පිළියම සේම හේතුව ද වටහාගත යුතුය

මේ වන විට පිළිකා රෝගය, කැස්‌ස සහ සෙම්ප්‍රතිශ්‍යාව තරමට වැඩිවී ඇති බවත්, දිනකට පිළිකා රෝගීන් පනස්‌ පස්‌ දෙනකු හෝ හැට දෙනකු මරණයට පත්වන බවත් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාණෝ ඊයේ "දිවයින"ට ප්‍රකාශ කළහ.

රටක මිනිසුන් ඒ සා ප්‍රමාණයකින් පිළිකා රෝගය නිසා මරණයට පත්වීම, වකුගඩු රෝගය නිසා මිනිසුන් මරණයට පත්වන්නේ විෂ රසායනික ද්‍රව්‍ය ජලයේ අඩංගුව තිබෙන නිසා යෑයි හෝ නොතිබෙන නිසා යෑයි හෝ වාද කරමින් කාලය කා දමනවාට වඩා භයානක ය.

පිළිකා රෝගය යනු මේ මෑතකදී සොයාගත් රෝගයක්‌ නොව ඉතා දුරාතීතයේ පටන් මිනිසුන් පෙළුE රෝගයක්‌ බවට සැකයක්‌ නැත. එහෙත්, සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නාක්‌ මෙන් එය කැස්‌ස, සෙම්ප්‍රතිශ්‍යාව තරමට බහුල වීමට විශේෂ හේතුවක්‌ තිබිය යුතුය.

මෙහිදී ප්‍රකාශයට පත් කෙරෙන එක හේතුවක්‌ නොව හේතු රාශියක්‌ම තිබේ. මත්පැන් පානයත්,

සිගරැට්‌ ඉරීමත් යන පිළිකාව සඳහා කවදත් බලපෑ හේතු කාරණාවලට අමතරව පිළිකා කාරක අඩංගු ආහාර පාන භාවිතය මෙහිදී මුල් තැනටම පැමිණෙන බව අපගේ අදහස ය.

රටේ ජනතාවගේ ආහාර පරිභෝජන රටාවේ සිදුව ඇති වෙනස්‌කම් පිළිබඳව සේම, බහුල වශයෙන් ඔවුන් ලබාගන්නා ආහාර පිළිබඳව ද අවධානය යොමුකරන විට අනාවරණය වන්නේ බිහිසුණු සත්‍යයක්‌ම වේ.

උදාහරණයක්‌ වශයෙන් වෙළෙඳපොළේ තිබෙන අඹ ගෙඩිය ගත හැකිය. ශ්‍රී ලංකාවට ඩ්‍රැගන් පෘට්‌ තරමේ වත් ආගන්තුක පලතුරක්‌ නොවූ අඹ ගෙඩියක්‌ නොකෑ එකකු ජනතාව අතරින් සොයාගත හැකිද?

එහෙත්, වර්තමාන වෙළෙඳපොළෙන් අඹ ගෙඩියක්‌ මිලදී ගන්නා ඉන් ලබන්නේ අඹ ගෙඩියක රසය නොව පල් වූ ගස්‌ලබු ගෙඩියක නීරසකි. කහ පැහැති තඩි ගස්‌ලබු ගෙඩියක පවත්නේ වැසි වතුර රසයකි. මීට හේතුව අඹ ගස්‌ හෝ ගස්‌ලබු ගස්‌ තම ස්‌වභාවික යුතුකම අතහැරීම නොවේ. ගෙඩි ඉක්‌මනින් ඉදවීමට කුණු වෙළෙන්දන් විසින් රසායනික ද්‍රව්‍ය යෙදීමය.

