බොදු බැතිමතුන් නොදැනුවත්ව
ගිලන් වූ  මහ ස`ගරුවන  සුවපත් කළ ගිලන්හල

මේ ගිලන් මධ්‍යස්‌ථානයකි. නැතහොත් ලෙඩුනට සාත්තු සප්පායම් කරන තැනකි. එහෙත් ගැටලුව නම් ගිලන් හලද ගිලන්වී තිබීමයි.

මෙවන් ගිලන්හලක්‌ ගිලන්වීමට ඉඩදී මේ බෞද්ධ රාජ්‍යයේ වැසියකු ලෙසින් බලා සිටීමට නොහැකි බැවිණි මා එහි ගොස්‌ මේ තොරතුරු ඔබට කියන්නට යෙදුනේ.

මේ වන්දනීය, පූජනීය මහා සංඝරත්නය වෙනුවෙන් ඉදිවූ ගිලන් මධ්‍යස්‌ථානයකි. ගල්කිස්‌සේ පිහිටා ඇති ධර්මේන්ද්‍රdරාමය හෙවත් 'වළේ පන්සලේ' පිහිටි මේ භික්‍ෂු ගිලන් මධ්‍යස්‌ථානය උපදින්නේ විහාරාධිපති මීරිගම ගෝතම හිමියන් දුටු අතිශයින් ෙ€දනීය දසුනකිනි.

සෑම සිව්දෙනෙකුගෙන්ම තිදෙනෙකු බෞද්ධයන් වන මෙහෙව් රටක එවැනි සිද්ධි සිදුවනවා යෑයි පැවසීම උඩ බලාගෙන කෙළ ගසාගැනීමක්‌ නමුත් යථාර්ථය එය නම් එය සඟවා කුමට?

දිනක මීරිගම ගෝතම හිමියෝ කොළඹ මහ රෝහලේ භික්‍ෂු වාට්‌ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියහ. උන්වහන්සේට යාබද ඇඳක සිටි භික්‍ෂූන් වහන්සේ නමක්‌ අසලට පැමිණ රෝහල් සේවකයකු ගෝරනාඩුවක්‌ කරයි. එකී ගෝරනාඩුවෙන් අන්ත අසරණ වන භික්‍ෂුව තමන් සන්තකයේ තිබූ කලමනා ස්‌වල්පය බෑගයක දමාගෙන රෝහලෙන් බැහැරවීමට සැරසෙයි.

'ඔබවහන්සේ දැන් කොහෙටද වඩින්නේ?' එතැනට ළංවූ ගෝතම හිමියෝ විචාළහ.

'මම වඩිනවා කළුබෝවිල ඉස්‌පිරිතාලෙට'

එම ස්‌වාමීන්වහන්සේගේ පිළිතුර ගෝතම හිමියන් කම්පාවට පත් කළේය.

සිදුව ඇතතේ කුමක්‌ද?

ජාතික රෝහලේ නේවාසිකව සිටි ඒ භික්‍ෂූන් වහන්සේගේ 'ටිකට්‌ කපා' තිබුණ ද උන්වහන්සේ රෝහලෙන් බැහැරව නොගොස්‌ තවදුරටත් එහි රැඳී සිට තිබුණි. රෝහල් සේවකයාගේ දෝෂදර්ශනයට හේතුව වූයේ එයයි.

උන්වහන්සේ බැහැරට නොගොස්‌ එහිම රැඳී සිට තිබුණේ රැකවරණය පිණිස වෙනත් තැනක්‌ නොවූ බැවිනි. උන්වහන්සේට යන්නට ඉතිරිව තිබුණේද තවත් රෝහලක්‌ම පමණි. අසරණව යන මේ ගමනේ කෙළවර කොතැනද?

'මහත්තයො, අපි ප්‍රසිද්ධියේ කථා නොකළට මේක තමයි ඇත්ත. විහාර දේවාලගම් පනතට අනුව විහාරාධිපති හාමුදුරුවන්ගේ පළවැනි ගෝලයට තමයි ස්‌ථානය අයිති වෙන්නේ. අනිත් හාමුදුරුවරුන්ට ඒa ස්‌ථානයේ තැනක්‌ නැති වුණොත් සමහරවිට වෙන ස්‌ථානයකුත් නෑ. ආපහු ගිහි ගෙදරට ගිහින් ඉන්න තැනකුත් නෑ. තනියම ජීවිතයට මුහුණදෙන්න ඇඟේ හයිය හත්තියකුත් නෑ. ඒ වගේ කෙනෙක්‌ට බේත් හේත් ටික අරගෙන වැටිලා ඉන්න තැනක්‌ හදන්න ඕනෑ කියලා මට හිතුණා'

