මැලේසියාවේත් ඊළාම් දේශයක්‌

* යාපනයේ වුමන්ස්‌ ඩෙවලප්මන්ට්‌ සෙන්ටර් නමැති රාජ්‍ය නොවන සංවිධානය ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක්‌ ගෙනඑන්නැයි ඇමරිකානු නියෝජිතයන්ගෙන් ඉල්ලයි

* ශ්‍රී ලංකාව ද්‍රවිඩ රාජ්‍යයක්‌ බවට සනාථ කිරීමේ මෙහෙයුම
ස්‌වීඩන් මහාචර්ය පීටර් ශෝල්ක්‌ගේ

* ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරු මහාවංශය ද
සංශෝධනය කිරීමට උත්සාහ කරති

* ස්‌විස්‌ ද්‍රවිඩයන් ශ්‍රී ලංකාවට එවන්න එපා යෑයි උතුරු පළාත්
සභා මන්ත්‍රී තුරෙයිරාසා ස්‌විස්‌ තානාපති නිලධාරීන්ට කියා සිටී

* කොටි ආනන්දි නෝර්වීජියානු නිලධාරීන් හමුවෙයි

* ද්‍රවිඩ සන්ධානය තහනම් කරන්න
- නියෝජ්‍ය ඇමැති සරත් වීරසේකර ඉල්ලයි!

නෝවීජියානු නිලධාරීන් සමග රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වන ආනන්දි, ඇය සමීපයේ සිටින්නේ ත්‍රිකුණාමලයේ සිට නෝර්වේ වෙත පැන ගිය නීතිවේදී සිවපාලන්ය
ස්‌විස්‌ටර්ලන්තයේ සිටින ශ්‍රී ලාංකික ද්‍රවිඩයන් මෙරටට එවීමෙන් වළකින්නැයි උතුරු පළාත් සභා මන්ත්‍රී තුරෙයිරාසා ස්‌විස්‌ නිලධාරීන්ට පවසන අයුරු

"ඔවුන් කිසි දිනෙක වෙනස්‌ වන්නේ නැත. එදත් අදත් ඔවුන් නොවෙනස්‌ව ක්‍රියාත්මක වේ" - ප්‍රංශ ගත්කරු අල්පොන්සෝ කාර්

ඇමරිකානු සෙනෙට්‌ විදේශ සබඳතා කමිටුවේ නියෝජිත ඩේමියන් මර්පි - යූ.එස්‌. ඒඩ් සංවිධානයේ අධ්‍යක්‍ෂ ටි්‍රවර් හුබ්ලින් සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජිත මාරියා ප්‍රාජෝ පසුගියදා මෙරටට සම්ප්‍රාප්ත විය. ඔවුහු මෙරට රාජ්‍ය නිලධාරීන් මෙන්ම ඩොලර් අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් ද හමුවී සාකච්ඡා කළහ. කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් සමග එකී ඇමරිකානු කණ්‌ඩායම ගල්කිස්‌සේ ටේම්ප්ලර් පිහිටි හෙරිටේ- හෝටලයේදී එන්.ජී.ඕ. නියෝජිතයන් සමග රහස්‌ සාකච්ඡාවක්‌ ද සිදු කළහ. අනතුරුව ඇමරිකානු කණ්‌ඩායම යාපනයට ගියහ. යාපනයේදී ඔවුන් උදයන් පත්‍ර කාර්යාලයට ගොස්‌ හානියට පත් මුද්‍රණ යන්ත්‍ර ද නිරීක්‍ෂණයට ලක්‌ කළහ. මේ ද්‍රවිඩ පුවත්පත් ආයතනයේ හිමිකරු සරවනපවන් නමැත්තා ඇමරිකානු නියෝජිත කණ්‌ඩායමට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කරමින් උදයන් පුවත්පතට කීප වතාවක්‌ම ප්‍රහාර එල්ල වුවත් පොලිසිය කිසිදු පියවරක්‌ ගත්තේ නැතැයි කියා සිටියේය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ හිස ගෙනත් දුන් අයකුට රුපියල් මිලියන 10 ක්‌ දෙන බවට තමිල්නාඩු නීතිවේදියකු කළ ප්‍රකාශය පළ කළේ ද එකී උදයන් පුවත්පතයි.

