පත්තරවල දැන්වීම්වලට කතාකර
මනාලියන්ගේ රන් භාණ්‌ඩ වංචා කරන
අපූරු ජෝතිෂ්‍යවේදියා අත්අඩංගුවට


ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

පුවත්පත්වල පළවන මංගල දැන්වීම්වල මනාලියන් සොයාගෙන ගොස්‌ ඔවුන්ගේ අපල උපද්‍රව දුරුකර දීමටත් , මනාලිය සොයා දීමටත් ඉදිරිපත් වී රුපියල් ලක්‌ෂ දහයකට අධික වටිනාකමින් යුත් රන් භාණ්‌ඩ වංචා කළ හඳහන් බලන්නෙක්‌ අත්අඩංගුවට ගැනීමට බස්‌නාහිර උතුර අපරාධ කොට්‌ඨාසය (07 වැනිදා) සමත් විය.

මෙම සැකකරුගේ වංචාවට හසුවූ කීපදෙනකු කළ පැමිණිලිවලට අනුව මෙම සැකකරු පෑලියගොඩ ප්‍රදේශයේදී කොටුකරගෙන ඇත.

පුවත්පත් වල ඇති මංගල දැන්වීම්වල ඇති මනාලියන්ගේ විස්‌තර මොහු මුලින් කියවා බලයි. ඉන්පසු ඔහු එම නිවෙස්‌ සොයා ගොස්‌ මනාලියන්ට මනාලයා වශී කරවා දීමට හැකි බව කියයි. ඉන්පසු මනාලිය ලවා නිවසේ ඇති රන් භාණ්‌ඩ වර්ග පහක්‌ සුදු රෙදි පොට්‌ටනියක ඔතා තබන ලෙසත් පසුව දෙඇස්‌ වසා ගන්නා ලෙසත් මෙම හඳහන් බලන්නා කියති. ඒ අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගන්නා සැකකරු ඔහු සාදාගෙන එන සුදුරෙදි පොට්‌ටනියට රන් භාණ්‌ඩ ඇති සුදු රෙදි පොට්‌ටනිය මාරු කරගෙන සිය බෑගයට දමා ගනියි.

සැකකරු තබන ලද සුදු රෙදි පොට්‌ටනිය දින තුනක්‌ යන තුරු දිග නොහරින ලෙසත්, දින තුන ගිය පසු එය දිගහැර බලන ලෙසත්, එහිදී තමන්ගේ සියලු අපල උපද්‍රවයන් තුරන් වී යන බවත් පවසා මොහු මෙම වංචාව සිදුකර ඇතැයි පොලිස්‌ පරීක්‌ෂණවලින් හෙළි විය.

මොහුගේ වංචාවට මාරවිල, ආරච්චිකට්‌ටුව, බටුවත්ත, කොළඹ යන ප්‍රදේශවල පදිංචි කාන්තාවන් හසුවී ඇතැයි පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුර පදිංචි 43 හැවිරිදි අයෙක්‌ බව පොලිසිය කියයි.

මෙම සැකකරුගේ වංචාවට හසුවූ තරුණියන් හා කාන්තාවන් වේ නම් ඒ සම්බන්ධ පැමිණිලි 0112947780 යන බස්‌නාහිර උතුර අපරාධ කොට්‌ඨාසයේ ස්‌ථානාධිපතිවරයාට දැනුම් දෙන්නැයි පොලිසිය ඉල්ලා සිටියි.

සැකකරු වංචා කළ රුපියල් ලක්‌ෂ දහයක්‌ වටිනා රන් භාණ්‌ඩ සොයා ගෙන ඇතැයි පොලිසිය කියයි.

සැකකරු මහර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‌ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මේ පිළිබඳව බස්‌නාහිර උතුර අපරාධ කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක උපුල් සමරසිංහ මහතාගේ උපදෙස්‌ මත නිලධාරීහු කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‌ෂණ පවත්වයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.