2014 ජිනීවා දඩයම ආරම්භ වේ

* කැනඩා සැතිරිය රාධිකා යාපනයට පැමිණියේ තොරතුරු සෙවීමට ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්‌වාල් මෙරටට එන්නේ රජය ඇමරිකානු යෝජනා ඉටු කළේ ද යන විමර්ශනය සඳහායි

* නෝර්වේ සටන් විරාමයට උරදුන් හිටපු රාජ්‍ය නිලධාරීන්
රජයේ මාධ්‍ය යාන්ත්‍රණයට පත් කිරීමේ මෙහෙයුමක්‌

* නවි පිල්ලේ මාර්තු 26 දා ශ්‍රී ලංකා විරෝධී වාර්තාව ඉදිරිපත් කරයි

* කැලම් මැක්‌රේ ශ්‍රීධරන්ගේ සොහොයුරු ශ්‍රී කූගන් අමතයි

* කොටින්ට එරෙහිව රටවල් තුනක ශ්‍රී ලාංකිකයෝ ජිනීවාවල

* විපක්‍ෂ දේශපාලක ලක්‍ෂ්මන් කිරිඇල්ල
නැගෙනහිර ටිමෝරයේ ඉතිහාසය වෙනස්‌ කරයි


රාධිකා නිර්වේලි බැංකු කොල්ලයට සම්බන්ධ එමානුවෙල් පියනම සමග

රාධිකා කැනඩාවේදී නැටුමකට සූදානම් වී

"රට බෙදීම සඳහා ප්‍රසිද්ධ ප්‍රකාශ කරන අයට වසර 3 ක සිරදඬුවමක්‌ සහ රූබල් 300,000 ක දඩයක්‌ ද අන්තර්ජාලය සහ මාධ්‍ය ඔස්‌සේ බෙදුම්වාදය දියත් කරන්නවුන්ට වසර පහක සිරදඬුවමක්‌ පැනවීමේ නව නීතිරීති මැයි 9 සිට ක්‍රියාත්මක කරනවා - රුසියානු ජනාධිපති වැලඩ්මීර් පුටින්

ස්‌විට්‌සර්ලන්තයේ සුරීච් නුවර කොටි ජාලය 2014 නව වසර සැමරුවේ ඊළාම් කොල්ලන්ගේ නැටුම් සංදර්ශනයකිනි.  එහෙත් නව වසර ආරම්භවීමට පැය 72 ක්‌ තිබියදී කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ සිට කටුනායක ගුවන්තොටුපළට ද්‍රවිඩ කාන්තාවන් පැමිණියාය. ඇය තමා කවුද යෑයි ආගමන විගමන නිලධාරීන්ට කීවේ නැත. මෙලෙස කටුනායක ගුවන්තොටුපළට පැමිණියේ ශ්‍රී ලංකාවට වින කිරීමට උත්සාහ කරන සැතිරියක්‌ බව ගුවන්තොටුපළ නිලධාරීන්ට අනාවරණය නොවිණි.

ඇය සංචාරක වීසා බලපත්‍රයක්‌ ලබා ගත්තාය. මේ සැතිරිය වෙනින් කවුරුත් නොව කැනඩා කොටි ඩයස්‌පෝරාවට සම්බන්ධ මන්ත්‍රීවරියකි.

දෙසැම්බර් 28 දා මෙරටට පැමිණි රාධිකා සීතාසබෙයිසන් නමැති ඇය 2011 පාර්ලිමේන්තු මැතිවරණයේදී කොටි ඩයස්‌පෝරාව පදිංචි ස්‌කාබරෝ රෝග් රිවර් ආසනයෙන් පත් වූවාය.

