සුපිරි වෙළෙඳසලකින් බඩු සොරාගත්
සුරූපී කත අතටම අසුවෙයි

ඕනෑම දඬුවමක්‌ දෙන ලෙස සැමියා සේවකයන්ට කියලා

මිහින්තලේ - රංග චතු

අනුරාධපුර නගරයේ පිහිටි ප්‍රසිද්ධ වෙළෙඳ සමාගමකට පැමිණ භාණ්‌ඩ මිලදී ගන්නා මුවාවෙන් ළදරු නිෂ්පාදන කිහිපයක්‌ අත්බෑගයේ දමාගත් සුරූපී කාන්තාවක්‌ එම වෙළෙඳසලේ සේවිකාවන් විසින් අල්ලාගෙන තිබේ. තරුණිය වයස අවුරුදු 25 ක්‌ පමණ වන අනුරාධපුර මාතලේ හන්දිය ප්‍රදේශයේ පදිංචි විවාහක තැනැත්තියකි.

ඇය 08 වැනිදා අනුරාධපුර බැංකු පෙදෙසේ පිහිටි ප්‍රසිද්ධ වෙළඳ සමාගමට භාණ්‌ඩ මිලදී ගැනීම සඳහා සැමියා සහ දරුවා සමඟ පැමිණ ඇත. ඇය භාණ්‌ඩ මිලදී ගන්නා තුරු දරුවාත් සැමියාත් අදාළ වෙළෙඳ සමාගම ඉදිරිපිට රැඳී සිට ඇති අතර ඇය හෙමින් සීරුවේ වෙළෙඳසලේ රාක්‌ක මත තිබූ අධික මිලකින් යුත් ළදරු නිෂ්පාදන (සබන්, ශැම්පු හා තෙල්) තුනක්‌ අත්බෑගයේ දමා ගනිද්දී වෙළඳ සේවිකාවන් එම සොරකම නිරීක්‍ෂණයට ලක්‌කර තිබේ.

තරුණ කාන්තාව සොරකම සිදුකිරීමෙන් අනතුරුව ආයතනයෙන් ලබාගත් භාණ්‌ඩවලට මුදල් ගෙවීමට මුදල් අයකැමිවරිය අසලට පැමිණි අවස්‌ථාවේ සිද්ධිය දුටු සේවිකාව අත්බෑගය විවෘත කරන ලෙසට තරුණ කාන්තාවට දන්වා තිබේ. ඒ අවස්‌ථාවේ ඇයගේ අත්බෑගයේ තිබී රුපියල් 500 කට වඩා වැඩි වටිනාකමින් යුතු අදාළ ළදරු නිෂ්පාදන 03 සොයාගැනීමට සේවිකාවන්ට හැකිවී තිබේ.

බිරිඳගේ සොරකම සම්බන්ධයෙන් සැමියාට ද වෙළඳ සේවිකාවන් පවසා ඇති අතර ඇයට අවශ්‍ය ඕනෑම දඬුවමක්‌ ලබාදෙන ලෙස සැමියා වෙළඳ සේවිකාවන්ට පවසා තිබේ. ඉන්පසුව සේවිකාවන් වෙළඳ ආයතනයේ හිමිකරුවා ගෙන්වා ඇයව පොලිසිය වෙත බාරදීමට කටයුතු කළත් හිමිකරු සැකකාරියගේ වයස සම්බන්ධයෙන් සිතා බලා නැවතත් මෙවැනි වැරදි සිදු නොකරන ලෙස අවවාද කර ඇය මුදාහැර තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.