වන්නි මෙහෙයුමේ වීර ක්‍රියාවලට රණශූර පදක්‌කම්

ගුවන් හමුදාව හැර යුද, නාවික, සිවිල් ආරක්‍ෂක සහ වෙරළාරක්‍ෂක යන හමුදාවෝ ජනමාධ්‍යයෙහි අගය සහ අවශ්‍යතාවය මැනවින් වටහා ගෙන සිටිති.

ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයද ජනමාධ්‍යයට නිසි තැන දෙමින් එහි සේවය නිසි ලෙස ලබා ගනී.

පසුගිය යුද සමයේ ආරක්‍ෂක හමුදා සහ රට වෙනුවෙන් ජනමාධ්‍ය ඉටු කළ ජාතික මෙහෙවර ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාපතිවරු සහ සිවිල් ආරක්‍ෂක, වෙරළාරක්‍ෂක බළකා ප්‍රධානීහු හොඳින් දනිති. හිටපු ගුවන් හමුදාපතිවරුද එම සේවය පිළිගෙන සිටියද, වත්මන් ගුවන් හමුදාපතිවරයා පමණක්‌ මාධ්‍ය විරෝධී ලෙස කටයුතු කරන බව මාධ්‍ය ක්‍ෂේත්‍රයෙහි ප්‍රකට කරුණකි.

ජනමාධ්‍ය යනු හුදෙක්‌ ප්‍රචාරක යාන්ත්‍රණයක්‌ නොව රටෙහි ජාතික ආරක්‍ෂාව පිළිබඳව ජනතාව දැනුවත් කරන ප්‍රබල සහ අත්‍යවශ්‍ය දෙයක්‌ බව මැනැවින් වටහාගෙන කටයුතු කරන ආරක්‍ෂක අංශ ප්‍රධානීන් අතර ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම එසේ ජනමාධ්‍ය සහයෝගය ප්‍රතික්‍ෂේප කරමින් කටයුතු කිරීම කනගාටුදායක තත්ත්වයකි.

එසේ වූවද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක සහ නාවික හමුදාපති වයිස්‌ අද්මිරාල් ජයනාත් කොළඹගේ ජනමාධ්‍යයට ගරු කරමින් සහ එහි සේවය අගයමින් මාධ්‍යවේදීන්ට සිය උපරිම සහයෝගය ලබාදීම සැබැවින්ම අගය කළ යුතුය.

1988 වසරේ සිට එදා මෙදාතුර සිටි සියලුම ත්‍රිවිධ හමුදාපතිවරු සමග වසර 25 ක්‌ තිස්‌සේ කටයුතු කර තිබෙන මෙම ලියුම්කරුට ඔවුන් පිළිබඳව ඇත්තේ මනා අවබෝධයකි. ඒ අනුව මාධ්‍ය විරෝධී හමුදා ප්‍රධානීන් සිටියේ දෙදෙනකු පමණක්‌ බව මෙහි ලා සඳහන් කළ හැකිව ඇත.

ඔවුන් දෙදෙනා හැර සෙසු සියලුම ත්‍රිවිධ හමුදාපතිවරු ජනමාධ්‍යයට ගරු කළ සහ එහි සේවය ලබාගත්, ජනමාධ්‍ය සමග සුහදව කටයුතු කළ වැදගත් හමුදා ප්‍රධානීහු වෙති.

ඔවුන් අතරින්ද ජනමාධ්‍ය සමග ඉතා සුහදව සහයෝගයෙන් කටයුතු කළ ත්‍රිවිධ හමුදාපතිවරු කීප දෙනකු නම් වශයෙන් සඳහන් කිරීමේ හැකියාව අත්දැකීම්වලට අනුව අප සතුව ඇත.

හිටපු යුද හමුදාපතිවරුන් වන ජෙනරාල් හැමිල්ටන් වනසිංහ, ජෙනරාල් රොහාන් දළුවත්ත, ජෙනරාල් ලයනල් බලගල්ල, ජෙනරාල් ශාන්ත කෝට්‌ටගොඩ, ජෙනරාල් සරත් ෙµdන්සේකා, ජෙනරාල් ජගත් ජයසූරිය, හිටපු නාවික හමුදාපතිවරුන් වන අද්මිරාල් ක්‌ලැන්සි ප්‍රනාන්දු, අද්මිරාල් සිසිල් තිසේරා, අද්මිරාල් දයා සඳගිරි, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, හිටපු ගුවන් හමුදාපතිවරුන් වන එයාර් චීµa මාර්ෂල් ඔලිවර් රණසිංහ, එයාර් චීµa මාර්ෂල් ජයලත් වීරක්‌කොඩි, එයාර් චීµa මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා, එයාර් චීµa මාර්ෂල් රොෂාන් ගුණතිලක එම නිලධාරීහු වෙති.

