මිනිස්‌ අයිතිවාසිකම් රැක දී
ලෝකය විචිත්‍රවත් කළ ඒබ්‍රහම් ලින්කන්


පුන්‍යා චාන්දනී ද සිල්වා


මානව ප්‍රජාව වෙනුවෙන් වු ගැලවුම්කාරයන් විටින් විට බිහි වෙනු ඇත. ඒබ්‍රහම් ලින්කන්ගේ උපත ද ලෝකයා ලද එවන් වූ ආශිsර්වාදයක්‌ ලෙසින් සැලකීම වරදක්‌ නැත. අඩි හයකුත් අඟල් හතරහමාරක්‌ උසැතිවු ඔහුගේ පුලුල් නළල පාන්ඩිත්‍යයේ සංකේතයකි. ඝනව වැඩුන, අවුල්ව ගිය කෙස්‌රොද කාර්යක්‌ෂම බව විදහා පෙන්වයි. යටට නෙරා ගිය දෙනුවන් අලුපාටින් යුක්‌තය.

තෝමස්‌ ලින්කන් සහ නැන්සි හැක්‌ස්‌ යන අඹු සැමි යුවල සිය පවුල් සංස්‌ථාව සාමකාමීව පවත්වා ගෙන ගිය අතරම ඔවුහු බැතිබර කතෝලිකයන් වුහ. මේ අතර ඔවුන්ට දාව 1809 වසරේ පෙබරවාරි දොළොස්‌ වෙනි දින කැන්ටකි ජනපදයේ ලාරු ගම්මානයේ ඒබ්‍රහම් ලින්කන් නම් බිලිඳු දරුවා උපත ලැබුවේය. ඉරිදා දිනක උපත ලද ඔහු කිසිවකුදු මිට මොළවා ගෙන මෙලොවට බිහි වුනේ නැත. ඉරිඟු පොතු වලින් සරසන ලද අතුරනුවක සැතපු කිරි දරුවා හීතලෙන් රැක ගනු වස්‌ වලස්‌ හමකින් ඔතා උණුහුම් කරන ලදී.

ඒබ්‍රහම්ගේ ළමා කාලය මලින් පිරී ගිය මාවතක්‌ නොව, කටු කොහොලින් පිරී ගිය දුෂ්කර ගමනක්‌ විය. ගම්බද පෙදෙසක පදිංචිව සිටි නිසා පාසලක්‌ අසල සීමාවක නොවීය. පොත් පත් ආශ්‍රය කරන්නට පරිසරයක්‌ද නොවීය. මුලින්ම පාසලකට ඇතුළු වුන ඒබ්‍රහම් මාස තුනකට පසුව එයින් ඉවත්ව වෙනත් ගුරුවරයෙක්‌ගෙන් අකුරු උගන්නට පටන් ගත්තේය. මාස හයක්‌ ගෙවෙත්ම බයිබලය කියවීමේ හැකියාව ඒබ්‍රහම්ට ඇති විය. ඒබ්‍රහම්ගේ ඇඳුම වුයේ මුව සමෙන් කරන ලද කොට කලිසමකි. මුව සමෙන් කළ සපත්තු යුවලක්‌ සහ දිග වල්ගයක්‌ සහිත හිස්‌ වැස්‌ම ඔහුගේ ඇඳුම් අතර විය. මේස්‌ පැළඳීමට ආසාවක්‌ නොතිබුනාම නොවුනද, දුබල ආර්ථිsක තත්වය එය සිහිනයක්‌ ලෙසින් සීමා කරන ලදී.

1818 වසරේ ඉන්දියානාවේ බක්‌හේන් ප්‍රදේශයේ බියකරු වසංගතයක්‌ පැතිරී ගිය අතර පවුල් කිපයක්‌ මෙම වසංගතයට ගොදුරු විය. මේ අවස්‌ථාවේදී නැන්සි ඔවුන් ජීවත්වෙන ප්‍රදේශයේ සිටි බෘනර් නම් කාන්තාවට උදව් පිණිස ගිය අතර නැන්සිද එම රෝගය වැළඳීමෙන් 1918 වසරේ ඔක්‌තෝබර් පස්‌ වෙනි දින සිය දරුවන් සහ සැපියා හැර දෙව්මව් තුරලේ සැතපෙනු වස්‌ ගියාය. මවකගේ හිස්‌ තැන පවුලකට ලබා දෙන බිඳවැටීම සුලු පටු නැත. මවගේ වියෝව සමඟ ඔහුගේ ජීවිතයට ඇති වුන හිදැස වෙනත් මාර්ගයකින් සපිරෙන්නට විය. ඔවුන්ගේ නිවස අසල සිටි ක්‍රොපට්‌ නම් මානව සංවේදී පුqද්ගලයෙක්‌ පාසලක්‌ විවෘත කල අතර ඒබ්‍රහම්ගේ අධ්‍යාපනය වෙනුවෙන් උපකාර කිරීමට ඔහු ඉදිරිපත් වූයේය.

