යුද අපරාධ පරීක්‍ෂණයකට ඉන්දියාව එකඟද?



ජිනීවා සටන හෙට සිට ඇරඹෙනු ඇත. 2012 හා 2013 යන වසර වලදීත් ඇමරිකානු යෝජනාවක්‌ ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ අතර ලෝක බලවතාගේ අවශ්‍යතාවය පරිදිම එය ජයග්‍රහණය කරනු ලැබිණි. පසුගිය වසර දෙකේදීම අපේ අසල්වාසි භාරත මාතාවන් කොළඹ ආණ්‌ඩුවට එරෙහිව වොෂින්ටනයේ පාර්ශ්වය ගත් බව අමුතුවෙන් කිව යුතු නැත. වසර 30 ක්‌ පුරා පැවැති ත්‍රස්‌තවාදයකින් මිදී නිදහස්‌ නිවහල් රාජ්‍යයක්‌ ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් තර්ජනාංගුලි ඉදිරිපත් කිරීමට ඇමරිකාවට සදාචාරාත්මක අයිතියක්‌ තිබෙන්නේද යන්න බරපතළ ප්‍රශ්නයකි. සදාම් හුසේන් ඝාතනය කිරීම සඳහා ටොන් 88,500 ක බෝම්බ හෙලූ ඇමරිකාව ඉරාක වැසියන් හය ලක්‍ෂයකගේ මරණවලට වගකිවයුතු යෑංකි රාජ්‍යය, කොළඹ ආණ්‌ඩුවට එරෙහිව මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා නැගීම බරපතළ විහිළුවකි.

ප්‍රභාකරන් ඇතුළු එල්ටීටීඊ නායකයන් 2009 මැයි මාසයේදී බේරා ගැනීමට ඇමරිකානු සැලැස්‌මක්‌ තිබුණු බව ප්‍රකට සත්‍යයක්‌. එලෙස ප්‍රභාකරන් බේරා ගැනීමටද රහසේ කුමන්ත්‍රණය කළ ඇමරිකානුවෝ යුද්ධයේ අවසන් මාස හතරේදී සිදුවූයේ කුමක්‌ද යන්න පිළිබඳව පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතු බව තරයේ ප්‍රකාශ කරති. වසර 30 ක්‌ පැවැති යුද්ධයක අවසන් මාස 4 සිදුවූ සිද්ධීන් ගැන පමණක්‌ පරීක්‍ෂණ කර හරි වැරැද්ද සොයාගත හැකිද? යුද අපරාධකරුවන් හඳුනාගත හැකිද? මෙය බරපතළ විහිළුවකි. කොටි සංවිධානය ඇමරිකාව ඇතුළු රටවල් 32 ක්‌ විසින් තහනම් කර තිබිණි. එසේ නම් යුද අපරාධ සිදුවූයේ ලංකා හමුදාව අතින් පමණක්‌ද? කොටි සංවිධානය සටන් කළේ "දුනු ඊතල වලින්ද? මෙය බරපතළ විහිළුවකි.

2011 සැප්තැම්බර් 21 වැනිදා ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනය නිකුත් කරනු ලැබූ වාර්තාවක සඳහන් වූයේ යුද්ධයේ අවසන් මාස 5 තුළ සාමාන්‍ය වැසියන් හතළිස්‌ දහසක්‌ සහ කොටි සාමාජිකයන් හැටදහසක්‌ මරණයට පත්වී ඇති බවයි. ඇමරිකානු දෙමළ ඩයස්‌පෝරාව පවසන්නේ අවසන් මාස කිහිපය තුළ දෙමළ වැසියන් හැත්තෑදහසක්‌ මරණයට පත්වී ඇති බවයි. ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිෂ්වාල්ද මේ ඊනියා දත්ත ගැන වැඩි අවධානය යොමු කරන බව රහසක්‌ නොවේ.

