කටානේ කැසිනෝ මධ්‍යස්‌ථානයට
කිතුනු ජනතාවගේ දැඩි විරෝධය

- රීඩ් ෂෙල්ටන් ප්‍රනාන්දු පියතුමා

රටේ අභිමානය විනාශ කිරීමට
කැසිනෝ ව්‍යාපාරිකයන්ට ඉඩදිය නොහැකියි

- පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි

ධම්මික සල්වතුර

මේ රට ත්‍රස්‌තවාදයෙන් බේරාගෙන ලබාගත් කීර්තියත්, ශ්‍රී ලංකාවේ අභිමානයත්, කැසිනෝ නිසා විනාශ වීමට ඉඩ දෙන්න එපා යෑයි කියා තමා ජනාධිපතිතුමන් ගෙන් ඉල්ලා සිටිනවා යෑයි කෝට්‌ටේ නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ.

උන්වහන්සේ එසේ ප්‍රකාශ කළේ සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරය මගින් ලබන 05 වැනි දින ජාතික පුස්‌තකාල ශ්‍රවණාගාරයේ පැවැත්වීමට නියමිත ජනහමුව පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්‌ථාවකට සහභාගි වෙමිනි.

එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ සෝභිත හිමියෝ මෙසේද කීය.

අපේ රට ආසියාවේ කැසිනෝ මධ්‍යස්‌ථානය කරගෙන අසල්වැසි රටවල ධනපතියන්ගේ මෙන්ම අපේ රටේ මිනිස්‌සුන්ගේ සල්ලි ගසා කන්න කොටසක්‌ මාන බලනවා. කැසිනෝ ව්‍යාපාරිකයන්ට අපේ රටේ ගෞරවය, කීර්තිය, අභිමානය විනාශ කිරීමට ඉඩදිය නොහැකියි.

අද හෙට අනිද්දාම මෙහි ආදායම් ලැබෙනව නම් කමක්‌ නෑ. ඒත් අවුරුදු 12 කින් පසුවයි කැසිනෝවලින් බදු අය කිරීමට බලාපොරොත්තු වෙන්නෙ. ඒත් දැනටමත් දුප්පතුන්ගෙ පරිප්පු හොද්දටයි හාල් මැස්‌සො ටිකටයි බදු අය කරනවා.

සංචාරක ක්‌ෂේත්‍රය වර්ධනය කිරීමේ මුවාවෙන් කැසිනෝ ව්‍යාප්ත කිරීමට සැරසෙනවා. මාලදිවයිනේ කැසිනෝ නැති වුණත් සංචාරක ව්‍යාපාරය අතින් විශාල දියුණුවක්‌ ලබා තිබෙනවා.

1956 දී අශ්ව රේස්‌ මුළු රටම වෙලාගෙන ගම්වල මිනිස්‌සු විනාශයට පත්කළා. බණ්‌ඩාරනායක මැතිතුමා රේස්‌කෝස්‌ එක වහල දැම්මා. එහෙම රේස්‌කෝස්‌ වහල දාපු පක්‍ෂයක්‌ නියෝජනය කරන රජයකින් කැසිනෝ ස්‌ථාපිත කිරීමට යැම ජනතාව බලාපොරොත්තු නොවන දෙයක්‌. බෞද්ධ ප්‍රතිපත්ති රකින රටක්‌ හැටියට අපි රජයට බල කරනවා ලංකාව තුළ කැසිනෝ ස්‌ථාපිත කිරීමට ඉඩදෙන්න එපා කියලා.

සියලු පක්‍ෂ, සියලු ආගම්, වෘත්තීය සමිති ඇතුළු නීතිය රකින පොලිසිය, නීතිඥයන් ඇතුළු සමාජය නියෝජනය කරන හැම නායකයන්ටම කැසිනෝ ස්‌ථාපිත කිරීම නීතිගත කිරීම වැළැක්‌වීම සඳහා ලබන 05 වැනිදා සවස 03 ට පුස්‌තකාල ශ්‍රවණාගාරයේ පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහා පැමිණෙන්න කියලා අප ඉල්ලා සිටිනවා.

මෙහිදී අදහස්‌ දැක්‌වූ කතෝලික සභාවේ රීඩ් ෂෙල්ටන් ප්‍රනාන්දු පියතුමා - කටාන ප්‍රදේශයේ කැසිනෝ මධ්‍යස්‌ථානයක්‌ ස්‌ථාපිත කිරීමට යැම ගැන කිතුනු ජනතාවගේ දැඩි විරෝධය පළ කරනවා. කිතුනුවන් හැටියට අප එක හෙළාම කැසිනෝවලට විරුද්ධයි.

කැසිනෝ නීත්‍යනුකූල කිරීමෙන් ව්‍යාප්ත කිරීමෙන් රටේ ජනතාවගේ මුදල් කොල්ලකෑමත්, සොරා ගැනීමත් සිදු වෙනවා. එසේ උපයන මුදල් සංවර්ධනයට යොමු කිරීම තුළින් රටටත් ජනතාවටත් යහපතක්‌ සිදු වන්නේ නෑ.

කැසිනෝ ව්‍යාපාරය නුසුදුසු ව්‍යාපාරයක්‌. කැසිනෝ පනත ඉවත් කරගන්නා ලෙස අප කියනවා.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.