ඒබ්‍රහම්ට පොත් පත් මෙන්ම මිල මුදල් ක්‍රොපට්‌ විසින් සපයන ලදී. ඒබ්‍රහම්ගේ අවංක බව නිසාම අසල්වැසියන් අතර ඔහු ජනප්‍රිය චරිතයක්‌ බවට පත් විය. පොත පත කියවන ඔහුට වරක්‌ ජෝර්ඡ් වොෂිංටන් චරිතාපදානය කියවීමට අවස්‌ථාව ලැබුනි. මෙ පොත ක්‍රේ‍රdපට්‌ මහතාගෙන් ඉල්ලා ගත් අතර එදා රාත්‍රියේ කියවා තබා නිදාගත් පොත එදින රාත්‍රියේ වට පින්නෙන් අපිරිසිදු වී තිබුනි. පොත අපිරිසිදු වීම නිසා තමා වගකීම පැහැර හැරියෙක්‌ යෑයි ක්‍රොපට්‌ මහතා සිතන්නට ඉඩ ඇති නිසා නැවත පොතක්‌ මිලට ගෙන දීමට වත්කමක්‌ද නොමැති නිසාත් කළ යුතු දේ කුමක්‌දැයි ඔහුට වටහා ගත නොහැකි වීය. ඔහු ක්‍රොපට්‌ මහතා වෙත ගොස්‌ සිද්ධිය නොවලහා කීවේය. පොත වෙනුවෙන් වන්දි ගෙවන්නට කළ යුතු දෙයක්‌ වේ නම් තමා එය කරන බවට ඒබ්‍රහම් කිවේය. නමුත් ක්‍රොපට්‌ වන්දිය ඉල්ලනු වෙනුවට ක්‍රොපට්‌ මේ දරුවාගේ අවංකබව ගැන පැහැදි ප්‍රංශසා කළේය.

1824 වන විට ඒබ්‍රහම් ඒසල් ඩෝර්සි නම් ගුරුවරයාගෙන් අකුරු උගත්තේය. මෙ පාසල මඩුවක පවත්වා ගෙන ගිය අතර ගුරුවරයාට සිට ගෙන සිටිය හැකි උසක වහලයක්‌ වු අතර ජනේල නොවීය. ග්‍රිස්‌ තවරන ලද කොළයක්‌ හිදැසෙහි අලවා ආලෝකය ලබා ගත්තේය. මේ කාලයේ කඩදාසි දුලබ මෙන්ම මිල අධික විය. ඔහු ලෑල්ලක අකුරු ලියා එය සුරා දමා නැවත ලියන ලදී. ගණිත පොතක්‌ මිලදී ගන්නට වත්කමක්‌ නොමැති නිසා පොතක්‌ ණයට ඉල්ලා ගෙන අවුත් කඩදාසිවල සටහන් කර ගන්නා ලදී. ජීවත්වුන පරිසරයේ සුන්දරත්වය නිසාම ඔහු තුල අපුරු කවි සිතුවිලි පහල විය. විලියම් වුඩ් විසින් ඒබ්‍රහම්ගේ කවි අගයන ලදී. ඔහුගේ රචනාවන් සහ විවේචන මෙන්ම දේශපාලන ලිපි ආත්ම සංයමයෙන් යුක්‌ත විය.

මේ වන විට ඒබ්‍රහම්ගේ පියා දෙවන කසාදයක්‌ කර ගත්තේය. නමුත් සේරා ජොන්සන් නම් වු කුඩම්මා සම්ප්‍රදායික කුඩම්මා චරිතයෙන් බොහෝ සෙයින් දුරස්‌ථ වුවාය. අපිළිවෙලට තිබු ඒබ්‍රහම්ගේ නිවස ඇයගේ පැමිණීම සමග පිළිවෙළ විය. දරුවන්ට අකුරු උගන්වන්නට ඇය උනන්දු වූවාය. නොමදව ආදරය ලබා දුන්නාය. මේ නිසාම ඒබ්‍රහම් ඇය අමතන ලද්දේ අම්මා නොව දේව මාතාව යන නමින්ය.