'ඒ විතරයක්‌ නෙමෙයි මහත්තයා. සමහරක්‌ හාමුදුරුවරු දුර බැහැර ඉඳලා කාලෙකට වතාවක්‌ බෙහෙත් ගන්න කොළඹට එනවා. සති 2කට වතාවක්‌ මහරගම පිළිකා රෝහලට ඇවිත් කරන්ට්‌ එක අල්ලගන්න අවශ්‍ය හාමුදුරුවරු ඉන්නවා. නමුත් උන්වහන්සේලාට කොළඹ ආවහම වැඩ ඉඳලා විවේක පාඩුවෙන් බෙහෙත් ටික අරගෙන යන්න හරිහමන් තැනක්‌ නැහැ'

මේ ත්‍රිවිධ රත්නයෙන් එක්‌ රත්නයක්‌ වන මහා සංඝරත්නයේ එක්‌තරා කුලකයක්‌ අත්විඳින කටුක යථාර්ථයයි. මේවා හෙළිවීම ශාසනය හෑල්ලුවට ලක්‌කිරීමක්‌ නොවේ. මෙයින් හෑල්ලුවට ලක්‌වන්නේ සියල්ලට ප්‍රථම තෙරුවන් වන්දනා කරන බෞද්ධ යෑයි ලේබලය ගසාගත් සමාජයයි. බුද්ධ ශාසන අමාත්‍යංශයක්‌ද පිහිටි රාජ්‍යයයි.

මීරිගම ගෝතම හිමියෝ මේ අඳුරට ශාප කරමින් සිටිනු වෙනුවට පහනක්‌ දැල්වූහ. ඒ අනුව මින් වසර 3කට එපිට ගල්කිස්‌ස ධර්මේන්ද්‍රdරාමයේ භික්‍ෂු ගිලන් මධ්‍යස්‌ථානයක්‌ උන්වහන්සේ ඉදිකරති. එය 'ජිනරතන ගිලන් භික්‍ෂු සුවසේවා පදනම' යන නමින් පවත්වාගෙන යති.

එය දෙමහල් ගොඩනැඟිල්ලකි. ඔස්‌ටේ්‍රලියාවෙන් පරිත්‍යාග ලෙස ලැබුණු ඇඳන් 10කි. සාත්තු සේවකයෙක්‌ද විය.

මේ සියල්ල උන්වහන්සේ විසින් කරනුයේ ඇඟේ හයියෙන් නොවේ. සිතේ හයියෙනි. 1960දී උපසම්පදාව ලබාගත් උන්වහන්සේ මේ මහා ශාසනික සද්කාරය කරද්දී වයස අවුරුදු 70ක්‌ විය.

බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය පිණිස 'බුදුන් වදාළ උපමා' 'භව සරණ' 'මොක්‌පුර නොදුටු දෙව්දත් ' ආදී ග්‍රන්ථ කරවූ ඒ වියත් උතුමන් සිය ඉදිරි ජීවිත කාලයම කැපකිරීමට අදිටන් කරගනිමින් ඉදිකළ මේ ගිලන්හල විටින් විට පැමිණ ගිය සහ නේවාසිකව සිටි භික්‍ෂූන්වහන්සේලා සිය ගණනකට මහා රැකවරණයක්‌ විය.

කාලය හෙමෙන් ඇදුණි. වියදම් දිනෙන් දින ඉහළ ගියේය. වතුර බිල්, විදුලි බිල්, භික්‍ෂූන්වහන්සේලා රෝහල් සායනවලට යොමුකිරීම ත්‍රිවිල් ගාස්‌තු.... එකී මෙකී නොකී වියදම් රැසක්‌ ඉදිරියේ මෙය නඩත්තුවීම පිණිස ගෝතම හිමියන් සතුවූ සබ්බ සකලමනාව කෙමෙන් දියවී ගියේය.

සේවකයකුට පඩි නඩි ගෙවාගැනීමට නොහැකිවූ තැන ගෝතම හිමියෝ උන්වහන්සේගේ ගෝලනම වූ සපුගොල්ලේ ප්‍රඥාරතන හිමියන් සමග එක්‌ව සියලු කටයුතු සිදු කළහ. විටෙක නේවාසික භික්‍ෂූන්ට ඉන්සියුලින් ආදී එන්නත් ලබාදුන්නේද ගෝතම හිමියන් විසින්මය.

වාරු අඩු ගත නිසා අත සැළුණේ වුවද, නොසැළුණ සිත වෙලාගත් අප්‍රමාණ කරුණාවකින් වාරුගෙන උන්වහන්සේ සහෝදර ගිලන් භික්‍ෂුවට එන්නත ශරීරගත කළහ.

