දේශපාලන හා සමාජ ප්‍රතිසංස්‌කරණයකට
නොගොසින් බැරිය!


ඉන්දියාවේ දැන් පවත්නා දූෂිත දේශපාලන ක්‍රමයේ ඉක්‌මන් වෙනසක්‌ සිදු නොවුවහොත් ඉන්දියාව කෑලිවලට කැඩී යැමේ අනතුරක්‌ තිබෙන බව, එරට දූෂණ විරෝධී නව පක්‍ෂයේ නායක අරවින්ද් කෙඡ්රිවාල් පසුගිය දිනක විදෙස්‌ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණි. කෙඡ්රිවාල්ගේ මෙම ප්‍රකාශය සමග මනාව සැසඳෙන අනතුරු හැඟවීම් ශ්‍රී ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන්ද ඇසෙයි. එහෙත් ඒවාට සංවේදී වන්නෝ කවරහුද?

ශ්‍රී ලංකාවේ ද දැන් පවත්නා බාල දේශපාලන සංස්‌කෘතිය මේ සියලු විනාශයන්ට කදිම ආවරණයක්‌ සලසන බවද රහසක්‌ නොවේ. ප්‍රබල ඇමැතිවරයකු වන ඩලස්‌ අලහප්පෙරුම මහතා ද දැන් පවතින මනාප මැතිවරණ ක්‍රමය ගැන හඳුන්වා තිබුණේa ඉතාම දුෂ්ට අශීලාචාර අතාර්කික එකක්‌ ලෙසටය. අපි ද එය දැතම ඔසවා අනුමත කරමු.

මෙම ගර්හිත දේශපාලන ක්‍රමය දූෂණය වංචාව නඩත්තු කරන්නා වූද, ප්‍රජාතන්ත්‍රවාදයේ හරයට බරපතළ අනර්ථකාරී පීඩන එල්ල කරන්නා වූද එකක්‌ බව පොදුවේ කවුරුත් පිළිගනිති. මෙ තුච්ඡ ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී විලාසයෙන් ඡේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩුව විසින් බල ගන්වන ලද්දක්‌ බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් මේ ක්‍ර්‍රමය නඩත්තු කරමින් සිය දේශපාලන ආධිපත්‍ය තහවුරු කිරීම හැර එහි වෙනසක්‌ කිරීමට බලයට පත්වන කිසිවකුට අවංක වුවමනාවක්‌ නැති බව අපගේද අදහසය. ජයවර්ධනගෙන් පසු බලය ලද චන්ද්‍රිsකා බණ්‌ඩාරනායකට හෝ මේ ගැන අවංක විරෝධයක්‌ තිබුණේ නැත. දෙවරක්‌ම මෙරට ජනාධිපති ධුරය හෙබ වූ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මියටද තමන් විසින්ම බහුබූත ව්‍යවස්‌ථාවක්‌ ලෙස හැඳින්වූ මෙම ක්‍රමය වෙනස්‌ කිරීමට නොහැකි විය.

මෙම ව්‍යවස්‌ථාව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ හරයට බාධා පමුණුවන විකෘතියක්‌ බවත් මෙහි එන ඊනියා සමානුපාතික නියෝජන ක්‍රමය ව්‍යාජයක්‌ බවත් මේ ක්‍රමය පිළිබඳ අර්ථවත් විචාරයක්‌ කළ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා ද පැහැදිලිව දක්‌වා තිබිණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ අභාවයෙන් හෝ ඉල්ලා අස්‌වීමෙන් හෝ ඇතිවන පුරප්පාඩුවක්‌ සඳහා යළි පත්වන්නේ එම පක්‍ෂයේම මැතිවරණ ලැයිස්‌තුවේ ඊළඟට සිsටින අයෙකි. මෙය ඉතා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්‌ වූ අතුරුමැතිවරණ ක්‍රමය අහෝසි කරමින් හඳුන්වා දෙන ලද සටකපට නීතියක්‌ බව එදා ආචාර්ය ඇන්. ඇම්. කියා සිටියේය.

අද මේ රටේ ජනතාවට සිදුව ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් පාලකයන් අදහස්‌ කරන මැතිවරණවලදී සිය ඡන්දය නැතහොත් මනාපය ප්‍රකාශ කිරීම පමණක්‌ නොවේද? මේ දිනවල යළිත් බස්‌නාහිර හා දකුණ පළාත් සභා සඳහා මැතිවරණ දෙකක්‌ නියම වී තිබේ. එහෙත් මෙම මැතිවරණ සටන් ගැන විපක්‍ෂයෙන් කෙරෙන බරපතළම විවේචනය වී ඇත්තේ එහිලා සාධාරණ හෝ යුක්‌ති සහගත අවකාශයන් විපක්‍ෂවලට නොමැති බවය.

ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන් වේදිකාවලදී කියා සිටින්නේ විපක්‍ෂයේ අසමත් භාවය නිසා කිසිදු මැතිවරණයක්‌ ජය ගැනීමට ඔවුන්ට නොහැකි බවය. අද එ.ජා.ප. ය තුළ අර්බුදයක්‌ ඇත. ඒ පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මතු වූ කැරැල්ලක ප්‍රතිඵලයකි. එ.ජා.ප. ය සිය අසමත් භාවය පිළිනොගන්නා අතරම, මේ රටේ ස්‌වාධීන මැතිවරණ කොමිසමක්‌ පොලිස්‌ කොමිසමක්‌ හා අල්ලස්‌ හෝ දූෂණ කොමිසමක්‌ ස්‌ථාපිත කරන තෙක්‌ මැතිවරණ පවත්වා තේරුමක්‌ නැති බවද කියා සිටියි.

අද පොලිසිය මෙන්ම මැතිවරණ කොමසාරිස්‌වරයා ද බෙලහීන බවට පත්ව ඇතැයි කෙරෙන විවේචනය සාවද්‍ය එක්‌කම නොවේ. පොලිසිය පිළිබඳ ජනතාව තුළ තිබෙන චිත්‍රය යහපත් ද නැත.

පොලිසිය දූෂිතම ආයතනයක්‌ බවට පත්ව ඇතැයි චෝදනාවක්‌ ද තිබේ. වරක්‌ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා ද එබඳු චෝදනාවක්‌ කළ අයුරු අපට මතකය. නොයෙක්‌ විෂම ක්‍රියාකාරකම්වලටද පොලිසියේ ඇතැම් පිරිස්‌ සම්බන්ධ බවටද චෝදනා නැඟෙයි. ඒ අතර උසස්‌ම පොලිස්‌ නිලධාරීහු ද සිටිති.

මැතිවරණ කොමසාරිස්‌වරයාගේ භූමිකාව කුමක්‌ද? ඔහුට තිබෙන බලය කෙබඳුද? සැබැවින්ම මැතිවරණ නීතිය යනු බොහෝ විට ආණ්‌ඩුවේ ඇතැම් දේශපාලන නායකයන්ට සත පහක වටිනාකමක්‌ නොමැති දෙයකි. රාජ්‍ය දේපළ, වාහන යනාදිය අමු අමුවේ ඡන්ද වැඩට යොදා ගන්නා බවද රහසක්‌ නොවේ.

දේශපාලන පක්‍ෂවලින් ඉදිරිපත්ව සිටින ඇතැම් අපේක්‍ෂකයන් පිළිබඳ යථාර්ථය කුමක්‌ද? ජ.වි.පෙ. කියන ආකාරයටම පළාත් සභා යනු බලයේ සිටින ඇතැම් අයගේම දරුවන්ට හා නෑදැයන්ට දේශපාලන මොන්ටිසෝරියක්‌ දැයි සිතීම ද අසාධාරණ නැත. මේවාට පත්වීමට පොරකන අයගේ දේශපාලන සමාජ සංස්‌කෘතික අවබෝධය කෙබඳු ද? මේ රටේ ප්‍රමුඛ ජාතික අර්බුදයක්‌ ගැන ඔවුන්ගෙන් කී දෙනකුට විග්‍රහයක්‌ කළ හැකිද?

ජාතික දේශපාලනයේ වුවද මේ අඩුව තිබෙන බව ඇත්තය. එහෙත් එහි සිය දේශපාලන භාවිතය හා සමාජ අත්දැකීම් තුළින් පන්නරයක්‌ ලැබූ හා කිසියම් ජාතික සංස්‌කෘතික හරවත් මනසක්‌ සහිත චරිත කීපයක්‌ හෝ සිටිති. ඒ අතරම දේශපාලන ව්‍යාපෘතිවල නිරතව ධනවතුන් බවට පත්වූ අය ද සිටිති. නොයෙක්‌ විෂම ක්‍රියාකාරකම් සඳහා කියෑවෙන නම් ද තිබේ.

මත්කුඩු, මත්වතුර හා වෙනත් අනිසි දූෂිත මෙහෙයුම්වලට දේශපාලන බලය යොදා ගනු ලබන බව කියති. රේගුව තුළින් නීති විරෝධීව පිට කරනු ලබන කන්ටේනර් ගැන විවිධ කතා ඇසෙයි. ඒ චෝදනා ආණ්‌ඩුව පැත්තෙන්ද මතුවෙයි. එහෙත් ඒ කිසිවෙක්‌ පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක්‌ සිදුවී තිබේද?

ඇතැම් දේශපාලනඥයන්ගේ ජීවන රටාවද බෙහෙවින් සුඛෝපභෝගී වී තිබේ. ඔවුන්ගේ දරුවෝ ඉහළ සමාජ ශාලාවල විනෝද වෙති. රිසිසේ මුදල් වැය කරති. මේ සා යස ඉසුරු ලැබීමට ඔවුන්ට වත්කම් ලැබුණේ කෙසේද? ඉතා සරල ජීවිත ගෙවන මැති ඇමැතිවරු ද සිටිති. එසේම නිතරම අල්ලස, දූෂණය ගැන විවිධ රාවයන් පැතිර යන බව ද රහසක්‌ නොවේ. රක්‍ෂිත වනාන්තර එළි කිරීම, ඉඩකඩම් අල්ලා ගැනීම, බලය අයුතු ලෙස යෙදීම, ජනතාවට පීඩා කිරීම අද සාමාන්‍ය දේවල් ලෙස සිතන දේශපාලනඥයෝ ද සිsටිති.