ඒ අතරම ඔහුගේ නැගනියද මියයැම දරා ගත නොහැකි වේදනාවක්‌ වුවද ඒබ්‍රහම් මේ සියල්ල ඉතා හොඳින් අවශෝෂණය කර ගත්තේය. ජීවත්වීමට මගක්‌ ගැන සිතමින් සිටි ඒබ්‍රහම් දර පැලීමෙහි සහ ගස්‌ කැපීමෙහි නිරත වූයේය. පෙදරේරු වැඩ වෙනුවෙන් යෙදුනේය. එයින් පසු ධාන්‍ය විකිණීමෙහි යෙදුනේය. මෙසේ ධාන්‍ය රැගෙන දුර යන ගමනේදී නිග්‍රෝ ජාතික මුහුදු කොල්ලකරුවන් ඒබ්‍රහම්ට කරදර කරන්නට වූයේය. මේ අතර ඔවුහු පදිංචිය සඳහා ඉලිනොයි ප්‍රදේශයට පැමිණියහ.

1828 වසරේදී පාරුකරුවෙකු ලෙසින් සේවය කරන විට කලු ජාතික නිග්‍රෝ වහලුන්ගේ දුක්‌€sත තත්වය දැක මෙම මිනිසුන් වහල් බවෙන් මුදවන්නට ඉටා ගත්තේය. දම්වැල්වලින් බඳින ලද නිග්‍රෝ ජාතිකයන් කස පහර දෙමින් ගෙන එන ලදී. අමානුෂික බව සහ යුක්‌තිය පිළිබඳව වු මානුෂීය හැඟීම් සිත පහළ විය. කෑම කෑමට එක්‌ පිරිසකුත් කෑම පිලියෙළ කර දීමට තවත් පිරිසකුත් සිටීම යුක්‌ති සහගත නොවන බව ඔහු අවධාරණය කළේය. මේ කාල වකවානුවේදී මිසිසිපි ගඟේ වම් පෙදෙසේ බලය ඉන්දියානුවන් සතුව පැවැති අතර මෙම වපසරිය පුලුල් කර ගනු වස්‌ විනිබැගෝ ප්‍රදේශයටද ව්‍යාප්ත වීම රෙනෝල්ඩ් නම් ආණ්‌ඩුකාරවරයාගේ කෝපයට හේතු විය. ඔහු සේනා සංවිධානය කළේය. ස්‌වේච්ඡා සේවකයන් මේ වෙනුවෙන් කැඳවන ලද අතර ඒබ්‍රහම් මෙම ස්‌වේච්චා සේනාවේ නායකයා වුයේය.

වයස විසි එක සපිරි ඒබ්‍රහම් ඕරලියන්ස්‌ වෙත ගිය ගමනේදී වහලුන් විකුණන වෙන්දේසියක්‌ ඇස්‌ ඉදිරියේ දර්ශනය විය. මීට පෙර තමා නොදැක සිටි මෙම දසුන ඔහුගේ සිත කම්පාවට පත් විය. ශක්‌තිමත් රූමත් තරුණියන් වෙන්දේසියට පෙරාතුව දේහ විලාසය පෙන්වා මිල තීරණය කරන්නට සුදානමින් සිටියදි වෙන්දේසිකරුවන් ඇයගේ සිරුරේ මස කොනිත්තන විට ඇය අශ්වයෙකු සේ කාමරය පුරා දිවගිය දසුන ලින්කන්ගේ සිත කම්පාවට පත් කළේය.

ලියුම් බෙදන්නෙක්‌ ලෙසින් මෙන්ම, නිව් සලෙම් මධ්‍යස්‌ථානයේ තැපැල් ස්‌ථානාධිපති ලෙසින්ද, කටයුතු කළ ලින්කන්ගේ ඊළග අරමුණ වූයේ මිනින්දෝරුවෙක්‌ ලෙස කටයුතු කිරීමයි. ත්‍රිකෝණමිතිය ලඝූ ගණක හදාරා මේ වෙනුවෙන් යොමුවීමට අදහස්‌ කරමින් සිටි ඒබ්‍රහම් නිතිය ගැන දක්‌වන ලද නැඹුරුතාවය නිසාම නිතිඥවරයෙකු බවට පත් වීම ජීවිතයේ තවත් සන්ධිස්‌ථානයක්‌ බවට පත් විය. 1834 වසරේදී මන්ත්‍රණ සභාවට තරග කොට ජයගත්තේය. 1836, 1838 සහ 1840 යන වර්ෂවලදී ජයග්‍රහනය කළ අතර 1841 වසරේදී එක්‌සත් ජනපදයේ ව්‍යවස්‌ථාදායක සභාවට තරඟ කොට ජය ගත්තේය. වරෙක සෙනෙට්‌ සභාවටද සභිකයෙකු ලෙස පත්වූයේය.

