ආගමික සංහිඳියාවක්‌ ඇති කිරීම සඳහා

අකිත පෙරේරා

රට තුළ ආගමික සංහිඳියාව ඇති කිරීම සඳහා සහයෝගය ලබා ගැනීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊයේ (11 දා) එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නියෝජිත පිරිසක්‌ හමුවූවාය.

කිරුළපන, ෙµdන්සේකා පෙදෙසේ පිහිටි විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ පෙරවරු 10 ට මෙම විශේෂ හමුව සිදුවූ අතර පැයක පමණ කාලයක්‌ දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්විණි.

හිටපු ජනපතිනිය පෙරවරු 10 ට සිය නිලධාරීන් සමග පැමිණ ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතා ඇය පිළිගෙන දෙවැනි මහල වෙත කැඳවාගෙන යැමෙන් අනතුරුව සාකච්ඡාව ආරම්භ විය.

එජාපය වෙනුවෙන් තිස්‌ස අත්තනායක, රවී කරුණානායක, මංගල සමරවීර, රුවන් විඡේවර්ධන යන මහත්වරු ඊට සහභාගි වූහ.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස්‌ දැක්‌වූ හිටපු ජනපතිනිය මෙසේ කියා සිටියාය.

ආගමික සංහිඳියාව ඇති කිරීමට අප කමිටුවක්‌ හැදුවා. එම කමිටුවට ප්‍රධාන ආගම් හතරේම නායකයන් ඇතුළත් වෙනවා. බෞද්ධාගමේ ප්‍රධාන පාර්ශ්වයන් හතරේම අනුනායක හිමිවරුන් ඒ වගේම ක්‍රිස්‌තියානි, හින්දු, මුස්‌ලිම් නායකයන් මෙම කමිටුවට අයත් වෙනවා. මෙහිදී ආගමික සංහිඳියාව ඇති කළ යුත්තේ කොහොමද කියලා අපි සාකච්ඡා කරනවා. ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමට සහ දේශපාලන පක්‍ෂ දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

අපි රජය සමඟත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි පළමුවෙන්ම ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කරන්න වෙලාවක්‌ ඉල්ලා සිටියා. ඒත් තවම ලැබුණේ නැහැ. ඇමැතිවරුන් ගණනාවකගෙනුත් ඉල්ලීම් කළා. මේ ගැන කතා කරන්න. ඉදිරියේදී ඒ සඳහා අවස්‌ථාව ලැබේවි ඉන්පසුව අපි ජනතාව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා.

මෙහිදී අදහස්‌ දැක්‌වූ එජාප ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා-

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබෙන ආගමික සංවිධානය සමග අද අපි විශේෂයෙන්ම සාකච්ඡා කළේ රට තුළ ආගමික සංහිඳියාව ගොඩනඟන්න. ඊට එජාපයේ සම්පූර්ණ සහයෝගය දෙනවා.

ඇතැම් ආගම් පාලනය වෙන්නේ ඒ ආගම් නායකයන් සහ ඒ වගේම ඒ කාරක සභා මගින්. නමුත් මේවා අඩපණ කරන්න ඇතැම් අය උත්සාහ කරනවා. ඒක විශාල ප්‍රශ්නයක්‌.

ඡායාරූපය - නිමල් දයාරත්න

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.