උතුරේ දී ඇමරිකානු නියෝජිතයන් සරෝජා සිවචන්ද්‍රන් මෙහෙය වන වුමන්ස්‌ ඩෙවලප්මන්ට්‌ සෙන්ටර් නමැති රාජ්‍ය නොවන සංවිධානයේ නියෝජිතවරියන් හමුවිය. (WCD) ඔවුහු එහිදී සිය ෙද්‍රdaහී ක්‍රියාදාමය දියත් කළහ.

ඉඩම් අත්පත් කර ගන්නවා. ආගමික ස්‌ථානවලට ප්‍රහාර එල්ල කරනවා. ආරක්‍ෂක හමුදාව ම්ලේච්ඡ ක්‍රියා සිදු කරනවා. ඒ වගේම උතුරේ යටත් විජිතවාදය දියත් කරනවා යෑයි විදේශ අරමුදල් ලබන මේ ද්‍රවිඩ කාන්තාවන් පිරිස්‌ කියා සිටියහ.

ඔවුන් ඉන් පසු ඇමරිකානු නියෝජිත කණ්‌ඩායමට පැවසුවේ ලබන මාර්තු මස ජිනීවා මානව හිමිකම් සමුළුවට පෙර ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව නව යෝජනාවක්‌ ගෙන ආයුතු බවයි.

එසේම සිවචන්ද්‍රන් නමැත්තිය තවදුරටත් පවසා ඇත්තේ මානව හිමිකම් උල්ලංඝනයවීම් ගැන ඇමරිකාව නගන හඬ ප්‍රමාණවත් නැති බවයි.

ඊළඟට ඇමරිකානු නියෝජිත කණ්‌ඩායම හමුවේ කොටි ඝාතකයකු වූ එලිලන්ගේ බිරිය ආනන්දි සසිතරන්ය. ත්‍රිකුණාමලයේ කොටි දේශපාලන නායකයා වූ එලිලන් මිනී මැරුම් රැසකට සම්බන්ධය. රජයේ සේවිකාවක්‌ ලෙස එදා ක්‍රියා කළ ආනන්දි සිය ත්‍රස්‌තවාදී සැමියා සිටින ස්‌ථානය වසන් කළාය. එසේම ඇය කොටි කාන්තාවකි.

තම සැමියාව හමුදාව විසින් පැහැර ගෙන ගොස්‌ ඇතැයි ආනන්දි ඇමරිකානු නියෝජිතවරුන්ට කියා සිටියාය. මේ කොටි කාන්තාව පසුගියදා ජර්මනියේ සංචාරයක ද යෙදුණාය. ඇය ජර්මනියේ පැවැති ඇන්ටන් බාලසිංහම් නමැති කොටි න්‍යයාචාර්යවරයා සැමරීමට ද සහභාගි වී ජර්මානු කොටි නියෝජිතයන් සමග ද සාකච්ඡා පවත්වනු ලැබීය.

අනතුරුව ඔවුහු ත්‍රිකුණාමලයට ගොස්‌ ද්‍රවිඩ සන්ධාන නායක සම්බන්ධන් හමුවී ඇමරිකාව විසින් 2012 සහ 2013 වසරවල ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත යොමු කළ යෝජනා ගැන සහ එල්ලවී ඇති යුද අපරාධ චෝදනා ගැන ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව විමසා ඇත.

ඊට ප්‍රතිචාර ලෙස සම්බන්ධන් පැවසුවේ තත්ත්වය නරක අතට හැරී ඇති බවත්, රජය නිසි ප්‍රතිචාර දක්‌වා නැති බවයි. මෙලෙස ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක්‌ වූ මාරියා ප්‍රාජෝ ඇමරිකානු කණ්‌ඩායම සමග මෙරටට පැමිණියේ ලබන මාර්තු මස ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් වන ශ්‍රී ලංකාවට එරෙහි බ්‍රිතාන්‍ය යෝජනාවට අදාළ වාර්තාවක්‌ සකස්‌ කරලීමට යෑයි සනාථ විය. මේ අතර උතුරු පළාත් සභාවේ ඊළාම් ව්‍යාපෘතිය ක්‍රම ක්‍රමයෙන් දියත් වී ඇත. උතුරේ ආණ්‌ඩුකාර මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි ඉවත් කරන ලෙස පළාත් සභාව විසින් යෝජනාවක්‌ සම්මත කරගැනීමෙන් පසු උතුරු ප්‍රදේශය සඳහා පත් කළ නියෝජ්‍ය පොලිස්‌පති සුජිත් ජයසුන්දරට ද ද්‍රවිඩ සන්ධානය එරෙහි විය.