පසුගිය වසර දෙකේදීම ඉන්දියාව ඇමරිකානු යෝජනාවට සහය පළ කළේ තම විදේශ ප්‍රතිපත්තිය මත සිට නොව තමිල්නාඩුවේ දේශපාලන උණුසුම නිසා බව සත්‍යයකි. මෙවරද එසේ වනු ඇත. ඉන්දීය සම්භවයක්‌ ඇති නිශා බිෂ්වාල් ජිනීවා නුවරට ගොස්‌ මානව හිමිකම් කවුන්සිලය නියෝජනය කරන ඉන්දීය තානාපති දිලිප් සින්හා සමගද සාකච්ඡා පවත්වා ඇත. කවරක්‌ වෙතත් ඉතා මෑතකදී තමිල්නාඩු මහ ඇමැතිනිය ගත් තීරණයක්‌ නිසා කොංග්‍රස්‌ සභාපතිනිය එනම් සෝනියා ගාන්ධිගේ මෙන්ම උප සභාපති රාහුල් ගාන්ධිගේ ද හදවත් බිඳිනි. ඒ අන්කවරක්‌වත් නොව රජිව් ගාන්ධි ඝාතකයන් සත්දෙනා වෙල්ලොර් බන්ධනාගාරයෙන් නිදහස්‌ කිරීමට ගත් තීරණයයි. මේ නිසා වහාම ක්‍රියාත්මක වූ මධ්‍යම ආණ්‌ඩුව මේ තීරණය ඉන්දීය ශේ්‍රෂ්ඨාධිකරණය ලවා අත්හිටුවීමට ක්‍රියා කළේය. ඉදිරි ලෝක්‌ සභා මැතිවරණයේදී තමිල්නාඩුවේ ආසන හතළිහම ජයග්‍රහණය කිරීම සඳහා මාන බලන ජයලලිතා ජෙයරාම් ඒ වෙනුවෙන් දෙමළ ජනයා ප්‍රමෝදයට පත් කිරීමට කොටි ඝාතකයන් නිදහස්‌ කිරීමට තීරණය කළ බව රහසක්‌ නොවේ. රජිව් ගාන්ධි ඝාතකයන් නිදහස්‌ කිරීමට තමා පියවර ගන්නේ කවර පදනමින්ද යන්න ගැනත් ශේ්‍රෂ්ඨාධිකරණයට කරුණු දක්‌වන බව ඇය ප්‍රකාශ කර තිබිණි.

කෙසේ වෙතත් ජිනීවා මානව හිමිකම් සැසිවාරය ආරම්භ වීමට සතියකට පමණ පෙර රජිව් ඝාතකයන්ගේ ප්‍රශ්නය නිසා ඇතිවූ සිත් රිදීම ලංකාවට සහනයක්‌ උදාකරයිද? රජිව් ඝාතකයන්ගේ ප්‍රශ්නය හා ජිනීවා අතර පැහැදිලි වෙනසක්‌ ඇති බව අප අවබෝධකර ගත යුතුය. සදාචාරාත්මකව ලංකාවට එරෙහිව ඡන්දය දීමට ඉන්දියාවට කිසිම හැකියාවක්‌ නැත. නමුත් ඉන්දියාව සදාචාරාත්මක ලෙස සිය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේද යන්න ප්‍රශ්නයක්‌ පවතී. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයෝ 47 කි. ඇමරිකානු යෝජනාවට විරුද්ධව ඡන්ද 46 ක්‌ ලබාගත්තද ඉන්දියාව අපට එරහිවුවහොත් එය බලවත් ප්‍රශ්නයකි. 2009 දී මානව හිමිකම් කවුන්සිල යෝජනාවේදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කිරීමට හැකි වූයේ ඉන්දියාව ශ්‍රී ලංකාවත් සමග එකට සිට ගැනීම නිසාය.