රාධිකා කටුනායක සිට යාපනයට එන විට කොටි හිතවාදීහු යාපනයේ ටිල්කෝ හෝටලයේ අංක 206 කාමරය ඇයට වෙන් කර තිබිණි. මේ සැතිරිය යාපනයට පැමිණියේ මන්ද? ඇගේ සංචාරයේ අරමුණ කුමක්‌ද යෑයි දැන් හෙළිවී ඇත. රාධිකාව යාපනයට ගෙන්වා ඇත්තේ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් යෑයි ආරක්‍ෂක බුද්ධි අංශවලට වාර්තා විය. ඇය පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව කඩාකප්පල් කිරීමට දැඩි උත්සාහයක්‌ ගත්තාය. කැනඩා අගමැතිට ශ්‍රී ලංකාවට නොයන ලෙස බලපෑම් ද කළාය. ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවී ඇති යුද අපරාධ ගැන අන්තර්ජාතික විමර්ශනයක්‌ ද පැවැත්විය යුතු බවත් ඊට කැනඩාව මූලිකත්වය දිය යුතු බවත් ඇය කියා සිටියාය. 2011 සැප්තැම්බර් මස කැනඩා පාර්ලිමේන්තුව ඇමතූ මේ කොටි කාන්තාව චැනල් 4 අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේගේ ශ්‍රී ලංකාවට එරෙහි ඝාතන භූමිය නමැති වීඩියෝ පටය පාර්ලිමේන්තු ශාලාවක්‌ තුළ තිරගත කිරීමට ඉඩදීම ගැන ස්‌තුතිය පළ කළාය. ඉන් පසු තවදුරටත් පාර්ලිමේන්තුව ඇමතූ ඇය ශ්‍රී ලංකාවට එරෙහිව පියවර ගැනීමට කැනඩාව දිගු කලක්‌ ගත්තා. කැනඩාව වහාම එක්‌සත් ජාතීන්ගේ විමර්ශනයක්‌ සඳහා ක්‍රියා කළ යුතු බව හඬ නැගුවාය. මේ වසරේ ජූලි මස ඇය කැනඩා මාධ්‍ය අමතමින් පැවසුවේ කැනඩා අගමැති හා විදේශ ඇමැති පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව වර්ජනය කළ යුතු බවයි. ඒ අනුව අගමැති ස්‌ටීවන් හාපර් සහ විදේශ ඇමැති ජෝන් බෙයාඩ් දැඩි ප්‍රකාශයක්‌ කරමින් කැනඩා රජයේ බලධාරීන් ශ්‍රී ලංකාවට යන්නේ නැතැයි සඳහන් කළේය.

මානව හිමිකම් උල්ලංඝනය කළ රටකට යැම ලැජ්ජාවට කරුණක්‌ යෑයි ඇය තවදුරටත් කීවාය. මෙලෙස කැනඩා අගමැති හා විදේශ ඇමැති ශ්‍රී ලංකාවට යැමෙන් වැළකූ රාධිකා ශ්‍රී ලංකාවට පැමිණියේ සිය රහස්‌ මෙහෙයුම දියත් කිරීමටය. ඇය යාපනයේදී රහස්‌ සාකච්ඡා පැවැත්වූයේ ත්‍රිකුණාමල කොටි හමුදා නායක එලිලන්ගේ බිරිය වූ ආනන්දි සසිකරන් සහ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් සමගය. ඉන් පසු ඇයව වලිකාමම් සහ වඩමාරච්චි ප්‍රදේශවලට රැගෙන ගියේ වලිකාමම් උතුරු ප්‍රාදේශීය සභාපති එස්‌. සුහිර්තන්ය. මෙරට ආගමන නීතිරීති යටතේ විදේශිකයන්ට දේශපාලන කටයුතුවල නිරතවීම තහනම් නමුත් රාධිකා එකී නීතිරීති තැකුවේ නැත. කොටි හිතවාදීන්ගේ සහාය මැද මන්නාරමට ගිය රාධිකා උතුරු පළාත් සභාවේ ධීවර ඇමැති දෙතිස්‌වාරන්, මන්නාරම් රදගුරු රායප්පු ජෝශප්, රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු කොටි වෙබ් අඩවිවල උතුරේ සිටින ඒජන්තවරු සමග ද සාකච්ඡා කළාය. ඇගේ පසුපස කිලිනොච්චි ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන් ද ගමන් කළේය.

කැනඩාවේ කොටි ජාලයේ ප්‍රමුඛතම ක්‍රියාකාරියක්‌ වූ රාධිකා මෙලෙස උතුරේ දේශපාලන කටයුතුවල නිරතවීම ගැන හමුදා බුද්ධි අංශ ආගමන විගමන නිලධාරීන් හා ත්‍රස්‌ත විමර්ශන අංශ ද දැඩි ලෙස නිරීක්‍ෂණය කරනු ලැබීය.

ත්‍රස්‌ත මර්දන නිලධාරීහු ඇය නතර වී සිටි ටිල්කෝ හෝටලයේ සිදු කළ නිරීක්‍ෂණයේදී සනාථ වූයේ යාපනයේ හිටපු කොටි හිතවාදීන් ඇය විවිධ ස්‌ථානවලට ගෙන යන බවයි.

මෙලෙස කැනඩාවේ සිටින ශ්‍රී ලංකා සැතිරිය මෙරටට පැමිණියේ උතුරේ කොටි හිතවාදීන්ගෙන් සාවද්‍ය තොරතුරු ලබාගෙන එකී තොරතුරු කැනඩා රජයට ලබාදීමටයි.