මේ අතර ඒබ්‍රහම්ගේ පෞද්ගලික ජීවිතයේද, පරිවර්තනයක්‌ උදාවිය. තාරුණ්‍යයේ ආදරණීය සිතුවිලි පහළ වෙන විට ඔහු තිස්‌තුන් වන වසරට පත්ව සිටියේය. කැන්ටකි ප්‍රදේශයේ වැදගත් කුල කාන්තාවක වූ මේරි ටොඩ් සමග විවාහ වුන ඔහු දූ දරුවන් සතර දෙනෙකුගේ පිය පදවිය ලැබුවේය. දෙවැනි පුතා බාල වයසේදීද, තුන්වැනි පුතා ඊට ටික කළකට පෙරාතුව මියගිය අතර, දරුවන්ගේ වියෝගය ඔහුගේ සිතට මහත් කම්පනයක්‌ ඇති කරන ලදී.

ඒබ්‍රහම් ලින්කන් තම පුතුගේ මුල් ගුරුවරයාට යවන ලද ලිපිය අධ්‍යාපනය වෙනුවෙන් ගුරු භුමිකාව සැකසිය යුත්තේ කෙසේද යන්නට පුර්වාදර්ශයක්‌ වී ඇත.

ආදරණීය මුල්ගුරුතුමෙනි,

හැම මිනිසෙක්‌ම සත්‍යවාදී හා සර්ව සාධාරණ නොවන බව කරුණාකර මගේ පුතාට කියා දෙන්න. හැම දුර්ජනයෙක්‌ම පාසා යහපත් විරවරයෙක්‌ සිටින බව පුතාට කියා දෙන්න. හැම තක්‌කඩියෙක්‌, දුර්ජනයෙක්‌ පාසාම යහපත් වීරවරයෙකුත් සිටින බවත් මගේ පුතාට කියා දෙන්න.

සෑම ආත්මාර්ථකාමි දේශපාලඥයෙකු වෙනුවට රටේ සුබ සිද්ධියට කැප වුන දේශපාලන දූ පුතුන්ද සිටින බව මගේ පුතාට කියා දෙන්න. හැම මිනිසෙක්‌ම සත්‍යවාදී සහ සාධාරණ නොවන බව මගේ පුතාට කරුනාකර උගන්වන්න.

සෑම ආත්මාර්ථකාමි දේශපාලඥයෙකු වෙනුවට රටේ සුබ සිද්ධියට කැපවුන යහපත් දේශපාලන දූ පුතුන් සිටින බව මගේ පුතාට ඒත්තු ගන්වන්න. සෑම සතුරෙකු පාසාම මිතුරෙක්‌ සිටින බවත් අනුන්ගෙන් ලබන ඩොලර් පහට වඩා, තමාගේ දහඩිය මහන්සියෙන් උපයන ඩොලරය වටිනාකමෙන් වැඩි බව ඔහුට ඒත්තු ගන්වන්න. එය ඔහුට උගන්වන්න කාලයක්‌ ගත වෙන බව මම දනිමි. නමුත් මෙම න්‍යාය ඔහුට ඉගැන්විය යුතුයි.

පරාජය විඳ දරා ගන්නත්, ජයග්‍රහණය නිහමානිව විඳගන්නත් ඔහු දැන සිටිය යුතුයි. ඇතැම් අය ඔහු යටපත් කරන්න ඊර්ශ්‍යාවෙන් කටයුතු කරයි. ඒ ගැන කළකිරීමක්‌ නැතුව සන්සුන් වෙමින් සිනාසෙන්නට හැකි ශක්‌තියේ රහස ඔහුට උගන්වන්න. තමන්ගේ හයිහත්තිය පෙන්වා මිනිසුන් ගන්වන්නට එන අය පරාජය කිරීම ඉතාම පහසු බව කියාදෙන්න.

මුල්ගුරුතුමෙනි, ඔබට හැකි නම් ඔහුට පොතෙහි ඇති චමත්කාරය පෙන්වා දෙන්න. එපමණක්‌ නොවෙයි අහසේ සැරිසරන කුරුල්ලන්, හිරු රැසේ පියාඹන මීමැස්‌සන්, නිල්වන් කඳු බෑවුමක පිපි වැනෙන වනමල් කියාපාන සදාතනික රහස ගැන නිවී සැනසිල්ලේ සිතන්නට, ඉඩ හරින්න. වංචා කිරීමට වඩා හොර මැරකම් කිරීමට වඩා පරාජයට මුහුණ දීම ගෞරවාන්විත බවත්, අනිත් අය කුමක්‌ කීsවත් තමන්ගේ අවංක අදහස්‌ ගැන විශ්වාසය තබා ක්‍රියාකිරීම වැදගත් බවත්, වටිනා බවත් ඔහුට කියා දෙන්න.

