වාන් ඇළ ඉවුරේ ගස්‌ බලන්න
තව ටිකකින් මොරටු එන්න

ගස්‌ කොල්ලය කරන්නේ ගංවතුරට මුවාවෙලා!

පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ ලංකාපුර සහ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශවලට බලපාන ගංවතුර පාලනය කිරීම සඳහා කවුඩුල්ල ජලාශයේ වාන් දොරටුවේ සිට කන්තලේ දක්‌වා දිවෙන වාන්ඇළේ දෙපස වැවී ඇති වටිනා ගස්‌වර්ග 1600 ක්‌ පමණ කපා දැමීමට ගෙන ඇති තීරණය මහත් ආන්දොaලනයකට ලක්‌ව ඇත. අති බහුතරය කුඹුක්‌ ගසින් සමන්විත මෙම වන තීරුව තුළ මී, කරඳ, අට්‌ටික්‌කා වැනි තවත් කාෂ්ඨිය දැවමය ශාක බොහොමයක්‌ හමුවේ. ප්‍රදේශයේ ගංවතුර ගැලීමට හේතුව ප්‍රධාන වශයෙන්ම වාන්ඇළේ හා ඉවුරුවල වැවී ඇති මෙම ශාක බවට තීරණය කර ඇති පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා ප්‍රමුඛ දිස්‌ත්‍රික්‌ ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන එකමුතුවක්‌ විසින් ඉහත තීරණය ක්‍රියාත්මක කරන්නට පටන් ගැනීමත් සමග මෙම ව්‍යාපෘතියට එරෙහිව හා පක්‍ෂව කණ්‌ඩායම් දෙකක්‌ පිල් බෙදී සිටිති.

මෙම දැව සංහාරයට විරුද්ධව හේතු දක්‌වන්නන් කියා සිටින්නේ කිසිදු විද්‍යාත්මක පදනමක්‌ හෝ පරිසර අංශවල පූර්ණ අධීක්‍ෂණයක්‌ නොමැතිව සිදුකරන මෙම දැව හෙළීම දිසාපතිවරයා ප්‍රමුඛ කණ්‌ඩායමක අත්තනෝමතික තීරණයක්‌ බවයි. මේ සඳහා පරිසර ඇගයීමක්‌ සිදුකර පරිසර අධිකාරියේ පුර්ව අනුමැතිය ලබාගෙන තිබේදැයි ප්‍රශ්න කරන මෙම විරෝධකරුවන් කියා සිටින්නේ මෙසේ වටිනා දැවමය ශාක 1600 කටත් වඩා කපා දැමීමෙන් මැදිරිගිරිය ප්‍රදේශය දරුණු පරිසර ව්‍යසනයකට ගොදුරුවීම වැළැක්‌විය නොහැකි වනු ඇති බවයි.

එසේම මෙම දැව හෙළීම හා දැව ඉවත් කිරීම තුළ පැහැදිලිවම අක්‍රමිකතා සිදුවන බවට වාර්තාවන බවද දැව සංස්‌ථාවේ අධීක්‍ෂණය මත යෑයි පවසමින් පෞද්ගලික කොන්ත්‍රාත්කරුවකුට දැව ඉවත් කිරීම භාරදී තිබීම ජාවාරමක්‌ නොවන්නේදැයි තවදුරටත් මෙම විරෝධතා කරුවෝ ප්‍රශ්න කරති. එසේම, ගස්‌ ඉවත් කිරීමට පෙරාතුව වාන්ඇළ දෙපස අනවසර ඉදිකිරීම් ඉවත් කර ජල පාලන දොරටු පිළිසකර කරන ලෙසද ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

