මට වෙඩි තබන්න එපා කීතු කීතු
කරලා මරා දමන්න!

- රතුපස්‌වල සිද්ධියේ සිරිධම්ම හිමියෝ ඉල්ලති

රතුපස්‌වල තවමත් අළු යට ගිනි පුපුරු ඉතිරි වී ඇත. ජල ප්‍රශ්නයටතුඩු දුන් කර්මාන්ත ශාලාව වහාම ප්‍රදේශයෙන් ඉවත් කළ යුතු යෑයි හඬනඟන පිරිසක්‌ මෙන්ම මෙම කර්මාන්ත ශාලාව ප්‍රදේශය තුළ පැවතිය යුතු යෑයි කියන පිරිසක්‌ ද දැන් රතුපස්‌වල සිටිති.

මේ ගැටුම පුරාම ජල ගැටලුවෙන් පීඩිත මිනිස්‌සුන්ගේ පාර්ශ්වය නියෝජන කළේ තෙරිපැහැ සිරිධම්ම හිමියන් ය. උන්වහන්සේට මරණ තර්ජන ඇතැයි කියති. උන්වහන්සේ ශාසනයෙන් ද නෙරපන්නට කුමන්ත්‍රනයක්‌ ඇතැයි කියති. එහෙත් තමා මරා දැමුවොත් මිස යළි කර්මාන්ත ශාලාව රතුපස්‌වල අරඹන්නට ඉඩ නොදෙන බව සිරිධම්ම හිමියෝ පවසති.

මේ තෙරිපැහැ සිරිධම්ම හිමියන් සමඟ 'දිවයින' කළ සංවාදයකි.

ප්‍රශ්නය - ඔබ වහන්සේ රටේ ජනප්‍රිය චරිතයක්‌ නේද?

පිළිතුර - ඒක මම හරියට කියන්න දන්නෙ නැහැ.

ප්‍රශ්නය - ඒ වුණාට රතුපස්‌වල නම වගේම තෙරිපැහැ සිරිධම්ම කියන නමත් නොදන්න කෙනෙක්‌ නැහැ දැන්.

පිළිතුර - වෙන්නැති. රතුපස්‌වල ජනතාවට වෙනිග්‍රොස්‌ කර්මාන්ත ශාලාව නිසා වූ අසාධාරණය වෙනුවෙන් මම පෙනී සිටියා. ඒ නිසා රටේ ජනතාව මා ගැනත් දැන ගන්න ඇති.

ප්‍රශ්නය - වෙනිග්‍රොස්‌ කර්මාන්ත ශාලාව නිසා ඇති වූ අසාධාරණය මොකක්‌ද?

පිළිතුර - මෙම කර්මාන්ත ශාලාවෙන් කාලයක සිට පිටවන රසායනික ද්‍රව්‍ය නිසා රතුපස්‌වල සහ අවට ගම්මාන රැසක ජලය අපිරිසිදු වුණා. එම ජලය පානය කිරීමට තියා මුහුණවත් සේදීමට නුසුදුසු තත්ත්වයේ තියෙන්නේ. මෙම ජලය පාවිච්චි කිරීම නිසා කර්මාන්ත ශාලාව අවට මිනිසුන් විවිධ ලෙඩ රෝගවලට ලක්‌වුණා. ඉතින් මේ කර්මාන්ත ශාලාව ගමට අපලයක්‌ නොවේද?

ප්‍රශ්නය - රතුපස්‌වල අවට තවත් කර්මාන්ත ශාලා තිබෙනවා. ඒ කර්මාන්තශාලා නිසා රතුපස්‌වල ජලය අපවිත්‍ර වුණේ නැද්ද?

පිළිතුර - ඒක හරියටම මට කියන්න බැහැ. නමුත් වෙනිග්‍රොස්‌ කර්මාන්ත ශාලාව නිසා තමයි මේ ප්‍රදේශයේ ජල පද්ධතිය අපිරිසිදු වුණේ.