එම තොරතුරු මාර්තු 3 දා ජිනීවා නුවර දී ආරම්භ වන මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කිරීමට කැනඩා රජය සැලසුම් කරන බව වාර්තා වී ඇත.

රාධිකා සීතාසබෙයිසන්ගේ මව්පියන් වසර ගණනකට පෙර මෙරටින් කැනඩාවට ගිය අතර එකල ඇගේ වයස අවුරුදු පහක්‌ විය. ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාව ප්‍රභාකරන් විසින් මර්දනය කරද්දී කිසිදු හඬක්‌ නොනැඟූ ඇය දැන් කැනඩා කොටි ජාලය වෙනුවෙන් හඬ නඟයි. මේ පසුබිම මැද උතුරේ කොටි ජාලය රාධිකාව හමුදාව විසින් නිවාස අඩස්‌සියට යොමු කර ඇති බවට සාවද්‍ය ප්‍රචාරයක්‌ දියත් කරනු ලැබීය. එහෙත් කැනඩා රජය එම ප්‍රකාශය සාවද්‍ය බව කියා සිටියේය.

මෙලෙස කැනඩා කොටි කාන්තාවගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසු ඉදිරි සති දෙක තුළ මෙරටට පැමිණෙන්නේ තවත් සැතිරියකි. ඇය ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර රාජ්‍ය ලේකම්වරියක්‌ වූ නිශා බිස්‌වාල් දේශාසිය.

නිශා මෙරටට එන්නේ 2012 සහ 2013 වසරවල ජිනීවා මානව හිමිකම් සමුළුවේදී සම්මත වූ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා දෙකේ කරුණු රජය ඉටු කළේ ද යන්න සෙවීමටයි. "නිශා බිස්‌වාල් ශ්‍රී ලංකාවට එන්නේ විනිශ්චයකාරියක්‌ ලෙස සිතාගෙනයි. ඇය එනතුරු කොළඹ එන්.ජී.ඕ. ප්‍රධානීන් හා ද්‍රවිඩ සන්ධානය පුන පුනා බලා සිටිනවා යෑයි ආරංචි මාර්ග කියා සිටියේය.

උතුරේ ද සැරිසරන ඇය ඉන් පසු මෙරට ඩොලර් කාක්‌කන් හා බෙදුම්වාදීන්ගෙන් ද තොරතුරු ලබාගෙන එකී තොරතුරු ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

ඉන් පසු ලබන මාර්තු මස බ්‍රිතාන්‍යය, කැනඩාව සහ ඇමරිකාව එක්‌වී ජිනීවා නුවරදී ශ්‍රී ලංකාවට එරෙහි දඩයම දියත් කිරීමට නියමිතය. මේ වසරේ මාර්තු 26 වැනිදා ජිනීවා මානව හිමිකම් සමුළුවේදී මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ ශ්‍රී ලංකාවට එරෙහි සිය වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇත.

ඇගේ එම වාර්තාවට මූලාශ්‍ර වී ඇත්තේ කොළඹ එන්.ජී.ඕ. කල්ලිය නෝර්වේ අරමුදල් මත යෑපෙන නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික කණ්‌ඩායම ද්‍රවිඩ සන්ධානය හා විවිධ පාර්ශ්වයන්ය.

එහෙත් එම වාර්තාවට අදාළ කරුණු නිරවද්‍යතාව ගැන ඇය මෙරට රජයෙන් මේ දක්‌වාම විමසා නැත. මේ පසුබිම මැද ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු තානාපති ජියෝප්‍රි ඩොයිඩ්ෙ- පසුගිය සිකුරාදා යාපනයට ගියේය. එහිදී ඔහු ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරු හමුවී සාකච්ඡා පවත්වා ඇත.

මින් සනාථ වන්නේ උතුර බටහිර තානාපතිවරුන්ගේ තෝතැන්නක්‌ වී ඇති බවයි. එසේ වුවත් මේ සෑම ක්‍රියාමාර්ගයක්‌ම ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා දඩයමේ කොටසකි. එම දඩයමට සහායවීම සඳහා ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී කණ්‌ඩායමක්‌ ද ජිනීවා යැමට තීරණය වී ඇත.

ඔවුන් ජිනීවා යන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව ගිනි ඇවිලවීමටය. මේ අතර මාධ්‍ය වෙස්‌ ගත් උතුරේ කොටි හිතවාදීන් තවදුරටත් ක්‍රියාත්මක වේ. යාපනයේ වාලම්පුරි පුවත්පතේ උදයරාසා චැලින් නමැත්තා මියගිය කොටින් සැමරීම ද්‍රවිඩයන්ගේ සාමූහික හිමිකමක්‌ බවට පුවතක්‌ ප්‍රකාශයට පත් කිරීම ගැන ත්‍රස්‌ත මර්දන ඒකකය විසින් විමර්ශනයක්‌ අරඹා ඇත.