පසුගියදා ඇමරිකාවේ සංචාරයක නිරතවූ ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතා ලංකාවේ යුද අපරාධ පිළිබඳව පරීක්‍ෂණයක්‌ සිදුකරන්නේ නම් එහිදී 1987 ජුලි සිට 1990 මාර්තු දක්‌වා කාලය තුළ ඉන්දියානු සාම සාධක හමුදාවේ ක්‍රියාකාරකම් ගැනද පරීක්‍ෂණ පැවැත්වීමට සිදුවන බව අවධාරණය කළේය. මෙය ඉන්දියාවේ සතුටට හේතු නොවනු ඇතැයි හෙතෙම බටහිර තානාපතිවරුන් හමුවේ අවධාරණය කර සිටියේය. කෙසේ නමුත් ඉන්දීය සාම සාධක හමුදාවේ මෙහෙයුම් ගැන ජනපති ලේකම්වරයා සිහිපත් කිරීම මෙරට ඉන්දීය හිතවාදී දේශපාලන විචාරකයන්ගේ සතුටට හේතුවී නැත. එහෙත් අප ඉන්දිරා ගාන්ධි විසින් මෙරට අස්‌ථාවර කිරීම සඳහා දෙමළ සටන්කාමීන්ට රෝ ඔත්තු සේවය ලවා පුහුණුව ලබාදීම අමතක කළ යුතුව ඇත්ද? එදා ලක්‍ෂයක හමුදාවක්‌ උතුරු නැගෙනහිර පළාත්වල ස්‌ථානගත කළද ප්‍රභාකරන් මරා දැමීමට රජීව් ගාන්ධිට හැකිවූයේ නැත. කනගාටුදායක ලෙස ඔහුට මරාගෙන මැරෙන බෝම්බයකට බිළිවන්නට සිදුවිය.

ඉන්දියාව රාජපක්‍ෂ රෙජීමය දෙස බලන්නේ සැකමුසු භාවයෙන් බව අප මීට පෙර කිහිප විටක්‌ම අවධාරණය කර ඇත. එනිසාම ඉන්දීය අගමැති මෙරට සංචාරයක්‌ සඳහා පැමිණියේ නැත. පොදු රාජ්‍ය මණ්‌ඩලයීය නායක හමුව සඳහාද නොපැමිණියේය. කවර ප්‍රශ්න තිබුණද අප ඉන්දියාව තරහ කර ගැනීම ඉතාම අවාසි සහගතය. ඉන්දියාව 2014 දීත් ලංකාවට විරුද්ධව ඡන්දය ලබාදෙනු ඇති නමුත් ලංකාවට දඬුවම් කිරීමට හෝ සම්බාධක පැනවීමට ඉඩදෙනු ඇතැයි යන්න විශ්වාස කළ නොහැකිය. 2013 යෝජනාවෙන් දැඩි බලපෑම් සහගත බව අඩු කිරීමට ඉන්දියාව කටයුතු කළ බව රහසක්‌ නොවේ. 2013 මාර්තු සැසි වාරයේදී ඉන්දීය තානාපති ප්‍රදීප් සින්හා අවධාරණය කර සිටියේ යුද්ධය අවසන් කාලයේ සිදුවූ ඝාතන ගැන පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතු බවයි. දැන් නවි පිල්ලේද ජාත්‍යන්තර යුද අපරාධ පරීක්‍ෂණයක්‌ කළ යුතු බව අවධාරණය කර තිබුණද රජය එම යෝජනාව ප්‍රතික්‌ෂේප කර ඇත. නවි පිල්ලේගේ ජාත්‍යන්තර පරීක්‍ෂණ යෝජනාව සුපුරුදු පරිදි දෙමළ ජාතික සන්ධානය විසින් ඉහළින්ම අනුමත කර ඇත. උතුරු පළාත් සභාව ඉකුත් ජනවාරි 27 වැනිදා යුද්ධය අවසන් භාගයේ සිදුවු ඝාතන ගැන ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතු බවට යෝජනාවක්‌ සම්මත කරගනු ලැබිණි. කෙසේ නමුත් අප මේ ජාත්‍යන්තරයේ යුද අපරාධ පරීක්‍ෂණය පිළිබඳව දිල්ලි රජය කුමක්‌ කියන්නේද යන්න හොඳින් විමසා බැලිය යුතුය. ජාත්‍යන්තර පරීක්‍ෂණය ක්‍රියාත්මක වන්නේ ඉන්දියාවේ කැමැත්ත අකමැත්ත මත බව පැහැදිලිය. එමනිසා අසල්වැසියාගේ මතය කුමක්‌ද යන්න වඩා හොඳින් විචාරිය යුතුය.

චතුර පමුණුව
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.