රනිල්ගේ කොන්දේසියෙන් රන්ජන් පසුබසී

දයා ලංකාපුර

බස්‌නාහිර පළාත් සභා මැතිවරණයට එක්‌සත් ජාතික පක්‍ෂයේ මහ ඇමැති අපේක්‍ෂකයා වශයෙන් තරග කිරීමට රත්නපුර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතා කැමැත්ත පළ කොට ඇතත්, එජාප නායකත්වය විසින් ඉදිරිපත් කොට ඇති කොන්දේසියක්‌ නිසා දැන් ඔහු ඒ සඳහා පස්‌ස ගහන බව ඒ මහතාට සමීප ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ.

බස්‌නාහිර එජාප මහ ඇමැති අපේක්‍ෂකත්වය දීමට නම් කොළඹ දිස්‌ත්‍රික්‌කයෙන් පළාත් සභා මැතිවරණයට තරග කරන්නැයි පක්‍ෂ නායකත්වය ඔහුට දන්වා ඇත.

එහෙත් තමාට වැඩි බලයක්‌ තිබෙන්නේ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ බැවින් එම දිස්‌ත්‍රික්‌කයෙන් තරග කිරීම තමාගේ කැමැත්ත බව රාමනායක මහතා පවසා තිබේ. එයට පක්‍ෂ නායකත්වයෙන් අනුමැතිය ලැබී නැතැයි ද එම ආරංචි මාර්ග කියයි.

මේ අතර එජාපය බස්‌නාහිර පළාත් සභා මැතිවරණයට මහ ඇමැති අපේක්‍ෂකයකු මෙතෙක්‌ නම් කොට නැති අතර හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, රෝසි සේනානායක, රවි කරුණානායක, කරුණාසේන කොඩිතුවක්‌කු යන අයගේ නම් යෝජනා වී තිබේ. හර්ෂ ද සිල්වා මහතා පක්‍ෂයේ එම ඉල්ලීම කෙළින්ම ප්‍රතික්‍ෂේප කොට ඇත. රවි කරුණානායක මහතා පවසා ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා දකුණේ මහ ඇමැති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ නම් තමා බස්‌නාහිර මහ ඇමැති අපේක්‍ෂක ලෙස තරග කිරීමට ඉදිරිපත් වන බවයි.

මේ අතර බස්‌නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණවලට අපේක්‍ෂකයන් තේරීම සඳහා එජාප නාමයෝජනා කමිටුව අද (29 දා) රැස්‌වීමට නියමිතය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.