මුද්දර ඉතිහාසයට එක්‌වන
"ආරුක්‌කු නවයේ පාලම හා දෙමෝදර රේල් ගැටේ"

(2014 පෙබරවාරි 28 දින දෙමෝදර පාලම සහ දොමෝදර දුම්රිය ස්‌ථානය දැක්‌වෙන තැපැල් මුද්දර දෙකක්‌ දෙමෝදර දුම්රිය ස්‌ථානයේදී නිකුත් කිරීම නිමිත්තෙන් සැකසූ විශේෂ ලිපියකි.)

ශ්‍රී ලංකාවේ තැපැල් ඉතිහාසය තරම්ම අතීතයට දිවයන කතා ප්‍රවෘත්ති බොහොමයකින්ම සත්‍යයක්‌ ලෙසින් ගොඩනැඟී ඇති "දුම්රිය සේවය" ගැන ද අද අප කතා කරනුයේ ඉමහත් වූ ආඩම්බරයකිනි. "උඩරට මැණිකෙට පටකුඩ දෙක දෙක" යනු කුඩා මහලු කා අතරත් ජනප්‍රිය පදවැලකි. අද අප සටහන් තැබීමටද බලාපොරොත්තු වනුයේ උඩරට මැණිකේ දුම්රියත් පොඩි මැණිකේ දුම්රියත් ගමන් ගන්නා අති සුන්දර වූ ගමන් මගේ ඓතිහාසික ස්‌ථාන දෙකක්‌ පිළිබඳවය. ඊට මූලිකම කාරණාව නම් තව දින කීපයකින් ශ්‍රී ලංකා තැපෑලේ මුද්දර ඉතිහාසයට එක්‌වන තැපැල් මුද්දර දෙකක්‌ම සුන්දර වූ ඌව පළාතේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ පිහිටි දෙමෝදර "ආස්‌ නවයේ පාලම" හෙවත් "ආරුක්‌කු නවයේ පාලම" සහ දෙමෝදර දුම්රිය ස්‌ථානයත් පාදක කොට ගන්නා බැවිනි.

ලංකා දුම්රිය සේවයේ ඉතිහාසය ගැන සොයා බලන කල 1872 වර්ෂය දක්‌වාම දුම්රිය සේවය පැවැත ඇත්තේ මහනුවර දක්‌වා පමණක්‌ බැව් පෙනේ. එහි සම්පූර්ණ දුර ප්‍රමාණය සැතපුම් 72 ක්‌ පමණ විය. එනමුත් 1900 වසර වනවිට එම දිග ප්‍රමාණය සැතපුම් 297 දක්‌වා වැඩි විය. ඊට බලපෑ ප්‍රධානම කාරණය වූයේ මෙරට වැවිලි ක්‍ෂේත්‍රය පළල් වීමයි. ඒ අනුව බණ්‌ඩාරවෙල සිට බදුල්ල දක්‌වා වූ කොටස හැර උඩරට අනෙක්‌ සියලුම වැවිලි ප්‍රදේශ දුම්රිය මාර්ග හා සම්බන්ධ විය.

කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයේ මුල් ඉදිකිරීම් කටයුතුවලින් සෑහෙන කලකට පසුවයි බණ්‌ඩාරවෙල සිට බදුල්ල දක්‌වා වු දුම්රිය මාර්ගයේ වැඩ ආරම්භ වූයේ එනම් දෙපාර්තමේන්තු මට්‌ටමින් ඉදිකිරීම් කටයුතු පටන් ගන්නා ලද්දේ 1913 දීය. ඒ අනුව වසර පහකට පසුව එනම් 1918 ජුලි පළමුවැනි දින ඇල්ල දක්‌වා ගමනාගමනය සඳහා මාර්ගය විවෘත විය. එළවලු වගාවට ඉමහත් ප්‍රසිද්ධියක්‌ හා සුදුසු පාරිසරික වටපිටාවක්‌ හරහා ඉදිවූ මෙම දුම්රිය මාර්ගයෙහි 39 වන බිම්ගෙය කණිනු ලැබුයේ 161 වැනි සැතපුමෙහිය. මෙම බිම්ගෙහි දුර අඩි 660 කි. එ සේම 1921 මාර්තු 21 වැනි දින ඇල්ල සිට දෙමෝදර දක්‌වා වූ මාර්ගය ද ගමනාගමනය සඳහා විවෘත විය. අප විසින් තබනු ලබන මෙම සුවිශේෂ වූ සටහනෙහි කියෑවෙන එක්‌ වැදගත් ස්‌ථානයක්‌ පිහිටා ඇත්තේ ද මෙම කොටසේය. එනම් දෙමෝදර පාලම නමින් දෙස්‌ විදෙස්‌ පතළ "ආරුක්‌කු නවයේ" හෙවත් "ආස්‌ නවයේ" පාලම පිහිටා ඇත. මෙම වකවානුව වනවිට පළමු ලෝක සංග්‍රාමය හේතුවෙන් එංගලන්තයෙන් යකඩ මෙරටට ආනයනය කිරීම අතිශය දුෂ්කර කටයුත්තක්‌ බවට ද පත්ව තිබුණේය. මේ නිසා මෙරට මාර්ග ඉදිකිරීමෙහිලා පාලම් ඉදිකිරීම ඉතා ගැටලු සහගත කාර්යයක්‌ වූ අතර ඒ සඳහා වෙනත් විකල්ප ක්‍රම සොයා යැමටද සිදු විය. මෙම කාලයේදී සුදු ජාතිකයන්ට යකඩ නැතිව දුම්රියපාලම් ඉදිකිරීම ගැටලු සහගත වූවත් අපේ ඇතැම් සිංහල ශිල්පීන්ට එය මහාලොකු ගැටලුවක්‌ නොවීය. ඒ වෙනත් හේතුවක්‌ නිසා නොව "ගල්වැඩ" දන්නා අපේ පුරාණ සිංහල බාස්‌ උන්නෑහෙලා නිසාය. එසේ කතා කිරීමේදී අපට එවකට වැලිමඩ ජීවත්ව සිටි උදාරතර පුද්ගලයකුගේ නාමය අසන්නට ලැබේ. ඒ ඔහු නමින් පී. කේ. අප්පුහාමිය. මෙම ආරුක්‌කු නවයේ පාලමේ වැඩ නිම කරන ලද්දේ ද අප්පුහාමි බාස්‌උන්නැහේ විසින් බවටද ජනප්‍රවාදයක්‌ පවතී. ඒ කෙසේ වෙතත් ගල්වැඩ දත් අප්පුහාමි උන්නැහේ කළ අපූර්ව කර්තව්‍යයක්‌ ගැන ද අසන්නට ලැබේ.

එනම් දුම්රිය මඟ අතර පස්‌වැටියක්‌ සේ දිස්‌වුණු කන්දක්‌ වටා තිබුණ පස්‌ වැටිය ඉවත් කළ සුද්දන්ට මහ විශාල ගල් පර්වතයක්‌ දක්‌නට ලැබිණි. එය එවකට පැවැති ඔවුන්ගේ තාක්‍ෂණය අනුව ටිකින් ටික කඩා ඉවත් කිරීමට නම් සෑහෙන කලක්‌ ගතවේයෑයි ගණන් බලමින් කල්පනා කරමින් සිටි සුදු ඉංජිනේරුවෝ ඒ අසල සක්‌මන් කරමින් මාර්ගය ඉදිවන සැටි බලමින් සිටි අප්පුහාමි බාස්‌ගෙන් මේ ගැන විමසන ලදුව ඔහු එය දින කීපයකින් ඉවත් කර දිය හැකි බැව් පැවසීය. එහි වගකීම භාරගත් මොහු ගලවටේට පිහිටි පස්‌ තට්‌ටු ටික ඉතා සැළකිල්ලෙන් යුතුව ඉවත් කොට ගලට බඹ කීපයක්‌ දුරින් සිට ගලට යටින් බිම්ගෙවල් තුනක්‌ තුන්පැත්තෙන් එක තැනකදී (ගල මැද) හමුවන සේ හාරවා ඇත.

