අනූ නවයෙන් වැලකුණ ඛේදවාචකය
නලය දිගේ ආ මාරයා නළ හා
මුසු වී මළ බෙරය හඬවයි


අවිස්‌සාවේල්ල පෙන්ඩි්‍රක්‌ වත්තේ 400 ක්‌ සිහිසුන් වූ වගයි...



නළයක්‌ පුපුරා ගියේය. එයින් කාන්දු වුණු ක්‌ලෝරීන් වායුව පෙන්ඩි්‍රක්‌ වත්ත පුරා ගලා ගියේය. වත්තේ මිනිස්‌සු එකා දෙන්නා සිහිසුන්ව ඇද වැටෙන්නට වූහ. අසරණ මිනිසුන්ගේ මරලතෝනියෙන් මුළු සීතාවකපුරයම දෙදරා ගියේය. නිසල රාත්‍රියේ සයිරන් නලා නාදය ප්‍රදේශය පුරා පිළිරැව් දෙන්නට විය. සිතාවක නගර සභාවේ සේවකයන් මෙන්ම අසල්වාසී ජනතාව එක්‌ව මේ අසරණ මිනිසුන් අවිස්‌සාවේල්ල රෝහලට ගෙන ගියහ. රෝහල සිහිසුන් සහ හුස්‌ම ගැනීමට අපහසු රෝගීන්ගෙන් පිරී ගියහ. තත්ත්වය බරපතළය. වාතයට මුසු වුණු ක්‌ලෝරීන් වායුව පෙන්ඩි්‍රක්‌ වත්ත තවමත් දවන්නේය. අපි වත්ත පුරා ඇවිද්දෙමු. වත්තේ මිනිස්‌සු කියන කතාවලින් අපවත් දැවෙන්නේය.

අවිස්‌සාවේල්ල ප්‍රදේශයේම ජනතාවට ජලය සැපයෙන්නේ පෙන්ඩි්‍රක්‌ වත්තේ ජල පොම්පාගාරයෙනි. එම පොම්පාගාරයේ ජලය පිරිසිදු කිරීම සඳහා භාවිත කරන ක්‌ලෝරීන් වායුව ගෙන යන නළ මාර්ගය වැටී ඇත්තේ ද පෙන්ඩි්‍රක්‌ වත්ත මැදිනි. පසුගිය 9 වැනිදා රාත්‍රියේ මෙම විෂ වායු කාන්දුව සිදු වී ඇත්තේ ඒ නළ මාර්ගයෙනි.

සීතාවකපුරයට ගිය අපි ප්‍රථමයෙන්ම අනතුරෙන් රෝගාතුර වූ රෝගීන්ගේ සුවදුක්‌ සොයාබැලීමට සීතාවක රෝහලට ගියෙමු. ඒ වෙන විටත් සියයකට වැඩි ප්‍රමාණයක්‌ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටියහ. ඒ අතරින් අප මුලින්ම කතා කළේ සෙල්වකුමාර් සමගය. අවුරුදු 36 ක්‌ වන සෙල්වකුමර්ට මේ ක්‌ලෝරීන් වායු කාන්දුව දැනී තිබුණේ මෙසේය.

"අපි වත්තේ වැඩ කරන මිනිස්‌සු. දවල් දවසේ වැඩ කරලා ඇවිත් කෑම කාලා නිදාගන්න ගියා විතරයි. එක පාරටම මහා විශාල ශබ්දයක්‌ ආවා. ඒ එක්‌කම හුස්‌ම ගන්න බැහැ කියලා දරුවෝ කෑගහන්න පටන් ගත්තා. මම එළියට බැස්‌සා. එතකොටත් වත්තේ මිනිස්‌සු මරලතෝනි තියනවා. මේ මොකක්‌ද වෙන්නේ...? අනේ... අපි දෙවියන්ට කිව්වා. දරුවෝ දෙන්නවම කලන්තෙ දැම්මා. ටික වේලාවකට පසු ගිලන් රථයක්‌ ඇවිත් ගෙදර සේරම ඉස්‌පිරිතාලෙට ගෙනිච්චා" ඔහු සිනාසුනේ යෑයි මට සිතිනි. එහෙත් එය වේදනාවේ සිනහවකි. හුස්‌ම ගැනීමට අපහසු රෝගීන් කිහිපදෙනකු සමගම අපි කතා කළෙමු. ඔවුන් සැවෝම කීවේ සෙල්වකුමාර් කියපු කතාවමය.