ප්‍රශ්නය - මොන පදනමක්‌ යටතේද ඔබවහන්සේ එසේ ප්‍රකාශ කරන්නේ

පිළිතුර - මුලින්ම ජන මතයක්‌ ගොඩනැගුනා මෙම කර්මාන්ත ශාලාව නිසා පරිසරය දූෂණය වෙනවා කියලා. අපි ඉන් පසු ඒ ගැන සොයා බැලුවා. එම කර්මාන්ත ශාලාවේ වැඩ කරපු සමහර සේවකයෝ පවා පැවසුවා මෙහි තිබෙන සමහර රසායනික ද්‍රව්‍ය නිසා පරිසරය විශාල ලෙස දූෂණය වන බව. මෙහි අපද්‍රව්‍ය නිසියාකාරව අයින් නොකරන බවත්, ඒවා හිතුමතේ පරිසරයට මුදාහරින බවත් පැවසුවා. එම හේතු නිසා තමයි පරිසරය දූෂණය වී අපේ ජල පද්ධතිය සම්පූර්ණයෙන් ම විනාශ වුණේ. මේවට වග කියන්න ඕනේ මේ කර්මාන්ත ශාලාවේ කළමනාකාරිත්වය. ඔවුන් නිසි ලෙස වැඩ කළා නම් මෙහෙම අපරාධයක්‌ වෙන්නේ නැහැ මේ ජනතාවට.

ප්‍රශ්නය - ජනමතයක්‌ ආපු පලියට කර්මාන්ත ශාලාවක්‌ වැසීම සුදුසුද?

පිළිතුර - අපි ජනමතයට විතරක්‌ ඉඩ දුන්නේ නැහැ. පසුව මෙම ප්‍රදේශවල ජල සාම්පල් අදාළ තැන්වලට යවා පරීක්‍ෂා කළා. ඉන් පසු එම බලධාරීන් නිගමනය කළා මෙම ජලය බීමට සුදුසු නැහැ කියා. ඉන් පසු අපි උද්ඝෝණය කළා මෙම කර්මාන්ත ශාලාව වහාම වසා දමන්න කියා.

ප්‍රශ්නය - ඇත්තටම ඔබ වහන්සේ ඒ කළේ මාරාන්තික උපවාසයක්‌ද?

පිළිතුර - ඔව්. මම කළේ මාරාන්තික උපවාසයක්‌.

ප්‍රශ්නය - සමහරු කියනවා ඒ උපවාසය රටේ ජනප්‍රිය වෙන්න කරපු දෙයක්‌ කියලා.

පිළිතුර - මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්‌නේ. ඕන කෙනෙකුට ඕන දෙයක්‌ කීමේ අයිතිය තියෙනවානේ. වෙනිග්‍රොස්‌ කර්මාන්ත ශාලාව නිසා රතුපස්‌වල ජනතාවට වූ අසාධාරණය වෙනුවෙන් මම මේ උපවාසය කළේ. ඒක මම ජනප්‍රිය වෙන්න බලාගෙන කරපු දෙයක්‌ නොවේ.

ප්‍රශ්නය - ඔබවහන්සේ ඇයි මාරාන්තික උපවාසයක්‌ම තෝරා ගත්තේ?

පිළිතුර - සාකච්ඡා මාර්ගයකින් මිනිස්‌සුන්ගේ ප්‍රශ්න විස¹ ගැනීමට නොහැකි වුණ නිසා මට ඉන් ඔබ්බට යන්න සිදුවුණා.

ප්‍රශ්නය - මේ නිසා මිනිස්‌සු කුපිත කළ කණ්‌ඩායම් හිටියා. පසුව ජීවිත හානි සිදුවුණා. ඔබ වහන්සේලාත් මේ මරණවලට වගකිව යුතුයි නේද?

පිළිතුර - ඒවට වගකියන්න ඕනේ කවුද කියලා මුළු රටම දන්නවා.