ආරක්‍ෂක හමුදා සහ ජනමාධ්‍ය පිළිබඳව අප ඉහත කෙටි සටහන තැබුවේ පසුගිය දිනක මාධ්‍ය ආවරණ රාජකාරියට බාධා කරමින් ආරක්‍ෂක අංශ වෙතින් මාධ්‍යවේදියකුට සිදු වු එක්‌තරා ආවාසනාවන්ත සිදුවීමක්‌ නිසාය. එසේම එක්‌තරා හමුදා රෙජිමේන්තුවක උත්සවයකදී මාධ්‍යවේදීන් නොසලකා හැරීමක්‌ද සිදුවිය. එවන් අයහපත් වාතාවරණයක්‌ ඉදිරියේදී තව දුරටත් ඇතිවීම වැළැක්‌වීම සඳහා පමණක්‌ මෙම සටහන තැබූ බව අවධාරණය කළ යුතුව ඇත.

කොටි ත්‍රස්‌තවාදයෙන් මව්බිම බේරා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවෝ ගොඩබිමෙන්, ගුවනින් සහ මුහුදින් සටන් වැද සිටියදී මෙරට ජාතික ආරක්‍ෂාව උදෙසා සුවිශේෂී මෙහෙවරක්‌ ඉටු කළ පිරිසක්‌ ගිනි අවි අත දරා තම ගම්බිම් රැක ගැනීමේ නිරතව සිටියහ.

පොලිස්‌ දෙපාර්තමේන්තුව යටතේ අසංවිධානාත්මක අයුරින් සිටි ඔවුන් එකල හැඳින් වූයේ ග්‍රාමාරක්‍ෂකයින් හෙවත් "ගම්බට්‌ටන්" යන නමිනි. එසේ උපහාසයෙන් යුතුව හැඳින්වීමට තරම් සමාජය පෙළඹ සිටියේ ඔවුන් ඉටු කළ මෙහෙවර අවතක්‌සේරු කිරීමට නොව ග්‍රාමාරක්‍ෂක සේවයේ පැවැති අවිධිමත් කම නිසා ඔවුන්ට නිසි පිළිගැනීමක්‌, ඇගයීමක්‌ ලබාදීමට එකල පැවැති රජයන් ක්‍රියා නොකිරීම නිසා බව පැහැදිලිය.

එහෙත් වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බලයට පැමිණි පසු 2006 වසරේදී එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්‌ විය. ග්‍රාමාරක්‍ෂක සේවය සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව බවට පත් කර ඊට අධ්‍යක්‍ෂ ජනරාල්වරයකුගේ නිසි නායකත්වය ලබාදී සිවිල් ආරක්‍ෂක සෙබළාට සහ සෙබළියට ගෞරවනීය අභිමානවත් පිළිගැනීමක්‌ හිමි කර දීමට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කටයුතු කළේය.

එහි ප්‍රතිඵලයක්‌ ලෙස හිටපු නාවික හමුදා මාණ්‌ඩලික ප්‍රධානියකු වන රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාට සිවිල් ආරක්‍ෂක බළකාය නගා සිටුවාලීමේ වගකීම හා නායකත්වය හිමි විය. වීරසේකර මහතා එම කාර්යභාරය සාර්ථක ලෙස ඉටු කරන ලදී. පසුව ඔහු දේශපාලනයට පිවිසීම නිසා සිවිල් ආරක්‍ෂක බළකායේ නායකත්වය තවත් හිටපු ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරියකු වන රියර් අද්මිරාල් ආනන්ද පීරිස්‌ට හිමිවිය. අද ඔහු සිවිල් ආරක්‍ෂක බළකාය දිනෙන් දින සාර්ථකත්වය කරා යොමු කරවීමේ නිරතව සිටී. ඔහුගේ එම කටයුතුවලට සහාය පිණිස අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරාල් මොහාන් සුමනසේන සමග තවත් විශාල හමුදා නිලධාරීන් පිරිසක්‌ සිටිති. ඔවුන් අතුරින් බහුතරයක්‌ යුද හමුදා නිලධාරීහු වෙති. නාවික හා පොලිස්‌ නිලධාරීන්ද එහි විවිධ තනතුරු හොබවති.

