ස්‌වභාවධර්මය නීචයන්ට දඬුවම් දීම

ශ්‍රී ලංකාවේ මනුෂ්‍ය ප්‍රජාව දෙකෝටි විසිලක්‍ෂයකි. ශ්‍රී ලංකාවේ ගව ප්‍රජාව එක්‌කෝටි අනුහත් ලක්‍ෂයකි. මේ සත්ත්ව ගහනයෙන් 20% ක්‌ වැස්‌සියෝ ය. ශ්‍රී ලංකාවේ සූකර ප්‍රජාව ගැන සංඛ්‍යා ලේඛන නැතත් දිනපතාම මරලාත් ඉවර කරන්නට බැරි ඌරන් පිරිසක්‌ රට තුළ සිටින බව ඌරු මස්‌ කඩ දෙස බලන විට පෙනෙයි. ලංකාවේ එළුමස්‌ ගැන නම් එතරම් 'ෂුවර්' එකක්‌ නොතබන්න. මන්ද එළුවන් හිඟවන විට සුනඛයන්ද මරා එළුවන් ලෙස විකිණීමේ ප්‍රවණතාවක්‌ මස්‌කඩකාරයන් තුළ තිබේ.

වවුනියාව, අනුරාධපුරය, පුත්තලම, ත්‍රිකුණාමලය, අම්පාර යන ප්‍රදේශවල මස්‌ පිණිස ගවයන්, එළුවන් සහ සූකරයන් ඝාතනය කිරීම තහනම් කර ඇත. එයට හේතුව එම ප්‍රදේශවල ගව, එළු, සූකර ප්‍රජාව අතර කුර සහ මුඛ රෝගය පැතිර යැමය. සංඛ්‍යා ලේඛනවලට අනුව උතුරු මැද පළාතේ ගවයන් 60,000 කගෙන් 30,000 කට Foot - and - Mouth disease හෙවත් ගව කුර සහ මුඛ රෝගය (Aphtae epi'ooticae) වැළඳී තිබේ. මේ අසරණ සතුන් මරා මස්‌ කොක්‌කට එන විට ඇති විය හැකි හානිය අති විශාල ය.

කතු වැකියක්‌ යනු නිතරම අධ්‍යාපනික වටිනාකමක්‌ ඇති ලියෑවිල්ලක්‌ විය යුතු ය යන හැඟීම අප තුළ තිබේ. ඒ අනුව කුර සහ මුඛ රෝගය කුමක්‌ දැයි කෙටියෙන් ලියමු. මෙය වෛරසයක්‌ මගින් හට ගන්නා බෝ වන රෝගයකි. මෙය දෙකට බෙදුනු කුර සහිත සතුන්ට පමණක්‌ වැළඳෙයි. ඒ අනුව නොබෙදුන කුර සහිත අශ්වයන්ට මෙය බලපාන්නේ නැත. මෙය වල් ඌරන්ටත්a වැළඳෙයි. රෝගය වැළඳුනු පසු රෝගයට ඉතා සැර උණක්‌ පවතී. ඒ අතර රෝගියාගේ මුඛයෙහි සහ පාවල දිය බුqබුළු හට ගෙන පුපුරා සැරව ගලන්නට පටන් ගනී. එම රෝගය වැළඳුන සතුන්ගේ මස්‌ අනුභවයෙන් පමණක්‌ නොව ඒ සතුන් සමඟ ගැවසෙන අයට ද ඒ සතුන් මරා මස්‌කන සතුන්ගේ මස්‌ අනුභව කරන අයට ද මෙය වැළඳෙයි. ඉතාම නරකම තත්ත්වය වන්නේ මෙය අලි ඇතුන්ට ද වැළඳීම ය. කුකුළන්ට, මීයන්ට සහ ඌරු මීයන්ට මෙය බෝවන්නේ නැත. රෝගය ඇති කරන වෛරසයේ නම Picornavirus ය. රෝගය වැළඳෙන මහලු සතුන්ට එය දරා ගත හැකි නමුත් තරුණ සතුන්ට දරාගත නො හැක. ඒ නිසා තරුණ සත්තු වහා මියයති. නූතන ලෝකය කොතරම් වාණිජවාදී ද, කොතරම් දුෂ්ටද යත් මෙවැනි රෝගයක්‌ හට ගත් විට රෝගී සතුන්ට ප්‍රතිකාර කරන්නේ නැත. උන් බුරුතු පිටින්ම මරා දමනු ලැබේ. මෙයට අවුරුදු කිහිපයකට පෙර යුරෝපයේ ගවයන්ට මේ රෝගය වැළඳින. එකල අනුකම්පා විරහිතව ඒ සතුන් ඝාතනය කරන ලදී. මෙයට කලකට පෙර ආසියාතික රටවල් කිහිපයක කුකුළන්ට බෝවන රෝගයක්‌ වැළඳුන අවස්‌ථාවකදී විශාල වළවල් තුළට කුකුළන් පණපිටින් දමා වළලන ලදී. එක වළකට දැමූ කුකුළන් ගණන පනස්‌දහසක්‌ පමණ විය. මෙවැනි වළවල් 10 ක්‌ වසන විට කුකුළන් පන්ලක්‍ෂයකගේ ජීවිත අවසන් ය.

මස්‌ පිණිස සතුන් හැදීම මෙන්ම උන් ප්‍රවාහනය කිරීම ද, මැරීම ද අපේ රටවැසියන් සිදු කරන්නේ ඉතාම නීච සහ පහත් ආකාරයකට ය. ඌරෙක්‌ මැරීමට පළමු මස්‌ මෙළෙක්‌ වීමට යෑයි කියා උන් ගස්‌ බැඳ කටට උතුරණ වතුර වත්කර පිහිවලින් අනිනු ලැබේ. ගවයන් මැරීමට පළමු කුළුගෙඩි වලින් පහර දී බිම දමා කකුල් කඩා ගෙල කපනු ලැබේ. එළුවට කොස්‌ කොළ අත්තක්‌ පා ළඟට කතා කර පිහියෙන් අනිනු ලැබේ. මෙබඳු නීචකම් කරන මනුස්‌සයන් සිටින ජාතියකට මුඛ සහ කුර රෝගය පමණක්‌ නොව එයට වඩා දරුණු අසනීප වැළඳුනත් කරන්නට දෙයක්‌ නැත. අප කරන්නේ වැපිරූ පල නෙළීම පමණි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.