එසේම උතුරු පළාත් සභාවේ ලේකම් ඉවත් කරන ලෙස ද මහ ඇමැති විග්නේශ්වරන් රජයෙන් ඉල්ලා ඇත.

උතුරු පළාත් සභාවේ මහ ඇමැතිවරයා ප්‍රවාහන හා නිවාස යනුවෙන් දෙපාර්තමේන්තු දෙකක්‌ ආරම්භ කිරීමට දැරූ උත්සාහය ආණ්‌ඩුකාර චන්ද්‍රසිරි විසින් නතර කරනු ලැබීය.

මේ නිසා කෝපයට පත් ද්‍රවිඩ සන්ධානය පාර්ලිමේන්තුව හමුවේ ආණ්‌ඩුකාරවරයාට දැඩි ලෙස චෝදනාවක්‌ එල්ල කරමින් ඔහු ව්‍යවස්‌ථා කටයුතු ගැන දන්නේ නැති බවත් නීති විරෝධී ඝාතන ගැන විශේෂඥ දැනුමක්‌ ඇතැයි කියා සිටියේය.

එහෙත් ප්‍රභාකරන් නමැති ඝාතකයාගේ එකම නියෝජිතයා ලෙස පාර්ලිමේන්තුවේ පෙනී සිටියේ ද්‍රවිඩ සන්ධානය නොවේද? එසේ නම් ද්‍රවිඩ සන්ධානය කොටි මිනී මරුවන්ගේ ආධාරකරුවන් නොවේද?

ජාතික ආරක්‍ෂාව සම්බන්ධව මැදිහත්වීමට උතුරු පළාත් සභාවට කිසිදු හිමිකමක්‌ නැතිවුවත් උතුරු පළාත් සභාවේ ඊළාම් සිතියම ආරම්භ වී ඇති බව සනාථ වේ.

මේ පසුබිම මැද උතුරු නැගෙනහිර මහ ඇමැති ලෙස කලක්‌ කටයුතු කළ වර්ධරාජා පෙරුමාල්ගේ හා හිටපු නැගෙනහිර මහ ඇමැති ලෙස ක්‍රියා කළ පිල්ලෙයාන්ගේ උපදේශක ආචාර්ය කේ. විග්නේශ්වරන් පැවසුවේ රාජ්‍ය සේවකයන් ආණ්‌ඩුකාරයා යටතේ ක්‍රියාත්මක බවත් උතුරු මහ ඇමැති හා ද්‍රවිඩ සන්ධානය කොටි හිතවාදී ද්‍රවිඩ ඩයස්‌පෝරාවේ උපදෙස්‌ මත ක්‍රියාත්මක වන බවයි.

මේ අතර ශ්‍රී ලංකාව ද්‍රවිඩයන්ට වධහිංසා කරන බවත් මානුෂීය නීතිය උල්ලංඝනය කළවුන්ට දඬුවම් කර නැති බවත් ඇමරිකානු කොන්ග්‍රස්‌ සභික ඩැනි ඩේවිස්‌ ප්‍රකාශ කර ඇත.

පසුගිය බ්‍රහස්‌පතින්දා ඇමරිකානු මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකාවට එරෙහිව මේ ප්‍රකාශය කළ ඩැනි ඩේවිස්‌ 2005 මාර්තු 30 සිට අප්‍රේල් 5 දක්‌වා වන්නියේ සංචාරයේ යෙදුනි. ඔහුට ඇමරිකාවේ ටැමිල් පෙඩරේෂන් නමැති කොටි හිතවාදී සංවිධානය ගමන් වියදම් ලෙස ඩොලර් 7000 ක්‌ ලබාදී තිබිණි. ඔහු සමග ඩැනියෙල් කැන්ට්‍රෙල් නමැත්තා ද වන්නියේ සංචාරයේ යෙදී ඇත.

ඩේවිස්‌ සහ ඇමරිකාවේ කොටි ක්‍රියාකාරියකු වූ මුරුගේසු විනයාගමුර්ති අතර සාකච්ඡාවක්‌ පවා පවත්වා තිබිණි. ඒ බව ඩැනි ඩේවිස්‌ පසුව පිළිගත්තේය. මෙවන් පසුබිමක්‌ මැද ත්‍රිකුණාමලයේ හිටපු කොටි මිනීමරුවා වූ එලිලන්ගේ බිරිය ආනන්දි සසිකරන් නෝර්වේහි ඔස්‌ලෝ අගනුවරට ගොස්‌ එරට විදේශ කටයුතු අමාත්‍යාංශ බලධාරීන් හා දේශපාලකයන් කීප දෙනෙක්‌ හමුවී රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වා ඇත. එහෙත් නෝර්වේහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිදා සිටින බව සනාථ වී ඇත.