එහි මැදට වෙඩි බෙහෙත් පිරවූ අප්පුහාමි බාස්‌ වෙඩි නූලක්‌ එළියට ඇද උමං තුනම වසා අනතුරුව වෙඩි නූලට ගිනි අවුලුවනවාත් සමගම ගල කැඩී සීසීකඩ විසිවී මාර්ග බාධකය ඉවත්වී ඇත. මේ ප්‍ර්‍රdතිහාර්ය කුමක්‌දැයි සුද්දා විමසන ලදුව අපේ ආගමේ බලයක්‌ යෑයි එතැනදී බෞද්ධාගමේ අගය පෙරට දා පිළිතුරු දී ඇත. ඉන් රැවටීමට හෝ පැහැදීමට පත් සුද්දා එතැන් සිට ඒ අසල පන්සලකට සෑම සතියකට වරක්‌ම ලුණු සේරු දෙක බැගින් දීමට පොරොන්දු වී ඇත. මේ නිසා ඇල්ලදෙමෝදර අසල සුන්දර ගම් පියසක්‌ වන ගොටුවල නම් ප්‍රදේශයේ තනා ඇති මෙම ආශ්චර්යවත් පාලම ඉදිකිරීමේ ගෞරවය අපේ සිංහලයාටත් උරුමය. මෙම පාලම සැතපුම් 169 දම්වැල් 40 ස්‌ථානයේ ගලා බස්‌නා දියපරක්‌ දෙපස පිහිටි කුඩා කඳුගැට දෙකක්‌ යා කරමින් කොන්ක්‍රීට්‌ හෝ යකඩ කූරු භාවිතා නොකොට එක්‌තරා රටාවකට කැපූ ගල් එකට අල්ලා ආරුක්‌කු 09 ක්‌ ඇතිව ඉදිකොට ඇත. එම පාලමේ කණුවල උස අඩි 97 කි. අඩි 2Ü අඟල් 8Ü අඟල් 3 සහ අඩි 1 අඟල් 8Ü අඟල් 8 Ü අඟල් 3 ප්‍රමාණයේ කලුගල් කුට්‌ටි යොදා කණු හා ආරුක්‌කු ගොඩනගා ඇත. එක්‌ ආරුක්‌කුවක පළල අඩි 24 අඟල් 6 කි. මෙම සුන්දරවූත් සිත්කළුවූත් අපූර්ව වූත් නිර්මාණය තවත් වැදගත් වන්නේ පාලම ආසන්නයේම යාර 132 ක්‌ දිගැති 40 වන අංකය කියෑවෙන බිම් ගෙයද පිහිටීම නිසාය. තවද මෙම පාලම ඉදිකළත් ඒ මගින් දුම්රියක්‌ ධාවනය කිරීමට සුදු ඉංජිනේරු තරමක්‌ බිය වූහ.

මේ නිසා ඊට අභියෝග කළ අපේ අප්පුහාමි බාස්‌ උන්නැහේ කිසිදු බියක්‌ නැතිව දුම්රිය ධාවනය කරන ලෙසත් දුම්රිය යනතුරු තමා පාලම යට වාඩිවී සිටින බවත් පවසා තිබේ.

අප මීළඟට තවත් ඓතිහාසික ස්‌ථානයක්‌ ගැන පෙර කීවා සේ විමසා බලමු. ඒ දෙමෝදර දුම්රිය ස්‌ථානයයි. මෙම ස්‌ථානයෙහි භෞතික පිහිටීම ගැන විමසා බලනවිට දුම්රිය ස්‌ථානයෙන් ඉදිරියට තිබෙන මාර්ගය දුම්රිය ස්‌ථානයට වඩා අඩි 70 ක පමණ පහත සමෝච්ඡ රේඛාවක විහිදී ඇති බව පෙනේ. දුම්රිය මාර්ගය එවන් දැඩි බෑවුමක්‌ මහත් වූ ප්‍රායෝගික ගැටලු මතු කරයි. එහෙත් එම බාධකය ද ජයගෙන ඇති ආකාරය හරිම රසවත්ය. එසේම විශ්මිතය. ඒ නිසාම එම විශ්මිත වූ නිර්මාණය තවදුරටත් අභිමානයෙන් ඉතිහාසයේ සනිටුහන් කරනු වස්‌ එනමින්ද අලංකාර වූ තැපැල් මුද්දරයක්‌ නිකුත් කිරීමට තැපැල් සේවා අමාත්‍යාංශය හා තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. අප මුලින් කී මාර්ග බාධකය ජයගෙන ඇත්තේ අපූර්ව උපායක්‌ යෙදීමෙනි. එනම් දුම්රිය ස්‌ථානයට ඉදිරියෙන් පිහිටි කඳුගැටය වටා ගොස්‌ දුම්රිය ස්‌ථානයට යටින් ඇති අංක 41 දරණ බිම්ගෙය ඔස්‌සේ අනෙක්‌ දිසාවට මාරු වීමය. දෙමෝදර මේ සුන්දර වූ කඳුගැටය වටා වූ යාර 990 ගමන් කිරීමේදී අඩි 70 ක්‌ පමණ පහතට බැසීමත් ගමන් මග අනෙක්‌ පසට මාරුවීමත් යන ගැටලු දෙකම එකවරම විසඳීම මේ අපූර්ව නිර්මාණයේ හැඩතලයයි. තවද දෙමෝදර දුම්රිය ස්‌ථානය පිහිටා ඇත්තේද යාර 232 ක්‌ දිගැති අංක 41 දරණ බිම්ගෙය උඩය. මෙම සුවිශේෂ වූ ඉංජිනේරුමය නිර්මාණයේ නිර්මාතෘ වන්නේද අපේ විශිෂ්ටයන්ගේ ශ්‍රී ලාංකිකයකු වන ඉංජිනේරු ඩී. ෙ-. විමලසුරේන්ද්‍ර මහතා ය. අප මීට පෙර කතා කළ ආරුක්‌කු නවයේ පාලමේ වැඩි ගෞරවයත් මෙම නිර්මාණයේ සම්පූර්ණ ගෞරවයත් හිමිවන්නේ අපේම ශ්‍රී ලාංකිකයන් දෙදෙනකුට වීමද මුද්දර දෙකක්‌ නිකුත් කිරීමට හේතුපාදක වූ තවත් කාරණයකි. විමලසුරේන්ද්‍ර මහතා විසින් හඳුන්වාදුන් මේ .ඛදදචසබට එයෑ ඛදදච. විශිෂ්ටතම වූ නිර්මාණය ද හාස්‌කමකින් පහළ වූවක්‌ දොa යෑයි විටෙක හැඟේ.

