නායකත්ව මණ්‌ඩලය ඉදිරියේ
තෙවරප්පෙරුම කලහකාරී වෙයි


අකිත පෙරේරා

කළුතර දිස්‌ත්‍රික්‌ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (29 වැනිදා) නායකත්ව මණ්‌ඩලයට කැඳවූ අවස්‌ථාවේදී දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක උදිත ඉලේපෙරුම මහතාට පහරදීමට තැත් කරමින් කලහකාරී ලෙස හැසිරී තිබේ. බස්‌නාහිර පළාත් සභා මැතිවරණයට අදාළව එක්‌සත් ජාතික පක්‍ෂයෙන් මතුගමට හා දොඩන්ගොඩට අපේක්‍ෂකයන් තෝරා ගැනීමේදී මතුව ඇති ගැටලුකාරී තත්ත්වය විසඳීමට නායකත්ව මණ්‌ඩලය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා සහ දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක කැඳවා තිබිණි.

මෙවර පළාත් සභා මැතිවරණයේදී මතුගම ආසනයෙන් සිය පුතා ඉදිරිපත් කිරීමට පාලිත මන්ත්‍රීවරයා සූදානමින් සිටින අතර දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක උදිත ඉලේපෙරුම මහතාද මැතිවරණයට තරග කිරීමට සූදානමින් සිටී.

මේ හේතුව නිසා දොඩන්ගොඩ සහ මතුගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් අතරද මතභේද පවතින බැවින් එම සභාවන්හි සියලු මන්ත්‍රීවරුන් සහ පාලිත තෙවරප්පෙරුම මහතාද ඊයේ (29 දා) සිරිකොතට කැඳවා තිබිණි.

එහිදී පාලිත මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායකවරයා නායකත්ව මණ්‌ඩලයට කරුණු පැහැදිලි කරද්දී පාලිත මන්ත්‍රීවරයා ඊට උරණ වී විපක්‍ෂ නායකවරයාට පහරදීමට තැත් කර ඇත.

එජාප සභාපති කබීර් හෂීම් මහතා එහිදී වහා මැදිහත්වී තත්ත්වය පාලනය කර ඇත. පසුව මතුගම ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක ජිනදාස සිරිවර්ධන මහතාද පාලිත මන්ත්‍රීවරයාට විරුද්ධව අදහස්‌ ප්‍රකාශ කර ඇති අතර පාලිත මන්ත්‍රීවරයා නැවතත් කලහකාරී ලෙස හැසිරී ඇත.

මෙහිදී නායකත්ව මණ්‌ඩලයේ නියෝජිතයන් පාලිත මන්ත්‍රීවරයාට අවවාද කර ඇති අතර අපේක්‍ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් තීරණය පසුව දැනුම්දෙන බව පවසා තිබේ.

සිය පුතුට අපේක්‍ෂකත්වය නොලැබෙන්නේ නම් තමන් ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්‌වන බව ප්‍රකාශ කරමින් පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා සිරිකොතින් පිටව ගිය බව එජාප ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

මන්ත්‍රීවරයාගේ බිරිඳ වන අමිතා තෙවරප්පෙරුම මහත්මියද මතුගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක්‌ වන අතර ඇය මෙම අවස්‌ථාවට සහභාගි වී නොමැත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.