සැකකරු ගැන සිත උණුවී පොලිස්‌ නිලධාරියා දඩ ගෙවයි

නොච්චියාගම - එම්. එම්. පී. ජී. පෙරේරා

නොච්චියාගම නගරයේ මත්පැන් පානය කරමින් සිටි හැටපස්‌ වියෑති වයෝවෘද්ධ පුද්ගලයකු පසුගියදා නොච්චියාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය. පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන එස්‌. එම්. රම්බණ්‌ඩා නමැති සැකකරු ප්‍රසිද්ධ ස්‌ථානයක මත්පැන් පානය කිරීමේ වරද යටතේ අධිකරණයට ඉදිරිපත් කෙරිණි. එහිදී සැකකරු වරදකරු බවට පත්වීම නිසා තඹුත්තේගම මහෙස්‌ත්‍රාත් ජානක කැකිරිදෙණිය මහතා විසින් ඔහුට රුපියල් එක්‌දහස්‌ පන්සීයක දඩ මුදලක්‌ ගෙවීමට නියෝග කළේය. දඩ මුදල නොගෙවන්නේ නම් මාසයක සිර දඬුවමක්‌ නියම විය.

සැකකරු අධිකරණයට රැගෙන ගියේ (පො. කො. 7929) නාලක නමැති පොලිස්‌ නිලධාරියාය. මෙම සැකකරු නොච්චියාගමට පැමිණ තිබුණේ කුලී වැඩක්‌ සොයා ගැනීම සඳහාය. මෙම පුද්ගලයාට සැලකීමට හෝ කිසිවකු නොමැති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවී තිබිණි. එම නිසා මෙම දඩ මුදල ගෙවා ගත නොහැකිව මාසයක්‌ සිරබත් කෑමට සිදුවීම ගැන මෙම පොලිස්‌ නිලධාරියාගේ හදවතට යම් වේදනාවක්‌ ගෙන දුන්නේය. තම පියා වැනි මෙවැනි වයෝවෘද්ධ පුද්ගලයකු පිළිබඳව වුවද නීතිය ක්‍රියාත්මක කිරීම එම පොලිසියේ රාජකාරිය විය.

එහෙත් එම පොලිස්‌ නිලධාරියා මෙම වරදකරු වෙනුවෙන් දෙවරක්‌ නොසිතාම තමා සතුව තිබූ මුදලින් රුපියල් එක්‌දහස්‌ පන්සීයක්‌ දඩ මුදල් ලෙස ගෙවා ඔහු නිදහස්‌ කරගත්තේය. පසුව කුසගින්නේ සිටි ඔහුට ආහාර ලබාදී ආපසු ගමට යැමට බස්‌ ගාස්‌තුද ලබාදී හොඳින් ජීවත්වන ලෙස අවවාද කර ඔහු පිටත්කර හැරියේ පොලිස්‌ නිලධාරීන් අතරද මිනිසුන් සිටින බව පසක්‌ කරමිනි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.