ආනන්දි ඔස්‌ලෝ නුවරදී විදේශ කටයුතු නිලධාරියකු ලැමියෝ ජොහැන්නෙස්‌සන්, ප්‍රොaංග්‍රස්‌ පක්‍ෂයේ ක්‍රිස්‌ටියන් කොර්නෙයිව් සහ කොන්සර්වටිව් පක්‍ෂයේ හෙල්ඡේ ධර්මන් සහ ආරක්‍ෂක ස්‌ථාවර කමිටුවේ නියෝජිතයකු ද හමුවී තිබේ.

මේ හිටපු කොටි කාන්තාව නෝවීජියන් නිලධාරීන් හමුවට ගෙන ගියේ නෝවීජියානු ඊළාම් කමිටුවේ ක්‍රියාකාරියකු වූ ස්‌ටීවන් පුෂ්පරාජා සහ ඔස්‌ලෝ නාගරික මන්ත්‍රීවරයකු වන කන්නන් නාගේන්ද්‍රන් සහ ත්‍රිකුණාමලයේ සිට නෝර්වේ වෙත පැනගිය නීතිවේදී සිවපාලන්ය.

ශ්‍රී ලංකා හමුදාව මානව හිමිකම් උල්ලංඝනය කරන බව පවසමින් කොටි පාලනය යටතේ විටින්විට හඬ නැගුවේ ද මේ සිවපාලන්ය.

එසේනම් ආනන්දි සසිහරන් නෝවීජියානු කොටි ජාලය සමග සබඳකම් පවත්වන බවට තවත් සාක්‍ෂි අවශ්‍ය ද? ඇය එහිදී නෝර්වේ බලධාරීන්ගේ අවධානයට ලක්‌ කර ඇත්තේ අත්අඩංගුවේ පසුවූ කොටි ත්‍රස්‌තයන් ගැනය.

එදා තමිල් සෙල්වම් ඇතුළු කොටි ත්‍රස්‌තයන් කටුනායක ගුවන්තොටුපළින් බටහිර රටවලට ගොස්‌ නැගූ කොටි හඬ ආනන්දි සසිකරන් ද උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරියක්‌ ලෙස දියත් කරයි.

මේ අතර විපක්‍ෂයේ දේශපාලකයකු වූ ලක්‍ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශයක්‌ කරමින් චැනල් 4 රූපවාහිනියට වීඩියෝ දර්ශන සපයා ඇත්තේ රජයේ මාධ්‍ය බවත් ඊට ජාතික රූපවාහිනියේ මාධ්‍යවේදියකු සම්බන්ධ බවටත් චෝදනා නගා ඇත. එහෙත් වන්නි මෙහෙයුම සටතේ හිටපු හමුදාපතිගේ බලය පෙන්වමින් වන්නියට ගොස්‌ සැරිසැරූ පස්‌ දෙනකුගෙන් යුත් මාධ්‍ය කණ්‌ඩායම ගැන හඬක්‌ නැගී නැත. සුදු කොටි කතාවට සම්බන්ධ බොම්බඩියර් කල්ලිය එකී මාධ්‍ය කණ්‌ඩායමයි. මොවුන් සී.ඩී.එම්. දුරකථන හා කැමරා උපාංග ද වන්නියට ගෙන ගියහ. මේ කණ්‌ඩායම වන්නියේ සිටි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ට තැකීමක්‌ කළේ නැත. 58 වැනි සේනාංකය භාරව සිටි මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මේ බොම්බඩියර් කල්ලියේ වන්නි නාටකය හොඳින් දනී. එම කල්ලියේ නායකයා දැන් සිටින්නේ ස්‌විට්‌සර්ලන්තයේයි.

මේ තත්ත්වය මැද මඩකලපුව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී පී. ආරියනේත්‍රන් මෙරට ඉතිහාසය කණපිට හැරවීමට උත්සාහ කර ඇත.

එහෙත් ශ්‍රී ලංකාව ද්‍රවිඩ රාජ්‍යයක්‌ බවට ප්‍රචාරය කිරීමේ මෙහෙයුම පසුබිමේ සිටින්නේ ස්‌වීඩනයේ අප්සලා විශ්වවිද්‍යාලයේ ඊළාම්වාදී මහාචාර්ය පීටර් ශෝල්ක්‌ය.