සොච්චමක්‌ වූ සිය විශ්‍රාම වැටුප මෙහි නඩත්තුව සඳහා ගෝතම හිමියන්ට කිසිසේත් ප්‍රමාණවත් නොවුණි. අවසානයේ එහි එක්‌ තැනක උන්වහන්සේ සිය ඇසට ප්‍රතිකාර පිණිස බෙහෙත් කුප්පිය ගැනීමට තිබූ මුදල ද මේ ගිලන් මධ්‍යස්‌ථානය වෙනුවෙන්ම වැය කළහ.

'අන්තිමේදී මහත්තයෝ මගේ අතේ තිබුණේ ඇහැට බෙහෙත් ගන්න තිබුණු සල්ලි ටික විතරයි. මම ඇහැට බෙහෙත් ගන්න එක පැත්තකට දාලා ඒ සල්ලිත් මෙතැනට යෙදෙව්වා. ඒ වුණත් මහත්තයො ඉන් එහාට කරගන්න දෙයක්‌ මට තිබුණෙම නැහැ'

ඒ වන විට ගිලන් මධ්‍යස්‌ථානයේ නේවාසිකව සිටියේ දියවැඩියාව උග්‍රවූ එක්‌ භික්‍ෂුවක්‌ පමණි. කරකියාගන්නට දෙයක්‌ තිබුණේම නැති තැන මහා කම්පාවකින් යුක්‌තව වුව ඒ හාමුදුරු වහන්සේට මෙයට වඩා පිහිටක්‌ ඇති තැනක්‌ සොයා යන්න යෑයි පැවසීමට ගෝතම හිමියන්ට සිදුවිය.

එතැනින් භික්‍ෂු ගිලන් මධ්‍යස්‌ථානයක මෙහෙවර අවසන් විය.

නමුත් භික්‍ෂූන්වහන්සේලාට මහා රැකවරණයක්‌ සෙවනක්‌ වූ මේ ගිලන් පියස සදාකාලිකවම එකතැන්ව මියෑදෙන තැනට පත්කිරීමට මීරිගම ගෝතම හිමියෝ සූදානම් නැත.

'මට මහත්තයෝ දැන් වයස අවුරුදු 73යි. ඒත් මේ ස්‌ථානය නඩත්තු කරන්න පුළුවන් කමක්‌ තියෙනවා නම් මට පුළුවන් මේක නැවතත් පවත්වාගෙන යන්න. මට බැරි දවසක්‌ ආවත් බොහොම කරුණාවන්ත මගේ ගෝලනම මේක පවත්වාගෙන යාවී. මෙතැනට දානෙ ගේන්න දායක මහත්වරු ඉන්නවා. ඒ අයම සමරහවිටක බෙහෙත් හේත් අවශ්‍ය ඒවත් අරන්දෙනවා. මේ ළඟම තියෙන බෞද්ධ බාලිකා විදුහලෙත් උසස්‌ බාලිකා විදුහලෙත් දරුවෝ ඇවිත් උපස්‌ථාන කටයුතුත් කරනවා. ඇත්තටම මහත්තයෝ විශ්‍රාම ගත්තු හෙද නිලධාරි මහත්තයෙකුයි, තව සේවකයෙකුයි තියාගෙන ඒ අයගේ පඩිනඩි ටික ගෙවන්නයි. ත්‍රීවිල් වලටයි ඔය අත්‍යවශ්‍ය බෙහෙත් ටික ගන්න ප්‍රමාණවත් මුදලක්‌ හැම මාසයකම පවත්වාගෙන යන්න පුළුවන් විදිහක්‌ සැකසෙන විදිහට අරමුදලක්‌ පිහිටුවාගන්න පුළුවන් නම් භික්‍ෂූන් වහන්සේලාට මෙතැන ලොකු පිහිටක්‌ වෙයි'

ගෝතම හිමියන් පවසන ඒ පිහිට ඔබත්, මමත් හැර අන්කව්රුන්ද?

සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගිලානෝපස්‌ථානයෙහි අගය වදාළ සේක. ගිලානෝපස්‌ථානය ප්‍රායෝගිකව සිදුකළ සේක. ඒ මහා කාරුණිකයන් වහන්සේගේ පුතුන් ගිලන්වූ කල....

හිතන්න.

කළ යුත්ත කරන්න. ධර්මේන්ද්‍රdරාමයේ ගෝතම හිමියන්ගේ දුරකථන අංකය(- 0112712852

බැංකු ගිණුම් විස්‌තර:- ගිණුම් අංකය (019200190002681 මහජන බැංකුව - දෙහිවල ශාඛාව

ගිණුමේ නම:- ජිනරතන ගිලන් භික්‍ෂු සුවසේවා පදනම

ඉන්ද්‍රජිත් සුබසිංහ
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.