එම සරල නිදර්ශනයෙන්, රටේ මිනිසුන් අනුභව කරන ආහාර වර්ග අතරින් දැනට මේ ඉරණමට ගොදුරුව පවතින්නේ අඹ, ගස්‌ලබු පමණක්‌ය යන්න අදහස්‌ නොවේ. රසායනික ද්‍රව්‍ය හෝ වෙනත් මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ද්‍රව්‍ය හෝ අඩංගු නොවන ආහාර දැන් වෙළෙඳපළේ ඇත්නම් ඒ ඉතාම ස්‌වල්පයක්‌ම පමණකි. මිනිසුන්ට දැනට කෑමට සිදුව තිබෙන මේ අපත්‍ය ආහාර කැවිල්ලට ඔවුන් පිළිකා සෑදී නතරවනවා පුදුම ය.

කරුණාවන්ත මිනිසකු වන සෞඛ්‍ය අමාත්‍යවරයා රජය අයවැයෙන් වෙන් කරන මුදලට අමතරව පිළිකා රෝහල සඳහා වෙනමම වැය ශීර්ෂයක්‌ යටතේ මුදල් ලබාදීමට කටයුතු කරන බව මහත් උනන්දුවෙන් පවසයි. ඒ විශිෂ්ට ක්‍රියාව පිළිබඳව රජය පසසන අතරම රජයට අප නගන චෝදනාවක්‌ ද තිබේ.

පිළිකාවෙන් දිනකට පණහක්‌, හැටක්‌ මියයන තත්ත්වය යටතේවත්, දහස්‌ ගණනින් දස දහස්‌ ගණනින් රෝගයට ගොදුරු වන තත්ත්වය යටතේ වත් දැනට මේ රෝගය වැළඳෙන තත්ත්වය සමනය කිරීමට අදාළ ක්‍රියාමාර්ග ඒ විසින් තවමත් ගනු නොලබන්නේ මන්ද යන්නය.

පිළිකා රෝගීන් අතර වැඩිම පිරිස මුඛ පිළිකා රෝගීන් වශයෙන් හඳුනාගැනීමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් එහි ප්‍රධාන රෝග කාරක වන සිගරැට්‌, පුවක්‌, හුණු, දුම්කොළ භාවිතයෙන් ජනතාව ඈත් කිරීමට රජය අනුගමනය කරන යම් යම් ක්‍රියාමාර්ග නැතුවා නොවේ. අපගේ භික්‍ෂූන් වහන්සේලා අරභයා පසුගිය සතියේ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් හඳුන්වා දෙන ලද නව දැහැත් වට්‌ටිය ඉන් එකකි. හුණු, පුවක්‌, දුම්කොළ වෙනුවට සාදික්‌කා, වසාවාසි සහ කරදමුංගු ඇතුළත් මෙම දැහැත් වට්‌ටිය කාලෝචිත පියවරකි.

දුම්වැටිවලට එරෙහි ප්‍රචාරයද, දැනට පණවා ඇති සහ ක්‍රියාත්මකව පවතින දුම්පානයට එරෙහි නීතිරීති ද යහපත්ම ය. මත්පැන් පානයට එරෙහිව පවත්නා නීතිරීති ද යහපත්ම ය.

එහෙත් ඒ උනන්දුව අවධානය රටේ ආහාර මාධ්‍යයන් අරභයා නොමැතිවීම ය අයහපත.

තරමක්‌ පමා වූ පසු මිනිසකුට දමා ගසා තුවාල කළ හැකි ප්ලාස්‌ටර් ඔµa පැරිස්‌ ආප්පයේ පටන් ලෝකයේ මෙතෙක්‌ සොයාගෙන නැති රෝගවලටත් තොත්තු දෙන කොත්තු රොටිය දක්‌වා ද වූ නව ආහාර සංස්‌කෘතිය වෙනස්‌ කිරීමට ආහාරවලට අදාළ බලධාරීන් (එබන්දන් සිටී නම්) කටයුතු යොදන තුරුම මේ පිළිකා අනතුර බලපැවැත්වෙන බව අපගේ වැටහීම ය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.