පසුගියදා ශෝල්ක්‌ගේ මෙහෙයවීමෙන් ලන්ඩන් නුවර පැවැති ද්‍රවිඩ සමුළුව මෙරට ඉතිහාසය වෙනස්‌ කිරීමේ පෙරහුරුවකි. මේ අතර ටියුනීසියාව, ඊජිප්තුව සහ රටවල ඇතිවූ අරාබි වසන්තයට සමානව උතුරේ ජනතාව මහමගට බැස්‌සීමේ ද්‍රවිඩ වසන්තය නමැති රහස්‌ වැඩපිළිවෙළ ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

එම වැඩපිළිවෙළේ ප්‍රධාන අංගයක්‌ වන්නේ බ්‍රිතාන්‍යය, ඇමරිකාව සහ කැනඩාව යන රටවල බලපෑමෙන් ශ්‍රී ලංකාවේ උතුරේ අහස්‌ ප්‍රදේශය ශ්‍රී ලංකා ගුවන් හමුදා යානාවලට පියාසර කළ නොහැක තහනම් කලාපයක්‌ බවට ප්‍රකාශ කර ගැනීමයි. (No Fly Zone)

කොටි විසින් සැඟවූ අවි ආයුධ රැසක්‌ තවදුරටත් උතුරේ ඇති අතර ඒවා මෙතෙක්‌ හමුවී නැත. මේ පසුබිම මැද උතුරු මහ ඇමැති විග්නේශ්වරන් උතුරේ ඇති කිරීමට උත්සාහ කරන්නේ කොටින්ගේ අන්තර්වාර පාලන ක්‍රමවේදයයි.

උතුරු පළාත් සභාවේ අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරමින් විග්නේශ්වරන් උතුර වෙනස්‌ පාලනයකට පරිවර්තනය කළ යුතු බව පවසා තිබීම ඊට සාධකයකි.   මේ අතර මෙරට කතෝලික සභාව ද ජාතික ආරක්‍ෂාවට මැදිහත්වී ඇත. උතුරු නැගෙනහිරට සිවිල් ආණ්‌ඩුකාරවරු පත් කළ යුතු බවත් හමුදා කටයුතු අඩු කළ යුතු බවත් කතෝලික සභාව නිවේදනය කර තිබේ.

එහෙත් රජය කතෝලික සභාවේ ඉල්ලීම්වලට සවන් දිය යුතුද? ප්‍රභාකරන්ගේ උපන් දිනය සැමරීමේ මුවාවෙන් මැලේසියාවේ කේඩා ප්‍රාන්තයේ ජනතාව ත්‍රස්‌තවාදයට යොමු කිරීමේ රහස්‌ සැලසුමක්‌ පිළිබඳව රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියකු අත්අඩංගුවට ගත් මැලේසියානු පොලිසිය තවත් කොටි හිතවාදීහු හයකට පොලිසියට භාර වන ලෙස නියෝග කිරීමේ සිද්ධියක්‌ ද මේ සතියේ වාර්තා විය.

මේ සිද්ධිය ගැන මැලේසියානු පොලිස්‌පති ටැන් ශ්‍රී කාලිද් අබු බකර් බෙහෙවින් කෝපයට පත් විය. මේ ත්‍රස්‌තවාදියා (ප්‍රභාකරන්) අපට ඇති සම්බන්ධතා මොකක්‌ද? ත්‍රස්‌තවාදය සැමරීමට ජනතාවට ඇරයුම් කළේ මන්ද යෑයි මැලේසියානු පොලිස්‌පතිවරයා කියා සිටියේය. කොටි ත්‍රස්‌තවාදය මැලේසියාවේ නගාසිටුවීමට ඉඩ නොදෙන බව හෙතෙම තවදුරටත් සඳහන් කර ඇත.

මෙම පසුබිම මැද උතුරු පළාත් සභා මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් පසුගියදා මුලතිව්හිදී ස්‌විස්‌ තානාපති නිලධාරීන් හමුවී ස්‌විට්‌සර්ලන්තයේ සිටින ශ්‍රී ලාංකික ද්‍රවිඩයන් ආපසු එවීමට ක්‍රියා නොකරන ලෙසත් හමුදාව උතුරේ ඉඩම් අල්ලා ගන්නා බවටත් පැමිණිලි කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය




 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.