පුපුරණ ද්‍රව්‍ය සුරතල් කිරීම

නිමාවූ යුද්ධය විසින් අපට ඉතිරි කරන ලද්දේ සොහොන් කොත් සහ වැන්දඹුවන් පමණක්‌ නොවේ. පාවිච්චි නොකළ තුවක්‌කු, වෙඩි උණ්‌ඩ, නොපිපිරූ බෝම්බ පමණක්‌ නොව මෝටාර් සහ රොකට්‌ වෙඩි ද නිමාවූ යුද්ධය විසින් ඉතිරි කරනුq ලැබ තිබේ. මේ බඩු දැන් එක - එක පුපුරන්නට පටන් ගෙන තිබේ. පසුගිය දවසක කොළඹ බෝතල් කඩයක්‌ තුළදී මෝටාර් වෙඩිල්ලක්‌ පුපුරා ගියේය. ඒ, එය පරණ යකඩවලට විකිණීම සඳහා කැබැලි කරමින් සිටියදී ය. ඒ අතර කොටි ත්‍රස්‌තවාදීන්ට අයත්ව තිබූ අධිබල පුපුරණ ද්‍රව්‍ය තොගයක්‌ ඇල්පිටියේ ජීවත් වූ විශ්‍රාමික කෝප්‍රල් කෙනකුගේ ගෙවත්තේ වළ දමා තිබියදී හමු විය. මෙයට වසර කිහිපයකට පෙර නයාරු කොටි කඳවුර අත්පත් කර ගැනීමේදී කෝප්‍රල්ට මේ පුපුරණ ද්‍රව්‍ය තොගය හමු විය. ඔහු ඒවා ගෙදර ගෙන එන්නට ඇත්තේ සිහිවටනයක්‌ ලෙස යෑයි සිතමින් අපි කෝප්‍රල්ගේ වාසියට දැනට මේ සිද්ධිය තීන්දු කරමු. යම් හෙයකින් මේවා පුපුරණ ලද්දේ නම් කෝප්‍රල් සහ ඔහුගේ ගෙදර පදිංචි අය වෙනුවෙන් පමණක්‌ නොව අහළ පහළ අය වෙනුවෙන්ද සිහිවටන ඉදිවීමට ඉඩ තිබිණි. කෙසේ වුවද පොලිසිය කියන්නේ කෝප්‍රල් මහා විනාශයක්‌ කිරීමට මේ පුපුරණ ද්‍රව්‍ය තොගය ළඟ තබාගෙන සිටි බවය. සාමාන්‍යයෙන් රතිඤ්ඤයක්‌ දැක්‌කත් පොලිසිය කියන්නේ මෙවැනි කතාවකි. කෙසේ වුවද අපට කෝප්‍රල් සුද්ද කිරීමට අවශ්‍ය නැත. එය එයා උසාවියේදී බලා ගත්තා වේ.

යුද්ධයකදී දැල්වෙන සහ ඉතිරිවෙන භයානකම ද්‍රව්‍ය පුපුරණ දේවල් ය. එය දැල්වුණත් විනාශයකි. ඉතිරි වුණත් මතු කවදා හෝ දවසක දැල්වීමට ඉඩ තිබෙන බැවින් විනාශයකි. යුද්ධයෙන් පසු තවත් යුද්ධ දෙකකට අවශ්‍ය තරම් භයානක පුපුරණ ද්‍රව්‍ය තොගයක්‌ කිසිදු පතක පොතක නොලියෑවී, කිසිදු ඉන්වෙන්aටි්‍රයක සඳහන් නොවී බංකර් තුළ, උමං මාර්ග තුළ, මහ පොළොව යට සැඟවිණ. යුද්ධය නිමාවට පත්වී වසර හතරක්‌ ගත වෙමින් තිබෙන මේ මොහොතේදීත් විවිධ යුද්ධායුද තැනින් තැන මතුවෙයි. ඇතැම් තැනෙකින් කාල තුවක්‌කු ද මතු විය. රත්නපුරේÊසිටින ජනයා පොළොව යටින් දිවෙන දොaනවල් මත ජීවත් වන්නාක්‌ සේ, වළ දැමූ පුපුරණ ද්‍රව්‍ය මත ජීවත් වීමට උතුරු නැගෙනහිර සිටින ජනයාට සිදුවී තිබිණ. අද වනවිට ඇල්පිටියටත් ඒ තත්ත්වයෙන් කොටසක්‌ උරුම වී ඇත. කෝප්‍රල්ගේ ගිනි අවි/පුපුරණ ද්‍රව්‍ය තොගය තිබුණේ පැරණි වැසිකිලි වළක්‌ තුළය. මෙය කෝප්‍රල් පාවිච්චි කරන වැසිකිලියේ වළ නම් ඇතිවීමට තිබූ අවුල ඉමහති. ඔහු වැසිකිලියේ සිටින වෙලාවක පුපුරණ ද්‍රව්‍ය තොගය පුපුරා ගියේ නම් කෝප්‍රල් තවමත් රොකට්‌ටුවක්‌ නැතිව හඳ බලා යන ගමනක අතරමග ය.·

පශ්චාත් යුද සමයක්‌ යනු නොපිපිරූ පුපුරණ ද්‍රව්‍ය සමයකි. අප්‍රිකා මහාද්වීපයේ බොහෝ රටවල නොපිපිරූ බිම් බෝම්බ කලාප තිබේ. බිම් බෝම්බ ඉවත් කළ යුත්තේ එකින් එකය. එය පුපුරන්නේ ද ස්‌වාධීනවය. එක රතිඤ්ඤයක්‌ පත්තු කළ විට රතිඤ්ඤ වැළම පුපුරා යන්නාක්‌ මෙන් එක බිම් බෝම්බයක්‌ හෝ ජොනි බට්‌ටකු පිපිරූ විට ඊට යාබදව තිබෙන අනෙක්‌ බට්‌ටා පුපුරන්නේ නැත. එය පුපුරන්නේ ඒ මත පා තැබූ විට පමණි. මේ නිසා බිම් බෝම්බ ඉවත් කිරීම ඒ සම්බන්ධයෙන් ඉතා හොඳ පුහුණුවක්‌ ලැබූ පුද්ගලයන් විසින් කරනු ලැබිය යුතුය. බිම්බෝම්බ ඉවත් කිරීමට පෙර නිෂ්ක්‍රීය කළ යුතුය. නැතහොත් ඉවත් කළ පසු නිෂ්ක්‍රීය කළ යුතුය. ඉන්පසු කැබලිවලට වෙන් කළ යුතුය. මේ සියල්ල ඉතා ප්‍රවේසමෙන් කළ යුතු වෙයි. ඇල්පිටියේ කෝප්‍රල් සංග්‍රාමික කලාපයක්‌ තුළ සේවය කළ බවට සාක්‍ෂි තිබේ. ඒ බැවින් ඔහු පුපුරණ ද්‍රව්‍යවල හානිය ඉතා හොඳින් දැන සිටි කෙනෙකි. එසේ තිබියදීත් ඔහු පුපුරණ ද්‍රව්‍ය තොගයක්‌ ගෙදර ගෙනැවුත් විශාල අවදානමක්‌ ඇති කළේ ඇයි?

බෝම්බයක්‌ හෝ පුපුරණ ද්‍රව්‍යයක්‌ යනු කිසි කලෙකත් කිසිවකු සමග මිතුරු නොවන හතුරෙකි. මෙය හරිහැටි තේරුම් ගත් විට ගිනි අවි ළඟ තබාගෙන ඒවා සුරතල් කිරීමෙන් වැළකීම සඳහා හිත හදා ගත හැකිය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.