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සේවා වනිතා ඒකකය සිවිල් ආරක්‍ෂක සෙබළ සෙබළියන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය නගා සිටුවාලීම සඳහා ඉටු කරන සුබසාධන මෙහෙවර අති මහත්ය. එහි එක්‌ පියවරක්‌ පසුගියදා සාර්ථක ලෙස ක්‍රියාත්මක විය.

ඒ අනුව ජාතික අධ්‍යාපනය නංවාලීමේ වැඩපිළිවෙළට උර දෙමින්, අනාගතයේ දී රට භාර ගැනීමට සිටින අපේම දුවා දරුවන් හට එකී අභියෝග ජය ගන්නට දිරියක්‌ වීමේ අරමුණින්, සිවිල් ආරක්‍ෂක බළකායේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි කුමුදුනී පීරිස්‌ මහත්මියගේ සංකල්පයකට අනුව බළකායේ සියලුම සාමාජික සාමාජිකාවන්ගේ ආදරණීය දුවා දරුවන් හට නොමිලේ පාසල් අභ්‍යාස පොත් බෙදාදීම සහ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සාර්ථක ලෙස ක්‍රියාවට නංවමින් ඇත.

රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මාර්ගෝපදේශකත්වය මත සේවා වනිතා ඒකකයේ සභාපතිනි කුමුදුනී පිරිස්‌ මහත්මියගේ මෙහෙයවීමෙන් සේවා වනිතා ඒකකය මගින් සමාජ මෙහෙවරයන් රැසක්‌ ඉටු කරනු ලබයි. සිවිල් ආරක්‍ෂක සාමාජික සාමාජිකාවන් සඳහා නිවාස 128 ක්‌ සාදා දී ඇති අතර දෙසැම්බර් මස 26 වන දින සාමාජික සාමාජිකාවන් 250 දෙනකු සඳහා නිවාස 250 ක යතුරු ප්‍රදානය කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත. රෝද පුටු ප්‍රදානය, වෛද්‍යාධාර ලබාදීම, අඩක්‌ ඉදිවූ නිවාස සඳහා මුදල් පරිත්‍යාග කිරීම ආදී සමාජ සත්කාරයන් අතිවිශාල ප්‍රමාණයක්‌ සිදු කර ඇත. මිට අමතරව සිවිල් ආරක්‍ෂක බළකා සාමාජික සාමාජිකාවන්ගේ ගුණ ධර්ම වර්ධනය කිරීම උදෙසා වර්ෂ තුනක්‌ පමණ අඛණ්‌ඩව ධර්ම දේශනා පවත්වා ඇත.

මෙවන් වූ කර්තව්‍යයන් රැසක්‌ ඉටු කරන සේවා වනිතා ඒකකය හතර වන වරටත් නොමිලේ අභ්‍යාස පොත්, ශිෂ්‍යත්ව සහ පරිගණක යන්ත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනි අයෝමා රාජපක්‍ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් මස 10 දින පෙරවරු 10.00 ට බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේදී අති උත්කර්ශවත් අයුරින් පැවැත්විය.

සිවිල් ආරක්‍ෂක බළකායේ අධ්‍යක්‍ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස්‌ මහතාගේ උපදෙස්‌ පරිදි, සිවිල් ආරක්‍ෂක බළකා සේවා වනිතා ඒකකයේ සුබ සාධක අරමුදලින් බළකායේ සෙබළ සෙබළියන්ගේ පාසල් දරුවන් සඳහා මෙම වර්ෂයේද රුපියල් ලක්‍ෂ 96 ක වටිනාකමකින් යුත් අභ්‍යාස පොත් ළමුන් 28,236 ක්‌ සඳහා අද දින ලබාදෙන ලදී.