ප්‍රශ්නය - ගමේ පන්සල් තවත් තිබෙනවා. ඒත් සමහර භික්‍ෂූන් වහන්සේලා මෙම උද්ඝෝෂණයට සහභාගි නොවුණේ ඇයි?

පිළිතුර - එම භික්‍ෂූන් වහන්සේලාගේ හිත්වල මොනවා තියෙනවද කියලා මම දන්නේ නැහැනේ. මට බලෙන් කාවවත් සම්බන්ධ කරගන්න බැහැනේ. ජනතාව අතර ඉන්න භික්‍ෂූන් වහන්සේ නමක්‌ හැටියට මම පෙරමුණ ගෙන කටයුතු කළා.

ප්‍රශ්නය - එම භික්‍ෂූන් වහන්සේලා හා ඔබ වහන්සේ අතර ගැටුමක්‌ ඇතිවුණා නේද?

පිළිතුර - එහෙම ගැටුම් ඇති වුණේ නැහැ. පසුව ගොඩක්‌ භික්‍ෂූන් අපත් සමඟ එකතු වුණා.

ප්‍රශ්නය - මෙම කර්මාන්ත ශාලාව ගමට පිළිලයක්‌ නම් ඇයි ඒක වහපු එකට විරුද්ධ පිරිසකුත් ගමේම හිටියේ.

පිළිතුර - ඔය කර්මාන්ත ශාලාව නිසා ගමේ පොඩි පොඩි වාසි ලබා ගන්න පිරිසක්‌ හිටියා. ඒගොල්ලො වෙන්නැති ඔය විරුද්ධ. කිහිපදෙනෙකුගේ සතුටක්‌ වෙනුවෙන් විශාල පිරිසකගේ ජීවිත අනතුරේ දාන්න දෙන්න බැහැනේ. ඒකට මම පොඩි උදාහරණයක්‌ ඔබට කියන්නම්. යුද්ධ කාලයේ යුද්ධයෙන් වාසි ලබා ගත්ත පිරිසකුත් හිටියා. ඔවුන් කීවේ යුද්ධය එපා කියලා. එහෙම අහලා යුද්ධ නොකර සිටියා නම් අද රටට වෙන්නේ මොකක්‌ද? ඒ වගේ අය තමයි මේ කර්මාන්ත ශාලාව වහන එකට විරුද්ධ වෙන්නේ.

ප්‍රශ්නය - මෙම කර්මාන්ත ශාලාව නිසා රටට විදේශ විනිමය ලැබුණා. දැන් එය අහිමි වෙලා. ඒක රටේ සංවර්ධනයටත් බලපෑමක්‌.

පිළිතුර - මම කියන්නේ නැහැ මේක සම්පූර්ණයෙන් වහලා දාන්න කියලා. එය සුදුසු තැනක යළි පටන් ගන්න. ඒකට මාගේ කිසි විරුද්ධත්වයක්‌ නැහැ. එතකොට සියලුම ප්‍රශ්න විසඳෙනවානේ. ඇයි ඒක කරන්න බැරි අදාළ බලධාරීන්ට.

ප්‍රශ්නය - මෙම කර්මාන්ත ශාලාව මෙතනින් අයින් කළාම ගැටලුව ඉවරද?

පිළිතුර - ඔව්. එතකොට සියල්ලම හරි. හැබැයි මගේ පණ තියෙනකල් යළි මෙය ආරම්භ කිරීමට ඉඩ දෙන්නේ නම් නැහැ.

ප්‍රශ්නය - මේ සිද්ධිය නිසා ඔබ වහන්සේට මරණ තර්ජන එල්ල වුණා කියනවා.

පිළිතුර - මම අසාධාරණයට එරෙහිවනේ සටන් වදින්නේ. ඒක නිසා විවිධ පාර්ශ්වවලින් එක එක තර්ජන ගර්ජන එල්ල වී තිබෙනවා. ඒවට බයේ මම මේ සටන අතරමඟ නවතා පලා යන්නේ නැහැ.

