ජාත්‍යන්තර කැසිනෝ වෙළෙඳපොළේ
ශ්‍රී ලාංකේය 'බූරු පොළ'

ආණ්‌ඩුව විසින් සූදුවට පහසුකම් සපයන පනතක්‌ සම්මත කරගනු ලැබ තිබෙන මේ මොහොතේදී අප විසින් ඉතා නිහතමානීව වටහා ගනු ලැබිය යුතු සහ වටහා දීමෙන් පසු පිළිගත යුතු කරුණු දෙකක්‌ ඇත. එයින් පළමුවැන්න නම් ශ්‍රී ලංකාව යනු නයිට්‌ ලයිෆ් හෙවත් රාත්‍රී සමාජ ශාලා ජීවිතයක්‌ නැති රටක්‌ බවයි. දෙවැන්න අන්තර් ජාතික කැසිනෝ ව්‍යාපාරය සමග සසඳන විට ශ්‍රී ලංකාව දුර පළාතක මළ ගෙදරක තිබෙන බූරු පොළක්‌ හා සමාන බවයි. නයිට්‌ ලයිෆ් යනු සවස හයේ සිට පසුදින උදේ හය දක්‌වා කැසිනෝ ක්‌ලබ්, නයිට්‌ කල්බ් ගානේ යමින් සූදු කෙළිමින් ඩිස්‌කෝ නටමින් මත්පැන් පානය කරමින් මිනිසුන් හා ගැහැනුන් ගත කරන සමාජ ජීවිතයය. මෙබඳු ජීවිතයක්‌ ඇමරිකාවේ හැම නගරයකම තිබේ. මුළු සිංගප්පූරුව පුරාම තිබේ. ජපානයේ සහ හොංකොං දූපතේ තිබේ. නවදිල්ලියේ පමණක්‌ නොව ඉන්දියාවේ බැංගලෝර් නගරයේ ද තිබේ. නේපාලයේ කත්මන්ඩු නුවර තිබේ. එහෙත් බංග්ලාදේශයේ ධකා නගරයෙහි නයිට්‌ ලයිෆ් නැත. පාකිස්‌තානයේ ඉස්‌ලාමාබාද් නගරයේද නැත. ධකා සහ ඉස්‌ලාමාබාද් නගරවල ජනයා ඉස්‌ලාමීය මූලධර්මවාදයට ඇති බිය නිසා සුදු කෙළීම, මත්පැන් පානය සහ ඩිස්‌කෝ නැටීම බැහැර කර දවසේ වැඩ නිමකර වේලාසනින් ගෙවල්වලට වැද රෑ වනතුරු ටී. වී. බලා නිදා ගනිති. ලංකාවේ ජනයාට මරු කැඳවන ආගමික මූලධර්මවාදයත් රට තුළ නැත.

එහෙත් මේ රටේ ජනයාද පුරුදුව ඇත්තේ හැකි ඉක්‌මනින් ගෙවල්වලට ගොස්‌ පවුලේ අය සමඟ එක්‌ව ආහාර ගෙන ටෙලි නාට්‍ය බලා නිදාගැනීමේ Conservative ජීවිතයකි. මේ රටේ කල්බ් සංස්‌කෘතියක්‌ ඇත්තේ කොළඹ නගරයේ පමණි. දෙකෝටි විසි ලක්‌ෂයක්‌ වන අපේ ජනයාගෙන් 500 ක්‌ වත් රාත්‍රි කාලයේදී ක්‌ලබ්වලට රිංගන්නේ නැත. කොළඹ නගරය තුළ කැසිනෝ කල්බ් දහයකට අඩු ප්‍රමාණයක්‌ද ඩිස්‌කෝ කල්බ් දහයකට අඩු ප්‍රමාණයක්‌ද ඇත. ඒවාට නිතිපතා යන අයගෙන් හත් අට දෙනකු හැර සෙසු සියලුම දෙනා විදේශීය සංචාරකයෝය. ඔස්‌ටේ්‍රලියාවේ ජේම්ස්‌ පැකර්ගේ කැසිනෝ කල්බ් එකක්‌ කොළඹට පැමිණියද එම ගොඩනැඟිල්ල පිටත සිට ලයිට්‌ දෙස බලා සිටිනවා හැර ඇතුළට ගොස්‌  Blackjack games, Slot Games, Poker, Bingo Games වැනි සූදු කෙළීමට වත්කමක්‌ විදේශිකයන්ට හැර අපට නැත. ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනකු පැකර්ගේ ක්‌ලබ් එකට රිංගා සූදු කෙළීමට ඉඩ තිබේ යන්න සිතමු. එහෙත් එම අංශුමාත්‍ර පිරිස ජාතික ආර්ථිකය නමැති සුවිශාල ඒකකය තුළ තීරණාත්මක සාධකයක්‌ වන්නේද නැත.

