හදිසියේ ගම්මිරිස්‌ මිල පහත වැටීමෙන් ගැමියෝ අමාරුවේ

වංචාවල කලහේ - කුමාරදාස ලියනගේ

සති කීපයකට ඉහත කිලෝවක මිල රුපියල් නවසීය දක්‌වා ඉහළ නැග තිබූ ගම්මිරිස්‌ මිල හදිසියේ රුපියල් හත්සියය දක්‌වා පහත වැටීම නිසා අක්‌මීමන ප්‍රාදේශීය සභා ප්‍රදේශය තුළ ගම්මිරිස්‌ එක්‌රැස්‌ කළ ගැමියන් පිරිසකට බලවත් ආර්ථික අපහසුතා ඇතිවී තිබේ.

මෙයට සමගාමීව පොල් ගෙඩියක මිල රුපියල් පනහේ සිට රුපියල් හැත්තෑව දක්‌වා ඉහළ යැමත්, පුවක්‌ ගෙඩි සියයක මිල රුපියල් 160 දක්‌වා ඉහළ යැමත් මෙම පිරිසට මඳ සහනයක්‌ ලබාදී ඇත.

වැලිගම විශාල ප්‍රදේශයක පැතිරී ගිය පොල් රෝගය නිසා අක්‌කර දහස්‌ ගණනක ඉතා සරු පොල්වගාව මුළුමනින්ම විනාශවී ඇත. මෙම ප්‍රදේශවාසීන්ගේ ප්‍රයෝජනය සඳහා දෙනියාය, මොරවක, පිටබැද්ද, මාතර, වරල්ල, ඌරුබොක්‌ක, අලපලාදෙණිය. බෙරලපනාතර, මාතර, ගාල්ල, අහංගම, තල්පේ, උණවටුන, ප්‍රදේශවලින් අධික මුදලක්‌ ගෙවා පොල් ලබාගත යුතුව ඇත.

තේ වගාව සඳහා ඉතා සුදුසු දේශගුණයෙන් සහ වර්ෂය පුරා නොඅඩුව ලැබෙන මෝසම් වැස්‌ස නිසා මෙම වාරයේ දෙනියාය, වරල්ල, මොරවක, පිටබැද්දර, අලපලාදෙණිය. ඌරුබොක්‌ක ප්‍රදේශවල පිහිටි රුහුණේ ලොකු කුඩා තේවතු හිමියන්ටද සුබ කාලයක්‌ උදාවී ඇත.

මෙම ප්‍රදේශයේ ඇති මුල් පෙළේ තේ කම්හල්වලින් තේ දලු කිලෝවක්‌ මිලයට ගැනීමේදී රුපියල් සියයකට ආසන්න මුදලක්‌ ගෙවන අතර කුඩා තේ කම්හල්වලින් ඒ සඳහා ගෙවා ඇත්තේ රුපියල් 80-90 අතර මුදලකි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.