ලෝක ටෙස්‌ට්‌ ශූරතා තරගාවලිය අපට තව දුරද

එක්‌දින තරගාවලියේ තරග කිහිපයකදී පාකිස්‌තානු පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් දැක්‌වූ දුර්වල පිතිහරඹයම පළමු ටෙස්‌ට්‌ තරගයේදී ප්‍රදර්ශනය කිරීම මත අබුඩාබි ටෙස්‌ට්‌ තරගයේදී ශ්‍රී ලංකාව පාකිස්‌තානයට වඩා ගවු ගාණක්‌ පසුපසට තල්ලු වී තිබේ.

මෙම සටහන තැබෙනුයේ ටෙස්‌ට්‌ තරගයේ තෙවැනි දිනය හෙවත් ඉකුත් බ්‍රහස්‌පතින්දා වන හෙයින් මෙම ලිපිය පාඨකයන් අතට පත්වන විට තරගයේ ප්‍රතිඵලය කුමක්‌ද යන්න විසඳී හමාරය. එම අවස්‌ථාව වන විට ශ්‍රී ලංකා පිල සිය දෙවැනි ඉනිම ආරම්භ කරමින් ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 179 ක ඉලක්‌කයක්‌ හඹා යමින් සිටි අතර එයට කෞෂාල් සිල්වා සහ කුමාර් සංගක්‌කාර සාර්ථක පදනමක්‌ එක්‌ කරමින් සිටියහ.

තත්ත්වයන් එවන් තැනක තිබියදී මෙම තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්‌ඩායමට සැලසුමක්‌ තිබුණේද යන්න ප්‍රශ්නාර්ථයකි. තණකොල සහිත අබුඩාබි තණතීරුවේදී වැඩි වශයෙන් වේග පන්දු යවන්නන් යොදා ගනිමින් පාකිස්‌තානය තරගයට අවතීර්ණ වන විට ශ්‍රී ලංකාව දඟ පන්දු යවන්නන් පිළිබඳව විශ්වාසය පළ කරමින් තරගයට අවතීර්ණ විය. මෙය බැලු බැල්මට ආරම්භයම අනා ගැනීමකි.

පාකිස්‌තානු කණ්‌ඩායමේ පන්දු යෑවීමේ බලඇණියට ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පන්දු යෑවීම කිසි විටෙකින්වත් සමාන කළ නොහැක. එවැනි තත්ත්වයක්‌ මත දෙවැනි දඟ පන්දු යවන්නකු කණ්‌ඩායමට කැඳවීමට වඩා වේග පන්දු යවන්නකු කණ්‌ඩායමට කැඳවිය යුතු බව තේරීම්වලට ඒත්තු නොයැම පුදුමය දනවන්නකි.

නම් කරන ලද දෙවැනි දග පන්දු යවන්නා වූයේ සචිත්‍ර සේනානායකය. සචිත්‍ර යනු විස්‌සයි/20 තරග සඳහා විශේෂඥ පන්දු යවන්නකු බව අවිවාදයක්‌ නොමැත. එහෙත් ඔහුගෙන් ටෙස්‌ට්‌ තරගවලදී ලබාගත හැක්‌කේ කොපමණ දක්‍ෂතාවක්‌ දැයි දෙවතාවක්‌ සිතා බැලීම වටී.

එක්‌දින තරගාවලියේදී සචිත්‍ර පැවැති තරග 5 ම ක්‍රීඩා කළේය. එහෙත් එක්‌සත් අරාබි තණතීරුවලදී සචිත්‍රගේ පන්දු යෑවීමේදී පිතිකරුවන්ට එතරම් අභියෝගයක්‌ එල්ල වූ බවක්‌ දැක ගැනීමට නොහැකි විය. මේ පිළිබඳව වඩාත් තහවුරු වන්නේ එම තරගවලදී ඔහු දැක්‌වූ දක්‍ෂතාව වේ. පැවැති එක්‌දින තරග 5 දී සේනානායක පන්දුවාර 49 ක්‌ යවා තිබේ. නිලකුණු පන්දුවාර 2 ක්‌ පමණක්‌ ඇතුළත් ඔහුගේ පන්දු යෑවීමේදී පිතිකරුවන් ලකුණු 239 ක්‌ ලබා ගන්නා අතර වාරයේ එකම කඩුල්ලක්‌ හෝ ලබා නොදීම මෙහිදී කැපී පෙනේ. එවන් අවම දක්‍ෂතාවක්‌ දක්‌වා තිබියදීත් අබුඩාබිහි පැවැත්වෙන පළමු ටෙස්‌ට්‌ තරගයේදී සචිත්‍ර සේනානායක මංගල ටෙස්‌ට්‌ වරම් ලබන්නේ කෙසේද යන්න උභතෝකෝටිකයකි. එපමණක්‌ නොව පළමු ඉනිමේදීද සචිත්‍ර පන්දුවාර 18 ක්‌ ක්‍රියාත්මක කළ අතර එහිදී එකම කඩුල්ලක්‌ හෝ දවා ගැනීමට ඔහු අසමත්වීමද මේ සඳහා තවත් නිදසුනක්‌ ලෙස සඳහන් කළ හැක.