ඒ වගේම මුල්ගුරුතුමෙනි, මිනිසුන්ට මෘදු මොලොක්‌ විදිහට සලකන්නත්, රලු මිනිසුන්ට දැඩි ලෙස සලකන්නත්, තමන් වටේ සිටින උදවිය කරන දෙය අන්aධානුකරනයෙන් පිළි නොගෙන තමන්ගේ බුද්ධිය මෙහෙයවා යුතුකම් අයුතුකම් තේරුම් කර ගෙන ක්‍රියා කිරීමේ ශක්‌තිය ඔහුට ලබා දෙන්න.

සෑම දෙනෙකුටම සවන් දීමට ඔහුට උගන්වන්න. එහෙත් ඔහු අසන දෙය සත්‍යය අනුව කිරා මැන බලා හොඳ දෙය පමණක්‌ ගන්නට ඔහුට හැකියාව ලබා දෙන්න. කුමන දුකකට පත් වුවත් එයින් පරිපීඩනය නොවී සිනාසෙන්න ඔහුට උගන්වන්න. කඳුලු හෙළීම ලැඡ්ජාවට කරුණක්‌ නොවන බවත් ඔහුට කියා දෙන්න.

හැම දෙයකම වැරැදි සොයන්නන් ගණන් නොගෙන සිටීමටත් මිහිරි චාටු දොඩන්නන් ගැන පරෙස්‌සම් වෙන්නත් ඔහුට කියා දෙන්න. තමන්ගේ සිතේ වැඩිම මිලට ඉල්ලන්නන්ට විකුනුවත් තමන්ගේ හදවත සඳහා කිසිම විටක මිලක්‌ නොඉල්ලන්නට ඔහුට කියා දෙන්න. බොරු ඝෝෂාවන් නගන සෙනඟ මධ්‍යයේ කන් වසාගෙන සිටින්නට ඔහුට ධෛර්යය දෙන්න. තමන් සත්‍ය යෑයි පිලිගන්නා දේ වෙනුවෙන් ධෛර්යමත්ව සටන් කරන්න ඔහුට උගන්වන්න. මුල්ගුරුතුමෙනි. . . . . . ඔහුට මෘදු ලෙස සලකන්න. නමුත් ඔහු හුරතල් කරන්න. එපා.

වානේ හොඳින් තැනිය හැක්‌කේ ගින්නෙන් රත් වූ විට බව ඔහුට පැහැදිලි කරන්න. ඒ නිසා ජීවිතයේදී තමාට හැඩි දැඩි රස්‌නයක්‌ දැණුනොත් ඔහු කාටවත් යටත් කළ නොහැකි කෙනෙක්‌ ලෙස දියුනුවීමට එම අත්දැකීම් ප්‍රයෝජනයට ගනු ඇත. ධෛර්යවන්තව දරා ගත යුතු නිර්භීතකමට අවශ්‍ය ඉවසීම ඔහුට තිබිය යුතුයි. හැම වීටම තමා ගැන උදාර උසස්‌ විශ්aවාසය ඇති කර ගැනීමට උගන්වන්න. මුලු මහත් මිනිස්‌ වර්ගයා ගැන එබඳු විශ්වාසයන් ඇති කර ගැනීමට මේ අනුව ඔහුට පුqළුවන් වනු ඇත.

ඒබ්‍රහම් ලින්aකන්

කාලයත් සමගම ඒබ්‍රහම් ලින්කන් නම් වු නීතිඥයාගේ කීර්තිය පතළ වුයේය. ඔහුගේ සාධාරණත්වය, කථිකත්වය, තර්කනය ප්‍රසිද්ධ විය. ඔහු පෙනී සිටි පක්‌ෂය නිරන්තරව ජය වාර්තා කරන ලදී. මේ නිසා ලබා ගත් කිර්තිනාමය නිසාම ඒබ්‍රහම් 1847 වසරේ වහල් සේවය මුදවනු වස්‌ කොන්ග්‍රස්‌ අසුනක්‌ ලබා ගැනීමට වොෂිංටනය බලා ගියද, එය සාර්ථික වුයේ නැත. වහල් මෙහෙය වෙනුවෙන් වූ විරෝධතාවයන් රට පුරා පැතිරෙන්නට වු අතර 1854 වසරේදී වහල් මෙහෙයට එරෙහිව සංවිධානාත්මක වැඩ පිළිවෙලක්‌ ආරම්භ විය. පිරිසක්‌ කියා සිටියේ වහල් මෙහෙය ඇමරිකාවේ පැවතිය යුතු බවයි. නමුත් ඒබ්‍රහම් මෙම අදහස තරයේ ප්‍රතික්‍ෂෙප කරන ලදී. මේ අතර කැන්සාස්‌ සහ නැබ්‍රස්‌කා වැනි ප්‍රදේශයන්හි වහල් මෙහෙය පිලිබඳව වග කිව යුතු නිලධාරියෙකු වු ඩග්ලස්‌ වහල් මෙහෙය ස්‌ථාපිත කරන්නට යත්න දරද්දී, නිදහස්‌ මතධාරී ඒබ්‍රහම් මේ වෙනුවෙන් දැඩි විරෝධය පළ කරන ලදී.