මෙලෙස ප්‍රභාකරන් මිනීමරුවා ඇතුළු කොටි ඝාතකයන් සැමරිය යුතු යෑයි ඉල්ලීමේ පසුබිම කුමක්‌ද?

කොටි හිතවාදී ද්‍රවිඩ මාධ්‍ය පාර්ශ්ව 2004 ට පෙර හැසිරුනු ආකාරය අමතක නොවේ. මේ එදා කොළඹ ද්‍රවිඩ පුවත්පතක්‌ පළ කළ ප්‍රකාශයකි. "ප්‍රභාකරන්ගේ බලසම්පන්නකම සිංහලයන් අවබෝධ කරගෙන නැත. බලගතු ආයුධ මෙතෙක්‌ භාවිතා කර නැත. ප්‍රභාකරන් මේ ආයුධ භාවිතා කළ විට සිදුවන්නේ කුමක්‌ද? යන්න තේරුම් ගැනීමට ද සිංහලයන්ට නොහැකි වනු ඇත.

එහෙත් ප්‍රභාකරන් ඇතුළු කොටි ඝාතක කණ්‌ඩායම විනාශවීමත් සමගම කොටි හිතවාදී ද්‍රවිඩ මාධ්‍ය පාර්ශ්ව නිහඬ වූහ.

මෙවන් තොරතුරු මැද කොටි ඩයස්‌පෝරාව ජිනීවා මානව හිමිකම් සමුළුවට පෙර මෙරටට විවිධ කොටි හිතවාදීන් එවන බව සනාථ විය. මුලින්ම නෝර්වේ සිට ප්‍රභාකරන්ගේ එක්‌ නිල කවියකු වන ජෙයපාලන්ව එවනු ලැබීය. ඉන් පසු පසුගිය නොවැම්බර් 13 වැනිදා තමිල්නාඩුවේ කොටි ක්‍රියාකාරියකු වූ තමිල්වානි ප්‍රභාකරන් මෙරටට පැමිණ දින 25 ක්‌ විවිධ ප්‍රදේශවල සැරිසරනු ලැබීය. ඔහු වවුනියාවේ පැවැති ද්‍රවිඩ සන්ධාන සමුළුවට ද සහභාගි විය. එකී සමුළුවට ඔහුව ගෙන ආවේ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන්ය. ශ්‍රී ලංකා හමුදාව ද්‍රවිඩයන්ව සමූල ඝාතනය කරන බවට ග්‍රන්ථයක්‌ ලියූ තමිල්වානි ප්‍රභාකරන් සමග උතුරු පළාත් සභා මන්ත්‍රී පසුපතිපිල්ලේ සහ කරච්චි ප්‍රාදේශීය සභා මන්ත්‍රී කයාපරන් ද උතුරේ සංචාරයට එක්‌වී සිටි බව ආරක්‍ෂක අංශවලට හෙළි විය.

මේ අතර කැනඩාව බලා පිටත්ව ගිය රාධිකා සිතාසබෙයිසන් තමා ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළදී කොළඹ කැනඩා මහ කොමසාරිස්‌ කාර්යාලයෙන් ලත් වාර්තාවක දැක්‌වූයේ ශ්‍රී ලංකා රජය තමාට නිකුත් කර තිබූ වරෙන්තුව ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇති බව යෑයි කියා සිටියාය.

මේ පසුබිම මැද රටවල් 10 ක ඇති විවිධ ව්‍යාජ ද්‍රවිඩ සංවිධාන නිවේදනයක්‌ ප්‍රකාශයට පත් කරමින් 2014 දී ශ්‍රී ලංකා රජයට එරෙහිව ජාත්‍යන්තර විමර්ශනයක්‌ පැවැත්විය යුතු බව දන්වා ඇත. මේ එවැනි ව්‍යාජ සංවිධාන කීපයකි. හින්දු ආරක්‍ෂක බළකාය, මැලේසියාව, සවුත්සයිඩ් ගුවන්විදුලිය, දකුණු අප්‍රිකාව, ඉස්‌ලාමීය තරුණ සංවිධානය, තමිල්නාඩුව.

2014 වසරේ කොටි ඩයස්‌පෝරාවේ රහස්‌ සැපයුම් ගැන විමර්ශනය කරන විට ද්‍රවිඩ සන්ධානයට සහාය දැක්‌වීම බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය තීරණය කර ඇතැයි අනාවරණය විය.