2013 වර්ෂයේ 05 වසර ශිෂ්‍යත්වය සමත් දරුවන් 98 දෙනකු සඳහා රුපියල් පහළොස්‌ දහස (15,000.00) බැගින්ද, සාමාන්‍ය පෙළ විශිෂ්ට ලෙස සමත් දරුවන් 38 දෙනකු සඳහා රුපියල් පනස්‌ දහස (50,000.00) බැගින් ද ශිෂ්‍යත්ව ලබාදුන් අතර උසස්‌ පෙළ විශිෂ්ට ලෙස සමත් වූ දරුවන් 37 දෙනකු සඳහා ලැප්ටොප් පරිගණක යන්ත්‍ර 37 ක්‌ ලබාදෙන ලදී.

මේ අතර යුද හමුදාවේ රණවිරුවන් පසුගිය නැගෙනහිර හා වන්නි මානුෂික මෙහෙයුම්වලදී ඉටු කළ මෙහෙවරේදී සටන් බිමේදී දැක්‌ වූ වීර ක්‍රියා අගයමින් රණශූර පදක්‌කම පිරිනැමීම මෙම දිනවල සියලුම හමුදා රෙජිමේන්තු විසින් කරගෙන යයි.

රෙජිමේන්තු මට්‌ටමින් මෙම පදක්‌කම් පිරිනැමීම සිදු කරන අතර මෙය මව්බිමට සාමය සහ නිදහස උදාකර දීම උදෙසා සතුරු අභිමුව දක්‍ෂ ලෙස සටන් කරමින් සිදු කළ වීර වික්‍රමාන්විතයක්‌ අගයමින් පුද කරනු ලබන උත්තම උපහාරයකි.

දශක තුනක යුද්ධයේදී කොටි ත්‍රස්‌තවාදීන්ට එරෙහිව සිදු කළ මෙහෙයුම්වලදී ප්‍රමුඛ කාර්යභාරයක්‌ ඉටු කළ යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුව සිය විරුවන්ට රණශූර පදක්‌කම් පිරිනැමීම පසුගියදා අභිමානවත් අයුරින් සිදු කරන ලදී. කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වාගේ ප්‍රධානත්වයෙන් එය සිදු විය.

මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා යුද විජයග්‍රහණය උදෙසා සිය එඩිතර නායකත්වය දුන් දක්‍ෂ නිලධාරියෙකි. නැගෙනහිර මුදාගත් මානුෂීය මෙහෙයුමේ ආරම්භක ජයග්‍රහණය වූ සාම්පූර් ප්‍රදේශය මුදා ගැනීමේ සටනට නායකත්වය දෙමින් ඇරඹී ඔහුගේ ජයග්‍රාහී ගමන අවසන් වූයේ 55 වැනි සේනාංකාධිපති ලෙස වන්නි මානුෂීය මෙහෙයුමේ අවසන් යුද විජයග්‍රහණය තෙක්‌ සිය සේනාංකය මෙහෙයවමිනි.

පාබල රෙජිමේන්තු නිලධාරියකු ලෙස හමුදා දිවිය අරඹා පසුව විශේෂ බළකායට (Sචැජස්‌ක Fදරජැ) එක්‌ වූ මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා වත්මනෙහි යුද හමුදා පුහුණු අණසක ආඥාපති ලෙස කටයුතු කරයි. කමාන්ඩෝ රෙජිමේන්තු ආඥාපති වශයෙන්ද ඔහු කටයුතු කරයි.

ඔහුගේ අධිපතිත්වයෙන් යුතු කමාන්ඩෝ රෙජිමේන්තුව පිළිබඳ ඉතිහාසය සැකවින් මෙසේය.

රටේ පැවති අර්බුදකාරී ත්‍රස්‌තවාදය මැඩපැවැත්වීම පිණිස විශේෂ හමුදා ඒකකයක අවශ්‍යතාව 1977 වසර වන විට ඉස්‌මතු විය. එවකට යුද්ධ හමුදාපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ සම්මන්ත්‍රණයකදී එළඹගත් තීරණයකට අනුව එම වසර අවසානයේදී නිලධාරීන් තිදෙනෙකු සහ සෙසු නිලයන් තිදෙනකුගෙන් සමන්විත උපදේශක මඩුල්ලක මූලිකත්වයෙන් විශේෂ කමාන්ඩෝ පාඨමාලාවක්‌ ආරම්භ කිරීමට සැලසුම් කරන ලදී.