මේ අපූර්ව නිර්මාණය හා බැඳුණු ජනප්‍රවාද නැතිවාම නොවේ. ඒවාත් අප තරමක්‌ හෝ කතා කළ යුතුමය. මුලින් කී පරිදි අඩි 70 ක්‌ උසින් පිහිටි රේල් පාර පහතට ගන්නේ කෙසේදැයි කල්පනා කරමින් ඒ සඳහා පාලම් තැනීමටද බෙහෝ ඉංජිනේරුවන් සමගින් කථිකාවන් කර ගතිමි. ඒවාද අසාර්ථක වූයෙන් වසර තුනක විතර කාලයක්‌ පාරේ ඉදිරි ඉදිකිරීම් කටයුතු නැවතී තිබිණ. මේ අතරතුර කාලයේ වරින්වර දිනපතාම පාහේ කන්ද මුදුනට වී හාත්පස බලමින් කල්පනා කරමින් සිටි සුද්දා දවසක්‌දා කන්දට හරක්‌ දමා ඔවුන් බලාගෙන සිටි මිනිසෙක්‌ තමා හරක්‌ දක්‌කන කෙවිට කරකවනවා දැක, ඒ කෙවිට කරකවන ආකාරයෙන් කන්ද වටේ පාර ගෙන ගියහොත් වැඩේ හරි යෑයි සිතා අපේ විමල සුරේන්ද්‍ර මහතාගේත් සහායෙන් මෙය ඉදිකළා කියාද ජනප්‍රවාදයේ පවතී. එසේම දිනක්‌ මේ කන්ද මුදුනේ සුද්දාත් කල්පනා කරමින් සිටියදී ඒ අසල යම් කාරණයකට පැමිණි ගම් වැසියෙක්‌ තම "මපරලය" (තුවාය) ගෙන එය ගසමින් පිළිවෙළට පටියක්‌ සේ සකසා තම හිසේ "ජටාවක්‌" බැඳගත් ආකාරය ඉතා හොඳින් බලා සිටි සුද්දා ඒ අනුව පහළින් ඉහළට ජටාව බැඳි අයුරින්ම මෙම මාර්ගය ද සැලසුම් කලා යෑයි තවත් ජනප්‍රවාදයක්‌ පවතී.

ශ්‍රී ලංකා මුද්දර ඉතිහාසයේ රන් අකුරින් ලියෑවෙන මෙම ඓතිහාසික මුද්දර දෙකේ නිකුතුවේ පරම රහස දිගු කලක්‌ තිස්‌සේ මුද්දරයට ඇලුම් කරන වත්මන් තැපෑලට තැපැල්සේවා අමාත්‍යාංශයෙන් නායකත්වය දෙනු ලබන එහි ස්‌ථිර ලේකම් හේමසිරි ප්‍රනාන්දු මැතිතුමාගේ කැපවීමය. ඒ මන්දයත් ඔහු ඌවට පා තබන සෑම වාරයකදීම දෙමෝදර දුම්රිය ස්‌ථානයට යැමට අමතක නොකරයි. එපමණ ද නොව විටින් විට විවිධ තරාතිරම්වල ගවේෂණ හා සමීක්‍ෂණ කණ්‌ඩායම් දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන්ද රැගෙන එයි.

ඉතින් ඔහුගේ දායකත්වය නොවන්නට ශ්‍රී ලංකා තැපැල්මුද්දර ඉතිහාසයට මේ ඌව පළාතේ අභිමානවත් වූ ස්‌ථාන දෙක එක්‌ නොවන්නේය.

ධර්මසිරි පියසේන

ඌව පළාත්

නියෝජ්‍ය පෝස්‌ට්‌මාස්‌ටර් ජනරාල්
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.