********************



මුදල් ඔට්‌ටුවට තබා කරන ඕනෑම දෙයක්‌ සූදුවකි. එය කැට ගැසීමේ සිට Match Fixing දක්‌වා ඉතා පුළුල් පරාසයක විහිදෙයි. 1963 දී සම්මත කර ගන්නා ලද අංක 11 දරන මුදල් පනතේ අංක 3 සහ අංක 26 දරන වගන්තිවලට අනුව ජාතික ලොතරැයි මණ්‌ඩලය පිහිටවූ එවකට පැවැති ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ආණ්‌ඩුව ලොතරැයි සූදුවේ ඒකාධිකාරිය රාජ්‍යය අතට ගත්තේය. එදා පටන් මේ රටේ සූදු කෙළිල්ලේ Patron නොහොත් Trustee හෙවත් භාරකාරයා වූයේ රාජ්‍යයයි. එයට පෙර ද මේ රටේ විවිධ ලොතරැයි තිබිණ. අශ්ව රේස්‌ තිබිණි. එහෙත් එයින් ආණ්‌ඩුව කිසිදු ගනුදෙනුවක්‌ ලැබුණේ නැත. එහෙත් 1963 න් පසු ආණ්‌ඩුවට මුදල් සපයන ලොකු ආයතනවලින් එකක්‌ බවට ජාතික ලොතරැයි මණ්‌ඩලය පත්විය. මේ රටේ සුරාබදු පනත ප්‍රකාශයට පත් කළේ 1913 දීය. තවදුරටත් කසිප්පු පෙරීම එමගින් තහනම් කරන ලද අතර අරක්‌කු නිෂ්පාදකයන් හෝ රේන්දකරුවන් රජයට බද්දක්‌ ගෙවා කරන මඟුලක්‌ කළ යුතු විය. එංගලන්තයේ British American Tobbaco සමාගමේ මෙරට දේපලක්‌ වූ දුම්කොළ කොම්පැණිය කෙළින්ම රජය යටතේ නොපවතින නමුදු සිගරට්‌ එතීමේ තනි අයිතිය රජය වෙතින් දෙනු ලැබ ඇත්තේ එම සමාගමට පමණි. ඊට අමතර දුම්කොළ අංශයෙන් කළ හැකි කර්මාන්ත දෙක වූ බීඩි එතීම සහ සුරුට්‌ටු එතීම රජයේ ලයිසන් පිට කළ යුතුය. අනුරාධපුරයෙන් හොරෙන් ගෙනෙන හරකාට දස වධ දී මැරූ පසු පී. එච්. අයි. පැමිණ උගේ පස්‌ස පැත්තට සීල් එකක්‌ ගසනු ලැබේ. ඉන්පසු ඒ සතා මස්‌කර විකිණිය හැකිය. පී. එච්. අයි. සීල් එක ගසන්නේ එක හරකකුටය. ඔහු ගිය පසු තවත් හරක්‌ දෙදෙනකු හොරට මරනු ලැබේ. මේ අනුව පී. එච්. අයි. ගේ සීල් එකට අයත් හරක්‌ කකුල් ගණන හතරක්‌ වන අතර මස්‌කඩේ කොකුවල කකුල් දොළහක්‌ එල්ලෙයි. දහවල් වන විට මස්‌ විකිණී කකුල් ගණන අඩුවීමත් සමඟම හරකා නීතියට බද්ධ වෙයි. මෙසේ තිබියදී අපේ රටේ දේශප්‍රේමී කොටස්‌ කැසිනෝ පනත් සම්බන්ධයෙන් මහත් කලබලයක්‌ ඇති කළ නමුදු කැසිනෝ පවත්වාගෙන යැම පිළිබඳ ඉතා පැහැදිලි ලෙස බලය දෙන නියාමන පනතක්‌ වසර 2010 දෙසැම්බර් 7වැනිදා ප්‍රකාශයට පත්ව ඇත. මෙය Cassino Business (Regulation) Act යනුවෙන් ප්‍රසිද්ධ කර ඇති අතර Srilankalaw.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සියලු විස්‌තර බලාගත හැකිය.