සුරාඡ් රන්දීව්ට හෝ දිල්රුවන් පෙරේරාට හැකි පරිදි සචිත්‍රට පන්දුව තියුණු ලෙස දඟ කැවීමේ හැකියාවක්‌ද නොමැත. එවන් තත්ත්වයක්‌ මත සචිත්‍රව මෙම තරගයට ක්‍රීඩා කරවීමට සනත් ජයසූරියගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව කටයුතු කරන ලද්දේ මඳ සිහියෙන්ද යන්න මාතෘකාවට බඳුන් විය යුතුය.

ටෙස්‌ට්‌ කණ්‌ඩායම් ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාව පසුවන්නේ 6 වැනි ස්‌ථානයේය. ටෙස්‌ට්‌ ලෝක ශූරතාවට සහභාගිවීම සඳහා සැලසුම් සකස්‌ කිරීමේදී ලැබෙන තරග ජය ගැනීමට උපරිම වීර්යය ගත යුතු අවස්‌ථාවක සිටියදී මෙවැනි අමනෝඥ සහගත තීරණ ගැනීම් සම්බන්ධව කිසි විටෙකින්වත් සෑහීමකට පත් විය නොහැකි බව මෙහිදී තේරීම් කමිටුවට මතක්‌ කර දීමට කැමැත්තෙමි.

ඒ මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්‌ඩායමෙන් සිදු නොකළ යුතු එක්‌ දෙයක්‌ පමණි.

මෙම අසාර්ථකත්වයේ අනෙක්‌ වගකීම පිතිකරුවන් භාරගත යුතුය. ප්‍රතිවාදී පිතිකරුවන්ට අභියෝගයක්‌ එල්ල කිරීමට වැඩි ලකුණු සංඛ්‍යාවක්‌ රැස්‌ කර ගත යුතු වීම අනිවාර්ය කරුණකි. එසේ වුවහොත් පන්දු යවන්නන්ට රිසි සේ පන්දු යවමින් කඩුලු දවා ගැනීමට අවශ්‍ය නිදහස හිමිවනු ඇත.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ දැවී ගිය කඩුලු 10 න් 8 දෙනෙකුම දැවී ගියේ කඩුල්ල පිටුපසට උඩ පන්දු ලබාදීමෙනි. අදාළ දැවී යැම් අටෙන් සංගක්‌කාරගේ දැවී යැම හැරෙන්නට අනෙක්‌ දැවී යැම හතම පන්දුව පැමිණෙන මාර්ගයට අවතීර්ණ නොවී පිත්ත පමණක්‌ හුවා දැක්‌වීමට යැමෙන් කඩුල්ල අහිමි කර ගැනීම් විය. පාකිස්‌තානු පන්දු යවන්නන්ට කඩුලු පූජා කිරීම යනුවෙන් එම දැවීයැම් හැඳින්වීමද කිසිදු වරදක්‌ නොමැත. මෙය ශ්‍රී ලංකාවේ අසාර්ථක භාවයටත් පාකිස්‌තානයේ සාර්ථක භාවයටත් පැහැදිලිs වෙනස වශයෙන් සඳහන් කළ හැක.

ක්‍රීඩාංගණය තුළ නායකයා සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් අතර සම්බන්ධතාව තරමක්‌ දුරට මදි කමක්‌ මෙම තරගයේදී දැක ගත හැකි වූ අතර එයද ශ්‍රී ලංකාවට අවාසිදායක තත්ත්වයක්‌ ගෙන එන්නක්‌ වූවේය. මිස්‌බා උල්හක්‌ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව කරන ලද ඉල්ලීම ප්‍රධාන විනිසුරු නිෂ්ප්‍රභ කරද්දී එය අභියෝගයට ලක්‌ කරමින් තෙවැනි විනිසුරුගෙන් විමසීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කටයුතු නොකිරීම එයට වන හොඳම උදාහරණය වේ. යම් ලෙසකින් එම ඉල්ලීම සිදු කළේ නම් මිස්‌බාගේ ඉනිම නිසැකයෙන්ම ලකුණු 76 දී නිමා වනු ඇත.

ලෝක ශූරතාවට සුදුසුකම් ලබා ගැනිSමට නම් මෙම තරගාවලියේ ජය අත්‍යවශ්‍යම වේ. එහෙත් පළමු තරගයේදී එම අවස්‌ථාව තරමක්‌ දුරට ගිලිහී ගොස්‌ තිබේ. වඩාත් වැදගත් වන්නේ ඉදිරි දින දෙකේදී හෝ කෙසේ හෝ හොඳින් පන්දුවට පහර දෙමින් තරගාවලිය ජය ගැනීමට සැලසුම් සකස්‌ කිරීමය. එමෙන්ම ශ්‍රී ලංකාවට තවත් තරග 2 ක්‌ ඉතිරිව තිබෙන අතර මෙම තරගයේදී සිදුවූ අතපසුවීම් යළි නොවන්නට වග බලාගත යුතුය. එසේ නොවුවහොත් ඉතිහාසයේ පළමු වරට පවත්වනු ලබන ටෙස්‌ට්‌ ලෝක ශූරතාවට සහභාගිවීමේ අවස්‌ථාව ශ්‍රී ලංකාවෙන් ගිලිහී යැම කිසිවෙකුටත් නවතාලිය නොහැක්‌කක්‌ වනු ඇත.

චමිල කරවිට
එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.