ආණ්‌ඩුව මධ්‍යම පාන්තිකයන්ගේ ඉඩම් කුණු කොල්ලයට ගෙන හිතවතුන්ට විකුණන්න හදනවා
- ආචාර්ය හර්ෂ ද සිල්වා

අකිත පෙරේරා

ආණ්‌ඩුව මධ්‍යම පාන්තිකයන්ගේ ඉඩම් කුණු කොල්ලයට ලබා ගනිමින් ආණ්‌ඩුවේ හිතවතුන්ට අලෙවි කිරීමට කටයුතු කරන බව එක්‌සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

හෙතෙම මේ බව කියා සිටියේ ඉකුත් 20 වැනිදා එජාප මූලස්‌ථානය වන කෝට්‌ටේ සිරිතොක මන්දිරයේදී පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් මන්ත්‍රීවරයා මෙසේද කියා සිටියේය.

ශ්‍රී ලංකාවට අයත් මුහුද ගොඩ කරමින් කොළඹ වරාය ආසන්නයේ නගරයක්‌ ඉදිකිරීම සඳහා ආණ්‌ඩුව මේ වන විට කටයුතු කොට තිබෙනවා. ඒ අනුව අක්‌කර 576 ක්‌ හෙවත් හෙක්‌ටයාර් 233 ක පමණ ප්‍රදේශයක මුහුද ගොඩ කිරීමට නියමිතයි. ඒ සඳහා ඇස්‌තමේන්තුගත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 1337 කි. ඒ අනුව එක්‌ හෙක්‌ටයාරයක වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලයන 5.7 ක්‌ද, පර්චසයක මිල රුපියල් මිලියන 1.8 ක්‌ද වනවා.

මුහුද ගොඩ කිරිම සඳහා කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව කොන්ත්‍රාත්තුව බාරදී තිබෙන්නේ zzචයිනා කමියුනිකේෂන් කන්ට්‍රක්‌ෂන් කම්පැනි (සීසීසීසී) සමාගමටයි. මුහුද ගොඩ කිරීමෙන් පසු සැකසෙන ගොඩබිමින් හෙක්‌ටයාර් 20 ක්‌ සින්නක්‌කර ලෙස විකිණීම සඳහා එම සමාගමට ගිවිසුම් මගින් එකඟවී තිබෙනවා. මේ රටේ බිම් අඟලක්‌වත් විදේශිකයන්ට නොවිකුණන බවට පොරොන්දුවූ ආණ්‌ඩුව ඉදිකරනු ලබන කොළඹ වරාය නගරයෙන් අක්‌කර 50 කට ආසන්න ප්‍රමාණයක්‌ සින්නක්‌කර විකිණීමට සැලසුම් කොට තිබෙනවා.

එමෙන්ම තවත් හෙක්‌ටයාර් 88 ක්‌ චීන සමාගමට 99 අවුරුදු බද්ධ යටතේ ලබාදීමට ද ආණ්‌ඩුව එකඟවෙලා. ඒ අනුව චීනයට කොළඹ වරාය නගරයෙන් හෙක්‌ටයාර 108 ක්‌ හිමි වෙනවා. රුපියල් මිලියන 1.8 කට පර්චසයක මිල තක්‌සේරු කොට චීන සමාගමට භාරදීමට කටයුතු කොට තිබුණත් කැබිනට්‌ පත්‍රිකාව අනුව එහි සැබෑ වටිනාකම රුපියල් මිලියන 8 ක්‌ පමණ වෙනවා.

කොළඹ වරාය නගරයේ පර්චසයක මිල රුපියල් මිලියන 8 කට තක්‌සේරු කළත් චීන සමාගම විසින් එය ඊට වඩා අඩු මුදලකට අලෙවි කිරීමට නියමිත බවද අනාවරණය වෙනවා. එසේ සිදු කරන්නේ කොළඹ අවට පිහිටි වැල්ලවත්ත, බම්බලපිටිය, දෙහිවල, කෝට්‌ටේ ආදී ප්‍රදේශවල ඉඩම් මිල අඩු කොට එම ඉඩම් ආණ්‌ඩුවට සහ ආණ්‌ඩුවේ හිතවතුන්ට ලබා ගැනීම සඳහායි. කොළඹ ඉඩම්වල මිල පහත දැමීමෙන් මධ්‍යම පාන්තිකයන්ගේ වත්කම් කුණුකොල්ලයට ගෙන ආණ්‌ඩුවේ මාµsයාවට සම්බන්ධ ගෝලයන්ට අලෙවි කිරීමට පිඹුරුපත් සකස්‌ කොට අවසානයි.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක ඡේම්ස්‌ පැකර් විසින් කැසිනෝ සංකීර්ණය ඉදිකිරීමට ද නියමිතයි. ඉන් පැහැදිලි වන්නේ නාගරික සංවර්ධන අධිකාරියත්, කැසිනෝ හිමිකරුවන් අතරත් අෙන්‍යාන්‍ය සම්බන්ධයක්‌ පවතින බවයි. නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්‌කර දෙකහමාරක ඉඩමේ කැසිනෝ සංකීර්ණය ඉදිකරන බව රවී විඡේරත්න නමැති ව්‍යාපාරිකයා වෙබ් අඩවියේ සඳහන් කොට තිබෙනවා.

කොළඹ වරාය නගරය ඉදිකිරීම සඳහා කැබිනට්‌ පත්‍රිකාවක්‌ මගින් කොන්ත්‍රාත්තුව පවරාදී තිබෙන zචයිනා කමියුනිකේෂන් කන්ට්‍රක්‌ෂන් කම්පැනිZ සමාගම ඉතා දූෂිත ආයතනයක්‌ ලෙස ලෝක බැංකුව විසින් 2009 ජනවාරි මාසයේ සිට තහනම් කොට තිබෙනවා. එම නිසා එම ආයතනයට ලෝක බැංකුව සමග කිසිදු ගනුදෙනුවක්‌ කිරීමට හැකියාවක්‌ නැහැ. එම ආයතනය දූෂිත නොවන බව ආණ්‌ඩුව ප්‍රකාශ කරන්නේනම් ඕනෑම අභියෝගයක්‌ බාර ගැනීමට මම සූදානම් බවද කිව යුතුයි. 2017 වසර වනතුරු ලෝක බැංකුව විසින් එම ආයතනය දූෂිත ආයතනයක්‌ ලෙස තහනම් කොට නොමැති බව ආණ්‌ඩුවේ කවුරුන් හෝ ඔප්පු කරන්නේනම් තමන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්‌වී ගෙදර යනවා.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.