ප්‍රශ්නය - ඔය විවිධ පාර්ශ්ව කියන්නේ කවුද?

පිළිතුර - ඒවා මම කියන්නේ නැහැ. මට විවිධ තර්ජන ගර්ජන එනවා. එච්චරයි.

ප්‍රශ්නය - මරණ බය ඕනෑම සත්ත්වයෙකුට තිබෙනවා. ඒත් ඔබ වහන්සේ මාරාන්තික උපවාස කරනවා. මරණ තර්ජනවලට ලක්‌වෙනවා.

පිළිතුර - යක්‌කුන්ට බය නම් සොහොන්වල ගෙවල් හදන්නේ නැහැනේ. මමත් ඒ වගේ තමයි. කාටවත් බය නැහැ. කාටවත් බය නම් මේ වගේ දෙයක්‌ පටන් ගන්නේaත් නැහැ. ඔය තර්ජන ගර්ජන කරලා මගේ ගමන නවත්වන්න කොයි ජගතෙකුටවත් බැහැ. මේ කර්මාන්ත ශාලාව මෙතනින් අයින් කර ගෙන යනකම් මගේ සටන මම අතහරින්නේ නැහැ.

ප්‍රශ්නය - යම් අයුරකින් ඔබ වහන්සේගේ ජීවිතයට හානියක්‌ සිදු වුවහොත්?

පිළිතුර - මට ඒ ගැන කිසි දුකක්‌ නැහැ. හැබැයි ඒ තර්ජන කරන පාර්ශ්වවලින් මම එක දෙයක්‌ ඉල්ලනවා.

ප්‍රශ්නය - මොකක්‌ද ඒ?

පිළිතුර - මේ ගැටලුව විස¹ගන්නකම් මට ජීවත් වෙලා ඉන්න ඉඩ දෙන්න කියලා. ඊට පස්‌සේ මට වෙඩි තියලා මරන්න එපා. එතකොට එක පාරටම මැරෙනවානේ. වැඩි වේදනාවකුත් නැහැනේ. ඒක නිසා මාව කීතු කීතු කපල මරලා දාන්න.

ප්‍රශ්නය - මෙවැනි ප්‍රකාශකර වීරයෙක්‌ වෙන්න හදනවද?

පිළිතුර - මට එක එක ප්‍රකාශ කරලා වෙන අය වගේ වීරයෙක්‌ වෙන්න වුවමනා නැහැ. අපි ඉල්ලන්නේ එකම දෙයයි. ඒ දේ අපට කරලා දෙන්න.

ප්‍රශ්නය - ඔබ වහන්සේ දැන් සංදේශයකුත් භාර දෙන්න පටන් අරන් තියෙනවා. මොකක්‌ද ඒ සංදේශය?

පිළිතුර අපේ ප්‍රදේශයේ මිනිසුන්ගේ ජීවිතවලට එල්ල වී ඇති බලපෑම පිළිබඳ අත්සන් ලක්‍ෂයකින් යුතු දුක්‌ ගැනවිල්ලක්‌ මල්වතු අස්‌ගිරි නාහිමි වෙත පිළිගන්වන්න යනවා. එතකොට උන්වහන්සේත් අපට අත්වෙලා තියෙන ඉරණම ගැන දැන ගනීවි. ඉන්පසු අපි දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදයත් ලබා ගන්නවා. මේ මගින් ආණ්‌ඩුවටවත් වෙන කිසිම පාර්ශ්වයකටවත් හානියක්‌ සිදු කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ.

ප්‍රශ්නය - ඔබ වහන්සේ දේශපාලනයට එන්න හදනවද?

පිළිතුර - ඒක නම් කවදාවත් වෙන්නේ නැහැ. මොකද දේශපාලනයට ආවොතින් මට කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න බැහැ. ඊට වඩා විශාල සේවයක්‌ මට මේ සිවුරේ ඉඳන් කරන්න පුළුවන්.

ප්‍රශ්නය - ඒ කියන්නේ ඔබ වහන්සේට කිසිම පක්‍ෂයක්‌ නැහැ.