නිදහස්‌ මතධාරී ඒබ්‍රහම් පිළිබඳව වු කිත් යසස පතළ වූයේය. මේ අතර ඔහුට විරෝධය වෙනුවෙන් පිරිසක්‌ද පහළ විය. 1859 වසරේ පැවැති ජනාධිපතිවරණය වෙනුවෙන් ඒබ්‍රහම් නාම යෝජනා ඉදිරිපත් කරන ලදී. විරුද්ධ පාක්‌ෂිකයන් ඒබ්‍රහම්ගේ පෞද්ගලිකත්වය පවා නිර්දය ලෙස හෙලා දකින ලදී. ඔවුන් පලන ලද දර ලී දෙකක්‌ රැගෙන ගොස්‌ එය ප්‍රදර්ශනය කරමින් මේ ඔබගේ වීර තරුණයා 1830 වසරේදී කළ දස්‌කමකි. සියතින් පලා සකස්‌ කරන ලද මෙම දර ලී දෙක ජනාධිපති ධුර වෙනුවෙන් වහලෙකු, දුබලෙකු, නීචයෙකු පත් කර ගත නොගත යුතු බවට වු සාක්‌ෂිsයකි යෑයි විවේචනය කරන පිරිසට ඒබ්‍රහම් විසින් ලබා දුන් පිළිතුර වූයේ "දුප්පත්කම ලැඡ්ජාවක්‌ නොවන බවත්, ලඡ්ජාව නම් එය නැති කිරීමට වෑයම් නොකිරීම බවත් ලින්කන් පැවසීය." මේනිසා ඔහු වෙත තව තවත් මහජන ප්‍රසාදය ඇති විය. 1860 වසරේ මැයි මාසයේදී ඒබ්‍රහම් ලින්කන් ජනාධිපති ධුර අපේක්‌ෂකයා ලෙස තෝරා ගැනීමට තීරණය වූයේය. එවකට එක්‌සත් ජනපදයට ප්‍රාන්ත තිස්‌ තුනක්‌ තිබුන අතර ඔහු ඡන්ද 1865583 ක්‌ සහ තේරුම්කාර ඡන්ද එකසිය අසුවක්‌ ලැබුවේය. ප්‍රතිවාදී එමිවන් ඩග්ලස්‌ ඡන්ද 1382713 ක්‌ හා තේරුම්කාර ජන්ද 12 ක්‌ ලබා ගත්තේය. 1861 වසරේ මාර්තු මස තර වෙනි දින ඒබ්‍රහම් ලින්කන් අමරිකාවේ දහසය වෙනි ජනාධිපති ලෙසින් තේරී පත් වූයේය. ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයාට ධවල මන්දිරයට යැමට විශේෂ දුම්රියක්‌ සුදානම් කරන ලදී. ඒ යන අතරමග විශාල ජනකායක්‌ රැස්‌වෙමින් නව ජනාධිපතිවරයාට සුබ පතන ලදී. දුම්රිය වෙස්‌ට්‌ෆSල්ඩ් නගරයට ආසන්න වෙත්ම ජනාධිපතිවරයාට යමක්‌ සිහිපත් වූයේය. ඔහු අපේක්‌ෂකයෙකු ලෙසින් සිටි කාලයේ කුඩා දැරියක්‌ විසින් එවන ලද ලිපියක සඳහන් වූ දෙය ජනාධිපතිවරයා විසින් මේ වෙන විටත් ඉටු කොට තිබුණි.