අ. 1978 පෙබරවාරි මාසයේ ප්‍රථම කමාන්ඩෝ පාඨමාලාව දියතලාව ඇල්ල කඳවුරේ නිලධාරීන් 06 ක්‌ සහ සෙසු නිලයන් 24 දෙනෙකුගෙන් ආරම්භ වූ අතර, එංගලන්ත විශේෂ හමුදා උපදේශක කණ්‌ඩායමක්‌ විසින් පුහුණුවීම් කටයුතු සිදු කරන ලදී.

ආ. කමාන්ඩෝ බළඝණයේ ප්‍රථම නිලධාරි අණදෙන වශයෙන් මේජර් එස්‌ඩී පීරිස්‌ පත්වන ලදී.

ඇ. 1980 මාර්තු මස 15 වන දින 1 වන කමාන්ඩෝ රෙජිමේන්තුව බිහි වූ අතර එහි ප්‍රථම අණදෙන නිලධාරි වශයෙන් ලුතිනන් කර්නල් එස්‌ඩී පිරිස්‌ රාජකාරි කරන ලදී.

1978 පෙබරවාරි 09 වැනි දින දියතලාව ඇල්ල යුද හමුදා කඳවුරේදී ආරම්භ වූ ප්‍රථම කමාන්ඩෝ පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සන්නද්ධ, කාලතුවක්‌කු, ඉන්ජිනේරු, පාබල, ගැමුණු සහ සිංහ යන ඒකක වලින් තෝරාගන්නා ලද නිලධාරීන් 06 දෙනකු සහ සෙසු නිලයන් 24 දෙනකු සහභාගි වූහ. පළමු වන පාඨමාලාවෙන් සුදුසුකම් ලැබූ නිලධාරීන් සහ සෙසු නිලයන්ගෙන් සමන්විත උපදේශක මණ්‌ඩලයක්‌ මගින් හමුදාවේ විවිධ ඒකක වලින් සිය කැමැත්තෙන් ඉදිරිපත් වූ සෙසු නිලයන් සඳහා දෙවන පුහුණු පාඨමාලාවක්‌ද පැවැත් වූ අතර, අවසානයේදී සාර්ථකව පුහුණුව ලද සෙබළ පිරිස සිය මව් ඒකකය වෙත විසිර ගියහ.

මේ වන විට රෙජිමේන්තු මධ්‍යස්‌ථානය, කමාන්ඩෝ බලසේනාව ඒකක හතරකින් හා පුහුණු පාසල් දෙකක්‌ද, රෙජිමේන්තු මූලස්‌ථාන බලඇණියක්‌ වශයෙන් පිහිටුවා ඇත. වසර 30 කට ආසන්න කාලයක්‌ මුළුල්ලේ පැවැති කුරිරු ත්‍රස්‌තවාදය ශ්‍රී ලංකාද්වීපයෙන් තුරන් කිරීම සඳහා නොහැක්‌කක්‌ නොමැත යන ශීර්ෂපාඨය සත්‍යයක්‌ බවට පත්කරමින් ම්ලෙච්ඡ ත්‍රස්‌තවාදය සහමුලින් අතුගා දැමීමට යුද හමුදාවේ හා සමස්‌ත ත්‍රිවිධ හමුදාවේත් ශ්‍රී ලංකා ජනතාවගේ ගෞරවාදරයට පාත්‍රවීම වෙනුවෙන් රෙජිමේන්තු අධිපතිවරුන් 09 දෙනකු කමාන්ඩෝ රෙජිමේන්තුවට නායකත්වය ලබාදී ඇත. වත්මන් රෙජිමේන්තු අධිපති වශයෙන් මේජර් ජෙනරාල් පී. පී. ද සිල්වා ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්‌පී පීඑස්‌සී කටයුතු කරනු ලබන අතර, මධ්‍යස්‌ථාන සේනාවිධායක වශයෙන් බ්‍රිගේඩියර් බීපීඑස්‌ ද සිල්වා ආර්එස්‌පී ද කමාන්ඩෝ බළසේනාධිපති ධුරයේ රාජකාරී ඉටු කරනු ලබන්නේ බ්‍රිගේඩියර් එච්එච්ඒඑස්‌පීකේ සේනාරත්න ආර්එස්‌පී පීඑස්‌සී යන ෙඡ්‍යෂ්ඨ නිලධාරීන්ය.

සිරිමෙවන් කස්‌තුරිආරච්චි
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.