මෙම තත්ත්වය පිළිබඳව කරුණු දක්‌වන පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ ලේකම් විමල් අභයසිරි මහතා කියා සිටින්නේ වෙනම කතාවකි. ඒ මෙවැනිය. මහා ගංවතුර අවස්‌ථාවන්හිදී පොළොන්නරුව වතුර ගැලීමෙන් දෙකඩ වෙයි. ඒ එගොඩපත්තුව හා මෙගොඩපත්තුව වශයෙනි. එහෙත් 2010 - 2011 ගංවතුර අවස්‌ථාවේදී පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කය කොටස්‌ තුනකට බෙදී ගියේය. ඒ ඉහත කොටස්‌ දෙකකට අමතරව මැදිරිගිරිය කලගෙඩිපාලම අසලින්ද වතුරෙන් පිරීයාම නිසාය. මේ අනුව ගංවතුරට කොටුවන ජනතාවට සහන සැලසීම වෙනුවෙන් අතිවිශාල මුදලක්‌ හා ශ්‍රමයක්‌ දරන්නට සිදුවන අතර ගංවතුර පාලනය කිරීම සඳහාද ක්‍රියාමාර්ග ගැනීම දිස්‌ත්‍රික්‌ බලධාරීන්ගේ වගකීමය. ඒ අනුව මැදිරිගිරිය ගංවතුරට යටවුණේ ඇයිද යන්න සොයා බැලීමේදී වාන්ඇළේ ජලය බැසයැමට ඇති අතිශය දුර්වලතාවය හඳුනාගත් බව දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා පවසයි. ඔහුගේ අධ්‍යයනයට අනුව වාන් ඇළේ වැවී ඇති දැවමය ශාක, වැලි වැටි අනවසර ගොඩකිරීම්, අනවසර ඉදිකිරීම්, ගංගා දැල අල්ලා ගැනීම්, ගංගාවේ ගමන් මග වෙනස්‌වීම්, ගංගාවේ ගොඩවීම් යනාදී කරුණු රැසක්‌ වන බව හේ සඳහන් කරයි. මේ අනුව වාරිමාර්ග අංශ, වන සංරක්‍ෂණ, වන ජීවී, ප්‍රාදේශීය ලේකම්, ආපදා කළමනාකරණ නිලධාරීන්, ගොවි සංවිධාන ඇතුළු ආයතන හා පුද්ගලයන් රැසක්‌ සමඟ නිරීක්‍ෂණ චාරිකාවකට එක්‌වූ බවත් ඇළ ගැඹුරුකර, ඉවුරු තනා සංවර්ධනය කිරීමට ගත් තීරණය ප්‍රකාරව මෙම ගස්‌ ඉවත් කිරීම සිදුකරන බවත් ඔහු පවසයි. ඒ අනුව ගස්‌ 1634 ක්‌ සලකුණු කර ඉවත් කිරීමට තීන්දුව ගත් බවද දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා පවසයි. තමන් රාජ්‍ය පටිපාටිය අනුව යමින් දැව සංස්‌ථාවට දැව කපා ඉවත්කිරීමට අවස්‌ථාව සලසා දුන් බවද දැනටමත් ඉන් ගස්‌ 234 ක්‌ සංස්‌ථාව කපා ඇති බවද පවසන දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ උදාවී ඇති විරෝධතා හමුවේ තාවකාලිකව මෙම ව්‍යාපෘතිය දැන් නවතා ඇති බවයි.

එසේම ගොවි සංවිධානවල ඉල්ලීම පරිදි හා විද්‍යාත්මක පදනමක්‌ අනුව යමින් දැනටමත් රුපියල් ලක්‍ෂ 17 ක වියදමෙන් කිලෝමීටර් 8 ක්‌ දිගට වාන් ඇළ දැලේ පස්‌ බැමි බැඳ ගංවතුර පාලනය සඳහා මූලික පියවර ගෙන ඇති බවද කෙසේ හෝ මෙම ගංවතුර තත්ත්වය පාලනය සඳහා අනවසර පදිංචිකරුවන් ඇළ රක්‍ෂිතයෙන් ඉවත්කිරීම, ඇළේ බාධාවන් ඉවත්කිරීම, ඇළ කෙළින් කිරීම, ඇළ දෙපස පස්‌ බැමි දැමීම සිදුකිරීමට යෝජිත බවයි.

ඇතැම් ගොවි සංවිධාන නියෝජිතයන් මෙන්ම පරිසර වේදීන්ද දිසාපතිවරයා ප්‍රමුඛ නිලධාරීන් ගෙන ඇති දැව හෙළීමේ තීන්දුවට තම විරෝධය ප්‍රකාශ කරති. ඒ මන්ද යත්, එහි කිසිදු විනිවිද භාවයක්‌ නොමැති බව හා සුවිසල් පරිසර විනාශයක්‌ ඒ තුළ සිදුවන බවට ඔවුන් හඳුනාගෙන ඇති නිසා මෙන්ම පළමුව ගැනීමට ඇති ක්‍රියාමාර්ග නොගෙන නිරපරාදේ වසර සිය දහස්‌ ගණනක්‌ පැරැණි කුඹුක්‌ ඇතුළු වටිනා දැව හෙළීම මහා අපරාධයක්‌ සේ ඔවුන් දකිනා නිසාය.

මේ පිළිබඳව අප වෙත අදහස්‌ දැක්‌වූ මැදිරිගිරිය විහාර මාවත බෙදුම්ඇළ ගොවි සංවිධානයේ සභාපති අනිල් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ උදාවී ඇති ගංවතුර තත්ත්වයට විසඳුම ලෙස පළමුව කළ යුත්තේ ගංවතුර පාලන දොරටු පුළුල් කිරීම හා ප්‍රතිසංස්‌කරණය කිරීම බවයි.