කැසිනෝ කෙසේ වෙතත් සූදු කෙළියට අවුරුදු 8000 ක ඉතිහාසයක්‌ තිබේ. ක්‍රි. පූ. 6000 දී සාදන ලද දාදු කැට කැනඩාවෙන් හමුවී ඇත. ක්‍රි. පූ. 1100 - 350 කාලය තුළ ඉන්දියාවේදී ලියෑවුණු සෘග් වේදයෙහි එන දේවස්‌තුති ගීතයක්‌ වන "සුදු කෙළින්නාගේ විලාපය" මගින් සූදු අන්තුවකුගේ ජීවිතය ගැන කතා කෙරෙයි. දාදු කෙළියට තිබෙන ඇබ්බැහිකම නිසා මෙම සූදු අන්තුවා විනාශයට පත්වෙයි. ඉන්දියන් ඉතිහාසය පිළිබඳ විශේෂඥයකු වන බ්‍රිතාන්‍ය ජාතික මහාචාර්ය A.L. Basham (1914 - 1986) ගේ මතයට අනුව සූදු කෙළින්නාගේ විලාශය. දාදු කෙළියේදී ජයග්‍රහණය උදෙසා පාවිච්චි කළ සෙත්කවියක්‌ වැනි දෙයකි. ක්‍රි. පූ. හතරවන සියවසේදී ඉන්දියාවේ චානක්‍ය (මොහු කෞටිලය සහ විෂ්ණු ගුප්ත යන නම්වලින්ද හඳුන්වන ලදී.) පඬිවරයා "අර්ථ ශාස්‌ත්‍ර" නමැති ආර්ථික සහ යුද ශාස්‌ත්‍ර ග්‍රන්ථය ලියමින් සූදුව පාලනය කළ යුතු බවත් එයින් බදු අය කළ යුතු බවත් රෙකමදාරු කර ඇත. නූතන කැසිනෝ ක්‌ලබ්වල සෙල්ලම් කරන ප්‍රසිද්ධ සූදු ක්‍රීඩාවන Craps, baccarat, roulette, black jack යන ක්‍රීඩා යුරෝපයේ උපන් අතර Keno නමැති ලොතරැයි ක්‍රීඩාව ජපානයේදී උපන්නේය. ක්‍රි. පූ. 220 දී Qin Shi Huang නමැති පළමුවන චීන අධිරාජ්‍යය චීන මහා ප්‍රාකාරයේ මුල් කොටස ඉදි කළේ Keno ලොතරැයිය විකිණීමෙන් බව කියනු ලැබේ. අද ඇමරිකාවේ ලාස්‌ වේගාස්‌a කැසිනෝවක Keno ලොතරැයියක්‌ ඩොලර් 1000 කි. එබඳු කැසිනෝවක වරකට Keno ටිකට්‌ 20 කට වඩා නිකුත් කරන්නේ නැත. ඩොලර් 10000 ක පමණ තෑග්ගක්‌ ලබන මේ ලොතරැයිය ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාව 20 න් එකකි. එය ඉතා ඉහළ ජයග්‍රහණ සම්භාවිතාවකි.