පිළිතුර - මට එක පක්‍ෂයක්‌ තියෙනවා.

ප්‍රශ්නය - මොකක්‌ද ඒ.

පිළිතුර - ඒ භික්‍ෂු පක්‍ෂයයි. පූජ්‍ය පක්‍ෂය. එහි ඉදන් මට කරන්න පුළුවන් උපරිම සේවය ජනතාවට කරනවා.

ප්‍රශ්නය - ඔබ වහන්සේ පැවසුවේ නැවත මෙම කර්මාන්ත ශාලාව පටන් ගැනීමට ඉඩ දෙන්නේ නැහැ කියලා, ඒත් මාස හයක කාලයකට යළි ආරම්භ කිරීමට අවබෝධතා ගිවිසුමක්‌ අත්සන් කරලා. ඇයි ඒ.

පිළිතුර - මේ සම්බන්ධව කටයුතු කරන අපගේ ප්‍රධාන කමිටුවක්‌ තියෙනවා. ඒ කමිටුව සමග සාකච්ඡා කරලා තමයි මේ තීරණයට අපි එකඟ වුණේ.

ප්‍රශ්නය - මේක සටන පාවාදීමක්‌ නොවේද?

පිළිතුර -එහෙම වෙන්නේ කොහොමද, මේ සිද්ධිය නිසා මිනිස්‌ ජීවිත තුනක්‌ අහිමි වුණා. දේපළ වලට හානි සිදුවුණා. ජනතාවට තවත් ඒ වගේ කරදර විඳින්න දෙන්න බැහැ. එම නිසා මහජනතාවට වන හානිය වළක්‌වා ගැනීම සඳහා ප්‍රධාන කොන්දේසි තුනක්‌ යටතේ මාස හයක කාලයක්‌ නිෂ්පාදන කටයුතු කරගෙන යැමට එම කර්මාන්ත ශාලාවට අපි ඉඩ දුන්නා. ඒක නිසා මෙය සටන පාවාදීමක්‌ නොවෙයි.

ප්‍රශ්නය -ඔබ වහන්සේ හිතන්නේ ඒ තීරණය සාධාරණයි කියලද?

පිළිතුර - සෑම දෙයක්‌ ගැනම දෙපැත්තෙන්ම හිතන්න ඕනා. අපි කියූ පලියට දවසින් දෙකින් මේ කර්මාන්ත ශාලාව ඉවත්කරගෙන යන්න බැහැ. ඒක නිසා අපේ කමිටුව තීරණය කරලා තමයි ඔවුන්ට මාස හයක සහන කාලයක්‌ ලබා දුන්නේ. ඒ කාලය තුළදී අනිවාර්යයෙන්ම ඔවුන් මෙම කර්මාන්ත ශාලාව ඉවත්කරගෙන යා යුතුයි.

ප්‍රශ්නය - මේ තීරණය නිසා සමහරු යළි උද්ඝෝෂණ ව්‍යාපාරයකුත් කළා නේද?

පිළිතුර - අපි ඒ ජනතාවට තේරුම් කරලා දුන්නා මෙතැන යළි ගැටුම් ඇතිකරගන්න ඕන නැහැ කියලා. මේකට ඇති එකම විසඳුම මෙම අවබෝධතා ගිවිසුම බවයි. ඉන්පසු ඔවුන් සාමකාමීව විසිර ගියා.

ප්‍රශ්නය - ඒ කියන්නේ දැන් රතුපස්‌වල ගැටලුවට විසඳුම් ලැබුණා කියන එකද?

පිළිතුර - ඔව්. අපට ස්‌ථිර ලෙසම විසඳුමක්‌ ලැබුණා. ඒක නිසා අපිට ආයෙත් උද්ඝෝෂණ කරන්න ඕන වෙන්නේ නැහැ.

ගයාන් එන්. සමරසිංහ - පින්තූරය - කමල් බෝගොඩ
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.