ගංවතුර ප්‍රශ්නයට වැඩිපුරම මැදිවන්නේ ගල් අමුණ, කිරිමැටියාන, පන්සල්ගොඩැල්ල, දියකෑල්ල වගේ ගම්මානයි. එම ප්‍රදේශවලදී වාන් ඇළ දැකගන්නවත් අපහසු විදිහට ගොඩවෙලා තිබෙනවා. එය ලොකු කරන්න ඕන බව ඇත්ත. නමුත් පිනාමංකඩ අමුණ බොහොම පැරැණි එකක්‌. එය ප්‍රතිසංස්‌කරණය කර ලොකු කළ යුතුයි. කවුඩුල්ලේ දොර 12 වානෙන් එන ජලය පිටකරන්නේ දොර හයකින්. නමුත් එහි දොරවල් තුනක්‌ දැන් අක්‍රීය වෙලා. එකේ කොන්ක්‍රීට්‌ දාලා සම්පූර්ණයෙන් වහල දාලා. වතුර බැස යැම ප්‍රමාණවත් නැහැ. මේ අවහිරකම් නිසා තමයි ගංවතුරට හේතුව. එය පළමුව ප්‍රතිසංස්‌කරණය කළ යුතුයි. ඇළ ගොඩවෙලා තියෙන ප්‍රදේශවල ගස්‌ ඉවත්කර ඇළ සංවර්ධනය කළාට කමක්‌ නැහැ. නමුත් අපිට වාර්තාවෙනවා ඇළ පළල් වෙලා තියෙන තැන්වලත් ගස්‌ කපන්න ලකුණු කරලා තියෙනවා කියලා. ඒක වැරදියි. ඇළ ඇතුලේ ගස්‌ ඉවත් කළත් ඇළ ඉවුරුවල පස්‌ ඉවත් කිරීම ගැන දෙවරක්‌ සොයා බැලිය යුතුයි." ගොවි නියෝජිතවරයා පවසයි.

මැදිරිගිරිය ප්‍රාදේශීය සභාපති ආනන්ද මහතා අප වෙත අදහස්‌ දක්‌වමින් කියා සිsටියේ මෙම ගස්‌කපා වාන් ඇළ සංවර්ධනය කරන ව්‍යාපෘතියට තමන් පක්‍ෂත් නෑ විපක්‍ෂත් නැත යන්නය. ඇළේ ඇති ගස්‌ නිසා ගංවතුර වැඩිවන බව සැබෑවක්‌. නමුත් දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා මෙම තීන්දු තීරණ ගැනීමේදී තමා හෝ මැදිරිගිරිය ප්‍රාදේශීය දේශපාලනඥයන් දැනුවත් නොකළ බවද හේ චෝදනා කරයි. ගස්‌ සලකුණු කිරීමේදී ඒ බව තමන්ට නොදැන්වූ බවට චෝදනා කරන සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටින්නේ ඇළ හාරන සීමාවේ ඇළ මැද ගස්‌ ඉවත්කරනවාට තමන් විරුද්ධ නොමැති නමුත් ඉවුරේ ගස්‌ කැපීමට තමන් දැඩිව විරුද්ධවන බවයි. ගංවතුරට පළමු හේතුව මෙම ගස්‌ වැඩීම නොවන බව පවසන මැදිරිගිරිය ප්‍රාදේශීය සභාපතිවරයා කියා සිටින්නේ මැදිරිගිරිය නගරය යටකළ ගංවතුර අවස්‌ථා දෙකටම හේතුව ඇළ රක්‍ෂිතය අල්ලාගෙන, ඇළ ගොඩකර එජාප පළාත් සභා මන්ත්‍රීවරයකු විසින් තනා ඇති හෝටලයක්‌ බවයි. මෙම අනවසර ඉදිකිරීම් පළමුව ඉවත්කර ජලපාලන දොරටු ප්‍රතිසංස්‌කරණය හා පුළුල් නොකර ගස්‌ කැපීමෙන් ඵලක්‌ නොවන බවද හේ පැවසීය.

නම හෙළි නොකළ පරිසරවේදියකු අපට කියා සිටියේ මෙම ගස්‌ කැපීමේ ව්‍යාපෘතිය ගමේ අහිංසක මිනිසුන් මුළාකර, සිදුකරන නීත්‍යානුකූල නොවන ව්‍යාපෘතියක්‌ බවයි. මේ වන විට මැදිරිගිරිය ප්‍රදේශයට මාස 4-5 කින් වැසි කඳුලක්‌වත් වැටී නොමැති බවද ගම්වැසියන් බීමට ගන්නේ ඉවුරු දෙපස කුඹුක්‌ගස්‌ අතරින් ගලාඑන ජලඋල්පත්වලට පිලී සවිකර ගන්නා ලබන වතුර බවද මේ වන විනාශයෙන් ජල උල්පත් සියල්ල සිඳී යනු ඇතැයිද හේ පැවසීය.

මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතියකින් තොරව සිදුකරන මෙම ව්‍යාපෘතිය නීත්‍යානුකූල වන්නේ කෙසේදැයි ප්‍රශ්න කරන ඔහු කියා සිටින්නේ මේ සඳහා දැව සංස්‌ථාවේද නිසි මැදිහත්වීමක්‌ නොමැති බවයි.

මේ අනුව අපට වැටහෙන්නේ මැදිරිගිරිය උණුසුම් කළ වාන්ඇළේ දැව හෙළීම අද පැහැදිලිවම පාරිසරික හා සමාජමය ප්‍රශ්න රැසක්‌ නිර්මාණය කර ඇති බවයි.

ජගත් කණහැරආරච්චි,
අරලගංවිල - රොෂාන් තුෂාර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.