ධනවාදී ක්‍රමය තුළ විදේශ විනිමය උපයන මාර්ගයක්‌ වශයෙන් කැසිනෝවක්‌ වැදගත් වන්නේ ඇයි? ඒ සඳහා යොදවන මූලික ආයෝජනය හැරුණුවිට ධනෝපායන අවස්‌ථාව සඳහා යොදවන ආයෝජනය අල්ප වීම නිසාය. කැසිනෝ ක්‌ලබ් හිමියකු සූදු ක්‍රීඩකයකුගෙන් ඩොලර් 1000 ක්‌ ඉපයීම සඳහා වැය කරන මුදල ඩොලර්¨ 2 ක්‌ හෝ 5 ක්‌ වීමට පුලුවන. කැසිනෝවට ඇතුළුවන පුද්ගලයාට ඕනෑ තරම් කෑම හා බීම නොමිලයේ සපයනු ලැබේ. එහෙත් කිසිවකුටත් ඩොලර් 50 ඉක්‌මවා ආහාර ගැනීමට නොහැකිය. ඒ ඔහුගේ උදරයෙහි ඇති ඉඩකඩ කැසිනෝ ශාලාව තුළ ඇති ඉඩකඩ මෙන් සීමා සහිත නිසාත්, ආහාරවලින් ඔහු සන්තෘප්ත වූ පසු එතැනින් එහා කෑමට නොහැකි නිසාත්ය. නූතන ලෝකයේ කැසිනෝවක්‌ යනු රාජධානියකි. එහි තරු හතේ හෝටල්, කාමර, සාප්පු, දිය තටාක තිබේ. සමහර ධනවත්තු විශාල නැව්වල කැසිනෝ ශාලා පවත්වාගෙන යති. කැසිනෝ ක්‍රීඩාවෙහි යෙදෙන්නා දිනන බව පෙනෙන නමුත් අවසාන ඵලයේදී ජයග්‍රාහකයා වන්නේ කැසිනෝ Club එකය.

ලෝක කැසිනෝ වෙළෙඳපොළ වූ කලී ඩොලර් බිලියන අතර පාවෙන ව්‍යාපාරයකි. ඒ හා සසඳනවිට ශ්‍රී ලංකාවේ දැනට තිබෙන කැසිනෝ ව්‍යාපාරය දුර ගමක බූරුපොළක්‌ හා සමානය. ඒ බව හඳුනා ගැනීම සඳහා ඔබට පහත සඳහන් වගු ඉදිරිපත් කරමු.

ලොව විශාලතම විගණන සමාගම වන ලන්ඩනයේ Pricewaterhouse Coopers විසින් ලෝක කැසිනෝ ව්‍යාපාරයේ යෝaධයන් සහ ඔවුන්ගේ ආදායම් අනුපිළිවෙළින් ලැයිස්‌තුගත කර ඇත්තේ මෙසේය. (වගුව බලන්න)

ඉහත සඳහන් වගුවේ වසර 2011 ආදායම පමණක්‌ ශ්‍රී ලංකාවේ රුපියල්වලින් ගණනය කර ලෝක කැසිනෝ ව්‍යාපාරයේ යෝධ ආර්ථික ස්‌වභාවය ගැන පාඨකයාට අදහසක්‌ දෙමු. එක්‌සත් ජනපදයේ 2011 කැසිනෝ ආදායම වන ඩොලර් දශලක්‌ෂ 58050 ලංකාවේ අවම ඩොලර් වටිනාකම වන 135 න් වැඩි කළ විට එන උත්තරය රුපියල් දශ ලක්‌ෂ 7834030 කි. වගුවේ 5 වන තැන සිටින ලතින් ඇමරිකාවේ 2011 ආදායම ඩොලර් දශලක්‌ෂ 594 රුපියල් 135 ක්‌ වැඩි කළ විට එන උත්තරය රුපියල් දශලක්‌ෂ 80190 කි. මේ මුදල් ඒ රටවලට එන්නේ ඇමරිකන් ඩොලර් නමැති අගනා විදේශ විනිමයෙන් බව මතක තබා ගත යුතුය. මත්පැන්, සිගරට්‌, මස්‌කඩ, වැනි වැනි දුෂ්ට ව්‍යාපාර ද නීතිගත වී තිබෙද්දී කැසිනෝ ආදායම අත්හැරීම මෝඩකමකි. බූරුපොළක්‌ වැනි මේ කුඩා රටට පැමිණීම ගැන ඡේම්ස්‌ පැකර්ට ස්‌තුති කළ යුතුය.

අනුර සොලමන්ස්‌

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.