මේ අතර විපක්‍ෂ දේශපාලකයකු වූ ලක්‍ෂ්මන් කිරිඇල්ල ජනවාරි 1 දා කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවක්‌ අමතමින් මෙලෙස කියා සිටියේය. "මානව හිමිකම් ඇතුළු යුද අපරාධ චෝදනා මුල් කාලයේදී සුළු වශයෙන් එල්ලවූ ඉන්දුනීසියාවෙන් නැගෙනහිර ටිමෝරය වෙන් කෙරුණේ යුද්ධයකින් තොරවයි. ශ්‍රී ලංකාවට අද එල්ලවී තිබෙන චෝදනා මෙන් එදා ඉන්දුනීසියාවටත් මානව හිමිකම් චෝදනා එල්ල වුණා. එහෙත් ඉන්දුනීසියාව එම චෝදනා ගැන සැලකිල්ලක්‌ නොදැක්‌වූ නිසා අවසානයේදී නැගෙනහිර ටිමෝරය නිර්මාණය වුණා. දකුණු සූඩානය නිර්මාණය වූයේත් එලෙසයි. එම අභියෝගය අද ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට එල්ලවී තිබෙනවා.

මේ විරුද්ධ පක්‍ෂ දේශපාලකයාගේ ප්‍රකාශයට එම මාධ්‍ය සාකච්ඡාවට පැමිණ සිටි මාධ්‍ය පාර්ශ්ව අභියෝග කළේ නැත. එහෙත් අතීතය වසන් කළ හැකිද? පෘතුගාල පාලනය යටතේ පැවැති නැගෙනහිර ටිමෝරය 1975 නොවැම්බර් 26 දා සිය ස්‌වාධීනත්වය ප්‍රකාශයට පත් කළේය. ඊට නව දිනකට පසු ඉන්දුනීසියාව කොමඩෝ මෙහෙයුම දියත් කර නැගෙනහිර ටිමෝරය අල්ලා ගත්තේය. එකී මෙහෙයුමේදී ටිමෝර් සිවිල් වැසියන් 50000 ත් 80000 ත් අතර ඝාතනය විය.

සුඩානය දෙකඩ කළේ නෝර්වේ රාජ්‍යයයි. දකුණු සුඩානයේ ඇති තෙල් සම්පත් නිසා නෝර්වේ ප්‍රමුඛ බටහිර රටවල් ඊට සහාය විය. මේ පසුබිම මත විපක්‍ෂ දේශපාලකයා සිතන්නේ මෙරට මාධ්‍ය ක්‍ෂේත්‍රයේ සිටින්නේ අඥනයන් කියාද?

මේ අතර කැනඩා සැතිරිය වූ රාධිකා සීතාසබෙයිසන් උතුරේ කොටි හිතවාදීන්ගෙන් තොරතුරු ලබාගෙන පසුගිය සිකුරාදා පිටව ගියාය.

මේ තත්ත්වය මැද ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා දඩයමට කැලම් මැක්‌රේ ද එක්‌වී ඇත. ඔහු ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන්ගේ සොහොයුරු වූ සුරීච්හි සිටින ශ්‍රී කූගන්ගේ වෙබ් ගුවන්විදුලිය අමතා, ශ්‍රී ලංකාවට එරෙහි ප්‍රකාශයක්‌ කර තිබේ.

මේ අතර ප්‍රංශය, බ්‍රිතාන්‍ය හා ඉතාලිය යන රටවල ශ්‍රී ලාංකිකයෝ ස්‌වාධීනව ලබන මාර්තු මස ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ කොටි ඩයස්‌පෝරාව හා බටහිර රටවලට එරෙහිව උද්ඝෝෂණයක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මේ නිසා තමාගේ අවසරයකින් තොරව ජිනීවාහිදී ශ්‍රී ලාංකිකයන්ට උද්ඝෝෂණ පැවැත්විය නොහැකි යෑයි පැවසූ ස්‌විස්‌ පුරවැසියාගේ ක්‍රියාදාමය බිඳ වැටිණි. පසුගිය වසරේ ජිනීවාහිදී විරෝධතාවක්‌ පැවැත්වීමට ශ්‍රී ලාංකිකයන් දැරූ උත්සාහය ද රජය එය නොපවත්වන ලෙස තමාට පැවසූ බව සඳහන් කළ ඔහු එකී විරෝධතාවන් කඩාකප්පල් කළේය.

කීර්ති වර්ණකුලසූරිය
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.