ලින්කන් මැතිතුමෙනි,

ඔබ ඇමරිකාවේ ජනාධිපති වනවාට කැමැත්තෙන් සිටින අය අතර මමත් සිටිනවා. මම තවම අවුරුදු එකොළහක දැරියක්‌. මම මේ විදිහට ලියනවාට ඔබ මගෙත් එක්‌ක අමනාප නොවෙනු ඇතැයි සිතමි. මම ඔබේ අඩුවක්‌ දැක්‌කා. ඔබේ මුහුණ හැකිලිලා... හකු ඇකිලිලා. ජනාධිපතිවරයෙක්‌ ලෙසින් වු පෞරෂය වෙනුවෙන් ඔබේ පෙනුම ගැලපෙන්නේ නැහැ. මම ඔබට එක්‌ උපදෙසක්‌ දෙන්නම්. එතකොට ඔබගේ මුහුණට අමුතු පෙනුමක්‌ ලැබේවි. එතකොට ඔබේ අඩුව වැසි යනු ඇති. මට සහෝදරයන් සතර දෙනෙක්‌ ඉන්නවා. ඒ අතරින් දෙදෙනෙක්‌ ඔබට ජන්දය දෙන්න දැනටමත් තීරණය කරගෙන සිටිනවා. නමුත් අනිත් දෙදෙනාගේ ජන්දය ගැන තවම තීරණයක්‌ නැහැ. ඔබතුමා රැවුල වවලා පෙණුම දියුනු කර ගත්තොත් මට ඒ දෙන්නාටත් ඔබට ජන්දය දෙන්න උනන්දු කරන්න පුලුවන්.

ඹබට ජය

මම ග්‍රේස්‌ බෙඩල්

මෙතැන ග්‍රේස්‌ බෙඩල් දුව ඉන්නවාද? ඉන්නවා. . . .

ටිකක්‌ ඉදිරියට එන්න. . . . .

ඇය ඉදිරියට ආවාය.

ඔයා ග්‍රේස්‌ බෙඩල්ද ?. .

ඔව්. .

ජනාධිපතිවරයා ඇය වඩාගෙන කම්මුල සිප ගත්තාය.

ඔයා කිව් නිසා මම රැවුල වැව්වා. . . මම දිනුවා. . . දැන් මම ලස්‌සනයිද ?

ගේ්‍රස්‌ මෙම ලිපිය රාමුකර සිය නිවසේ එල්ලා ගත් අතර එය කෞතුක වස්‌තුවක්‌ ලෙස සුරක්‌ෂිත කරන ලදී. 1966 වෙන තුරු මෙම ලිපිය ග්‍රේස්‌ බෙඩල්ගේ මුනුපුරන් සතුව පැවැති අතර ඔවුන් විසින් එය පසුකලෙක ඩොලර් 2000 කට වෙන්දේසියේ විණනන ලදී. මෙම ලිපිය ඩේවිඩ් වොල්ෆර් නම් සිහිවටන එකතු කරන්නෙකු සතුව ඇත. 1863 වසරේ සිය විමුක්‌ති ප්‍රකාශය ප්‍රසිද්ධියට පත් කරන ලදී. මේනිසා ජනප්‍රියත්වයට පත් ඒබ්‍රහම් ලින්කන් ඡන්ද 2206398 ක්‌ සහ තේරුම්කාර ඡන්ද 21 ක්‌ ලබමින් දෙවන වරටත් ජනාධිපතිවරනය ජය ගත්තේය. මේ වන විට එක්‌සත් ජනපදයට තවත් ප්‍රාන්ත තුනක්‌ එක්‌වි තිබුණි. ජනාධිපති ලෙස තේරී පත් වුන අතර 1865 වසරේදී වහල් බව නිති විරෝධි බව ප්‍රකාශ කරමින් 13 වැනි ආන්ඩුක්‍රම ව්‍යවස්‌ථාව නිකුත් කරන ලදී.

1865 වසරේ අප්‍රේල් මහ සිකුරාදා දිනයේදී ඒබ්‍රහම් ලින්කන් අවදිවුයේ සමාන්‍ය දිනයක වූ ප්‍රබෝධමත් ගතියෙන්ය. වසර හතරක්‌ මුලුල්ලේ පැවැති සිවිල් යුද්ධය අවසානවීම ඒ වෙනුවෙන් බලපාන ලද එක්‌ හේතුවකි. මෙදින වොෂිsංටනයේ ෂොවෝඩ් රංගශාලාවේ විකට නාට්‍යක්‌ වේදිකා ගත වෙන්නට නියමිතව තිබුනි. අලුයම මුද්‍රණය වු පුවත්පත්වල මාතෘකාව වී තිබුනේ අද දින වේදිකා ගත වෙන නාට්‍ය නැරඹීම වෙනුවෙන් ලින්කන් ජනාධිපති සහ ආර්යාව සහභාගි වෙන බවයි. හවස්‌ වෙන විට ආර්යාව මේ ගමනට මැලි වුවද ජනාධිපති වරයාගේ ඉල්ලිම නිසා ආර්යාවද රංගශාලාවට ගියහ. මේ වන විට නාට්‍යය ආරම්භ වි තිබුන අතර මේජර් හෙන්රිද රංගශාලාවට පැමිණ සිටියහ. කුටියේ ආරක්‌ෂකයා ජෝන් පාකර් නම් පොලිස්‌ භටයෙක්‌ වූ අතර මේ ප්‍රභූ පිරිස ඉහළ මාලයේ අසුන් ගත්හ. පොලිස්‌ නිලධාරියා කුටියේ දොරටුව අගුලු නොදමා අසල වු සුරාසැලට ගියේය. ජනාධිපතිතුමා නාට්‍යයේ විකට ජවනිකා රස විඳිමින් සිටි අතර දොරටුවෙන් ඇතුළු වු පුද්ගලයෙක්‌ කැලිබර් වර්ගයේ තනි කානුවේ පිස්‌තෝලයකින් ජනාධිපතිතුමාට වෙඩි ප්‍රහාරයක්‌ එල්ල කරන ලදී. ආරක්‌ෂක නිලධාරි මේජර් හෙන්රි ඉදිරියට පැන්නද, ප්‍රහාරය වලක්‌වා ගත නොහැකි විය. මේජර්වරයාගේ අතද පිහි පහරින් ඉරා දමමින් ඝාතකයා ඉහළ මාලයේ සිට වේදිකාවට පැන්නේය එවිට වේදිකාව අසල එල්ලා තිබු කොඩියක්‌ පැටලි පිම්ම අසාර්ථක විය. කකුල බිඳී ගියද, පිටුපස දොරටුවෙන් එලියට ගොස්‌ අඳුරේම අශ්වයෙකු පිට නැග පලා ගියේය.

