගම්පහ සණස ශාලාවේදී වෙනිග්‍රෝස්‌ ආයතනය සමඟ එක්‌ව මාධ්‍යවේදීන් ඇමතූ තෙරිපැහැ සිරිධම්ම හිමියෝ මෙසේ කීහ.

මේක ඓතිහාසික අවස්‌ථාවක්‌. මේ සිද්ධියෙන් හමුදා වෙඩි වැදී තුන්දෙනෙක්‌ මියගියා. මාධ්‍යවේදීන් ගුටිකෑවා, ජනතාව හෙම්බත් වුණා. මෙහෙම ගියොත් ඉදිරියට මොන මොන විනාශ වෙයිද දන්නේ නෑ. මහජනයාට සිදුවන විනාශය, හානිය වළක්‌වා ගැනීම සඳහා අපි අද ප්‍රධාන කොන්දේසි තුනක්‌ යටතේ මේ ආයතනයට මාස 06 ක්‌ දක්‌වා නිෂ්පාදන කටයුතු කරගෙන යැමටත්, 2014 අප්‍රේල් 30 එම නිෂ්පාදනාගාර හතර ඉවත් කිරීමටත් එකඟ වුණා.

මින් ඉදිරියට ප්‍රශ්න ඇති වන්නේ නැහැ. ප්‍රශ්න ඇතිවෙන්න දෙන්නේ නැහැ. මේ සමාජයට රටට සිදුවීමට තිබූ විශාල විනාශයක්‌ මේ ගිවිසුමින් වැළැක්‌වුණා. යම් හෙයකින් මේ ආයතනය කොන්දේසි කඩකළහොත් ගත යුතු ක්‍රියා මාර්ග නොපසුබටව ගන්නවා.

නීතිඥ පාලිත සේනාරත්න මහතා - දැන් අපි මේ ගිවිසුමෙන් පසු අධිකරණ ක්‍රියා මාර්ගය අතහැරලා දැම්මා. අපි දැන් මෙය අවසන් කර කර්මාන්ත ශාලාව සියලුම චෝදනාවලින් නිදහස්‌ කළා. මේ ගිවිසුමින්. අද වතුර ඇවිත් තිබෙනවා. නමුත් වතුර ගැනීමට නොහැකි අයට වතුර ලබාදීමට කර්මාන්ත ශාලාව එකඟවුණා. ඒ ජනතාව ලැබූ ජයක්‌.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.