සීතාවක රෝහලෙන් පිටත් වුණු අපි පෙන්රික්‌ වත්තට ගියෙමු. ප්‍රදේශය පුරා කතා වෙන්නෙත් බිඳුණු නළය ගැනය. පෙන්ඩි්‍රක්‌ වත්තත් තවමත් නොසන්සුන්ය. සෙනග රොක්‌ වී සිටි පුංචි කඩපිලක්‌ ළඟ අපේ වාහනය නතර කළේය. සෙනඟ අතර සිටින පෙරියසාමි විජය කුමාරි අපි ඉදිරියට පැමිණ එක දිගට මෙසේ කියාගෙන ගියාය.

"මේ ජල පොම්පාගාරයේ ඉස්‌සරත් මේ වගේ ක්‌ලෝරීන් කාන්දුවක්‌ සිදු වුණා. ඒ වේලාවෙත් මිනිස්‌සු ලෙඩ වුණා. ඒ කාන්දුවෙන් ටික කාලයකට පස්‌සෙත් වත්තේ මිනිස්‌සුන්ට පපුවේ මහන්සිය, හුස්‌ම ගන්න අපහසුවීම්, එක එක ලෙඩ හැදිලා බෙහෙත් ගත්තා. ඒත් අපිට වෙන වත්තකින් ගෙවල් දුන්නෙවත් මේ ජල පොම්පාගාරය ඉවත් කළේවත් නැහැ. අපි එදාවේල හම්බ කරගෙන කාලා ජීවත් වෙන අසරණ මිනිස්‌සු. අපේ තියෙන අසරණකමටමද අපිට මෙහෙම සලකන්නේ. අපි කොහේ හරි වත්තකට යන්න කැමතියි. දරු පැටව් එක්‌ක මෙතැන නම් ජීවත් වෙන්න බැහැ" ඇය දිගු සුසුමක්‌ හෙළුවාය. ඇයගේ සිත දවන වේදනාවට වියළුණු තොල්පට වෙව්ලිනි. ඇය අප දෙස බලා සිටියි. සුළඟ පවා නතර විය. අප අතර දැඩි නිහඬතාවයකි. ජල පොම්පාගාරයේ හඬත් අපගේ හදවත්වල ගැස්‌මත් එකම රිද්මයකින් ගලා යයි. පෙන්ඩි්‍රක්‌ වත්තේ මිනිස්‌සු අපව වටකරගෙනය. ඒ හැම කෙනකුම කියන්නේත් විජය කුමාරි කියන කතාවමය.

විෂ වායු අශ්වාස කර දැවෙන මිනිසුන්ගෙන් සමුගත් අපි සීතාවක නගර සභාවට ගියෙමු. එහිදී නගර සභාවේ විපක්‍ෂ නායක අජිත් විජයමුණි සොයිසා සිදු වූ විපත ගැන අප සමග කතා කළේය.

"මේ සිද්ධිය මට දැනගන්න ලැබුණේ 9 වැනිදා රාත්‍රි 9 ට පමණ. ඒ මොහොතේම මම අවිස්‌සාවේල්ල සංවිධායක සුමිත් සොයිසා මහතාට දැනුම් දීලා මම රෝහලට ගියා. එතකොටත් හාරසීයකට වැඩි පිරිසක්‌ රෝහලට ගෙනත් තිබුණා. වහාම මම බස්‌නාහිර සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂතුමාට කතා කරලා රෝගීන්ට අවශ්‍ය ඔක්‌සිජන් ලබා ගත්තා. මේ ක්‌ලෝරීන් නළය කාන්දු වුණේ පළමු වතාවට නොවේ. මීට පෙරත් ජල සම්පාදන මණ්‌ඩලයට අයත් සීතාවක විදුහල අසල ගෑස්‌ කාන්දුවක්‌ වෙලා විශාල හානියක්‌ වුණා. යළිත් මෙවැනි දෙයක්‌ ඇති නොවෙන්න වැඩ කරන්න කියලා මම මතක්‌ කරනවා."