රංගශාලාවේ සිටි වෛද්‍යවරයෙක්‌ ජනාධිපති ආර්යාවගේ විලාපය ඇසි එම කුටියට දිව ගියේය. මේ වන විටත් ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමා අමාරුවෙන් හුස්‌ම ගනිමින් සිටියේය. වෛද්‍යවරය වහාම ජනාධිපතිවරයා රඟහල ඉදිරිපිට නිවසකට රැගෙන ගියද, ජීවත්විමේ වාසනාව ඒ වන විටත් පලා ගොස්‌ හමාරය. සිද්ධිය අසා කම්පාවට පත් ජන ගංගාව රංගශාලාව වෙතට ඇදී ආවද, වෙඩි තබා පැය නවයක්‌ ගත වෙත්ම ජනාධිපතිවරයා මියගිය බවට වු නිල නිවේදනය නිකුත් විය. ජනාධිපති සිරුර ගරු බුහුමන් සහිතව ධවල මන්දිරයට රැගෙන යන ලදී. පශ්චාත් මරණ පරීක්‌ෂණයේදී ශල්‍ය වෛද්‍යවරයා විසින් ජනාධිපතිවරයාගේ මොළය ඉවත් කරද්දී එහි වු මුනිස්‌සම වෛද්‍යවරයාගේ ඇඟිලි අතරින් මිදී බේසමට වැටුණි.

ලෝකය වෙනස්‌ කළ පුංචි උණ්‌ඩයක්‌. . . වෛද්‍යවරයාට කියෑවිනි.

ජනාධිපතිවරයාට වෙඩි තබා වර්ජිනියාවට පළා ගිය ජෝන් පැය දොළහක්‌ තුල අත්අඩංගුවට ගැනීමට තැත් කළද, යටත්වීම ප්‍රතික්‍ෂෙප කළ ඔහු වෙඩි තබා ගත්තේය.

ඒබ්‍රහම් ලින්කන් දුප්පතෙකු ලෙස ඉපිද දුප්පත්කම ජීවිතයේ ජවය කර ගත්තේය. පෞද්ගලික ජීවිතයේදී පහර පිට පහර ලබමින් ඉදිරියට ගියේය. දේශපාලනයෙන් පන්නරය ලැබුවේය. ඇමරිකාවේ ප්‍රථම පුරවැසියා දක්‌වා වු ගමන් මග මල් පියලි එලා තිබුනේ නැත. කටු කොහොල් දැක පැකිලුනේද නැත. අපරාජිත නාමය වෙනුවෙන් ඔහුගේ මග සැකසුනේ එසේය.

තමාගේ රට ගැන ආඩම්බර වෙන මිනිසෙකු දැකිමට මම කැමැත්තෙමි. ඔහුගේ රටට ඔහු ගැන ආඩම්බර විය හැකි අයුරින් ජීවත් වෙනු දකින්නට මමද කැමැත්තෙමි. . . . ඒබ්‍රහම් ලින්කන් රට ගැන ආඩම්බර වුයේය. . . ලෝකයා ඒබ්‍රහම් ලින්කන් ගැන තවමත් අභිමානයෙන් කතා කරන බව නොරහසකි. මිනිසෙකු ජීවත් වූ බව ඔහු ලෝකයාට දැනුම් දුන්නේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.