මේ රට අසමත් රටක්‌ නොවන බව ආණ්‌ඩුවේ අදහස වුවත් අද මේ රටට එරෙහිව කෙරෙන චෝදනා, විවේචන, දෙස බලන විට ආණ්‌ඩුව විසින් ඉටු කරන ලද ජාතික, ආර්ථික හා සමාජ සංස්‌කෘතික මෙහෙවර ප්‍රමාණවත් නැති බව දේශපාලන විචාරකයෝම දක්‌වති.

ලෝකයේ බොහෝ රටවල පාලනය අවුල් කිරීම සිය දේශපාලන විනෝදාංශය බවට පත් කර ගත් ඇමරිකාව, බ්‍රිතාන්‍ය වැනි රටවලට අපට ඇඟිලි දිගු කිරීමට සදාචාරාත්මක අයිතියක්‌ නැති බව සැබෑය. එහෙත් හීන් නූලෙන් ජිනීවා දංගෙඩියට අපව රැගෙන යන්නට ඒ රටවල් වෑයම් කරන්නේද අපගේ ද අඩුපාඩු නිසාය. යුද්ධය දිනූ ආණ්‌ඩුවට එහි පීඩනයට පත්ව සිටි දෙමළ ජනතාව දිනාගත හැකිවීද?

මේ රටේ සන්නද්ධ ගැටුම් ඉතිහාසය තුළ 1971 කැරැල්ල හා 1988 භීෂණ සමයද අතිශය අඳුරු මතකයන්ගෙන් පිරී තිබේ. ඒ කාලවල සිදුවූ ජීවිත හානි කොතරම් ද? රාජ්‍ය බලය භාවිත කිරීමේදී යුක්‌තියේ හා සාධාරණයේ සීමා ඉක්‌මවා නොගියේද? මළ මිනී ගංගාවල පාවිණි. ටයර් සෑයවල් ඉදිවිණි. එහෙත් ඒවා රට ඇතුළේම විස¹ ගැනීමට හැකි විය. එහෙත් ත්‍රස්‌තවාදී ගැටුම් නිමා වූ අවසාන කාලය අද ප්‍රශ්නකාරී වී තිබේ.

දෙමළ ඊළාම්වාදී සටනේ ලේ සෝදා ගෙන ආණ්‌ඩුවට එකතු වූ කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් හා ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ආණ්‌ඩුවේ සමත්කම කියාපාන ප්‍රබල චරිත දෙකකි. එහෙත් මේ කිසිවෙක්‌ එදා සටන් බිමේදී තමන් විසින් කරන ලද විනාශය ගැන ලෝකයට කියත් ද? ප්‍රභාකරන්ගේ අභිමතය පරිදි සිදු කළ අරන්තලාවේ ඝාතනය වැනි ම්ලේච්ඡ ක්‍රියාකාරකම් ගැන ජිනීවාවලදී කිසිවෙක්‌ මතු කරත්ද? අපේ හමුදාවලින් නිකුත් වූ හැම වෙඩි ප්‍රහාරයක්‌ම නිවැරැදිව ත්‍රස්‌තවාදී ඉලක්‌කවලට නොගිය බව ඇත්තය. එසේ කිරීමටද නොහැක. එහෙත් අපේ හමුදාවෝ ජාතික නිදහස උදෙසා ජීවිත පූජාවෙන් සටන් කළහ.

සිංහල හා දෙමළ ජන ජීවිත ද දේශපාලන හා සමාජ ක්‍රියාකාරීන් ද වනසා දමමින් රටක්‌ ලේ විලක්‌ කළ සාහසිකයකු වූ අශිෂ්ට ප්‍රභාකරන්ට අත් වූ ඉරණම ඔහුගේ කුරිරුකම්වලට පලයකි. එහෙත් එය දරා ගත නොහැකි බටහිරයෝ එයට උරණව මේ රට අස්‌ථාවර කිරීමට උගුල් අටවති.

අද මේ බටහිර අභිලාෂයන් පරාජය කිරීම සඳහා සියලු දේශපාලන පක්‍ෂ එක්‌ හඬක්‌ නැගිය යුතුය. ඒ සඳහා වුවමනා දේශපාලන හා සමාජ ප්‍රතිසංස්‌කරණ කිරීමද අත්‍යවශ්‍ය දෙයකි. මේ තිබෙන ගර්හිත ආණ්‌ඩු ක්‍රමය නඩත්තු කරමින් හෝ මැතිවරණ ක්‍රමය තුළින් හෝ ඒ කිසිවක්‌ කළ නොහැකි බව අපි යළිත් අවධාරණය කරමු.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.