සීතාවකපුර නගර සභාවේ විපක්‍ෂ නායකතුමාගේ ජනතා ඉල්ලීම එසේය. එහෙත් එය එසේම සිදුවේද? සිත තුළ ප්‍රශ්නාර්ථයක්‌ මතු වන විට, නගර සභාවේ ගිලන් රථ රියෑදුරු ලසන්ත රාජපක්‍ෂ මහතා නැවත නිහැඬියාව බිඳ දැමුවේය.

මේ සිද්ධිය අපට දැනගන්න ලැබුණේ රෑ 9 ට විතර. ඒ මොහොතේම අපි ගිලන් රථ අරගෙන වත්තට ගියා. අපිටත් උස්‌ම ගන්න අපහසු වුණා. ඒත් ඒ ගැන හිතන්නේ නැතිව මම දොළොස්‌ වතාවකට මිනිස්‌සු සීයක්‌ විතර ඉස්‌පිරිතාලෙට ගෙනාවා. ගැබිණි මව්වරු, පුංචි දරුවෝ, වයසක උදවියට ඒ වෙනකොටත් කතා කරගන්නවත් බැහැ. රාත්‍රිය ගැන හිතන්නේ නැතිව අවට ගම්වල මිනිස්‌සුත් ඇවිත් ගොඩක්‌ උදව් කළා. එහෙම නොවෙන්න තත්ත්යව මීට වඩා බරපතල වෙන්න තිබුණා"

සිද්ධිය පෙළ ගැසෙන්නේ එසේය. පෙන්ඩි්‍රක්‌ වත්තේ මිනිස්‌සු සහ සීතාවක නගර සභාවේ විපක්‍ෂ නායකතුමා කියන පරිදි මේ වායු කාන්දුව සිදු වූ පළමු වතාව නොවේ. මීට පෙරත් මේ නළ මාර්ගයෙන් ක්‌ලෝරීන් කාන්දු වී ඇත.

ජල පොම්පාගාරයක්‌ හෝ වේවා, කර්මාන්තශාලාවක්‌ හෝ වේවා ස්‌ථානගත කළ යුත්තේ උචිත පරිසර ආරක්‍ෂණ ක්‍රමවේදයන්ට අනුකූලවය. එහෙත් අපේ රටේ සිදු නොවෙන්නේද එයමය. රතුපස්‌වලින් ඇසුනේද ඒ කාලකණ්‌ණිකමේ අඳෝනාවය. දැන් පෙන්ඩි්‍රක්‌ වත්තේ අසරණ මිනිසුන් දවන්නේද ඒ කාලකණ්‌ණි ප්‍රතිඵලයමය. එසේ නම් මේ පිපිරී ගොස්‌ ඇත්තේ රටේ ජල සම්පාදන නිලධාරීන්ගේ නොසැලකිලිමත්කමේ බෝම්බයයි. හානිය අවම විය හැකිය. එහෙත් මේ අනතුරු ඇඟවීම අතිශය ප්‍රබලය. වත්තේ ජනතාව හෝ ජල පොම්පාගාරය හෝ මේ දෙකෙන් එකක්‌ අනිවාර්යයෙන්ම ඉවත් කළ යුතුය. එසේ නොවෙන්න ඊළඟට පුපුරා යන නළය මුළු රටම කම්පනයට පත් කරන්නට ඉඩ තිබේ. ඒ නිසා අශ්වයා පැන යැමට පෙර ඉස්‌තාලය වසා දැමිය යුතුමය.

තරංග රත්නවීර
අවිස්‌සාවේල්ල -ශාන්ත කුමාර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.