ඔසප් වේදනාවත් සමඟ නිකට කළුවී මුහුණේ රෝම වැවෙන්නට බලපාන හේතු

සෑම යුවතියක්‌ම තම මාසික ඔසප්වීම වේදනාවකින් තොරව සිදුවීම දැකීම ප්‍රාර්ථනා කරති. නමුත් වර්තමානයේ බොහෝ යුවතියන්ට මාසික ඔසප්වීම සිදුවන්නේ වේදනාවක්‌ද සමඟය.

මෙලෙස වේදනාව සමඟ මාසික ඔසප්වීම සිදුවීම යනු ඇයගේ ස්‌ත්‍රී හෝමෝනවල අසමතුලිතතාවක්‌ පැවැතීමය.

හෝමෝන අසමතුලිතවූ විට

යම් යුවතියක්‌ උසට සරිලන අයුරින් ශරීරයේ බර පවත්වාගෙන නොයයි නම් ඇය තුළ අනිවාර්යෙන්ම හෝමෝන අසමතුලිතතාවක්‌ පවතී. එනම් අධික තරබාරුකම් හෝ ඉතා කෙසඟ නම් ඇයගේ ස්‌ත්‍රී හෝමෝන ක්‍රියාකාරිත්වයේ අසාමාන්‍ය බවක්‌ ඇත.

මෙවැනි යුවතියන් ඒ සඳහා නිසි ප්‍රතිකාර නොගෙන ඔසප්වීමේදී ඇතිවන වේදනාව සමනය කර ගැනීම සඳහා වේදනා නාශක ඖෂධ ලබාගෙන තාවකාලික සහනයක්‌ ලබා ගැනීමෙන් සිදුවන්නේ පවතින හෝමෝන අසමතුලිතතාවය එන්න එන්නම වැඩිවීමය.

මෙලෙස හෝමෝන අසමතුලිතතාවය උග්‍රවන විට ඔවුනගේ නිකට සහ බෙල්ලේ සම කළු පැහැයක්‌ ගනී. මුහුණේ තැනින් තැන රෝම වර්ධනය වේ. අධික නිදිමත බව, අසලසකම, කෝපය ඇතිවීම, අධික ලෙස දහදිය දැමීම, තරබාරු අය ආහාර පාලනය කළත් සිරුරේ බර අඩු නොවීම සහ හොඳින් ආහාර පාන ගත්තත් කෙට්‌ටු අයගේ සිරුර වර්ධනය නොවීම, උදරය ඉදිරියට නෙරාඒම, හැඟීම් උද්දීපනය අඩුවීම, කුසගිනි නොදැනීම, මාසික ඔසප්වීමේදී පිටවන රුධිර ප්‍රමාණය අධිකවීම හෝ ඉතා අඩුවෙන් පිටවීම වැනි ලක්‍ෂණ මතුවේ.

හෝමෝන අසමතුලිතවීමට හේතු

වර්තමානයේ බොහෝ යුවතියන්ගේ ස්‌ත්‍රී හෝමෝන අසමතුලිතවීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ අවිවේකී බව, රසකාරක, කෘත්‍රිම වර්ණ යෙදූ ක්‍ෂණික ආහාර පාන ගැනීම, අධික තෙල් සහිත ආහාරපාන ගැනීම, විභාග සහ රැකියාවේ ඇති පීඩනය නිසා මනස පීඩාවට පත්වීම ආදි කරුණුය. ඊට අමතරව තමා වාසය කළ හුරු පුරුදු පරිසරයෙන් වෙන්ව ජීවත්වීමට සිදුවීම දේශගුණික වෙනස්‌ ප්‍රදේශවල ජීවත්වීමට සෑම, දිවා කාලයේදී නිදා ගැනීම, සන්සුන් මනසක්‌ ඇතිකර නොගැනීම ආදී කරුණුය.

හෝමෝන සමතුලිත කිරීම

යුවතියකගේ හෝමෝන අසමතුලිතවූ විට එය යළි සමතුලිතකර නිරෝගී සිරුරක්‌ ඇතිකර ගැනීමට ක්‍ෂණිකව නොහැකිය. ඒ සඳහා හේතු වූ කරුණු හඳුනාගෙන ඒවාට විසඳුම් ලබාදෙමින් ප්‍රතිකාර කළ යුතුය. මෙම ප්‍රතිකාර මාස තුනක්‌ හෝ වසරක්‌ පමණ වුව කාලයක්‌ අඛණ්‌ඩව සිදු කළ යුතුද විය හැකිය.

අභ්‍යන්තර ප්‍රතිකාර

ආයුර්වේදයේ මේ සඳහා ශරීර අභ්‍යන්තරයට සිදුකරන ප්‍රතිකාර ඇත. එහිදී විවාහක කාන්තාවකට නම් ගර්භාෂය, පැලෝපීය නාළ හරහා ඩිම්භකෝෂ දක්‌වා වූ උත්තර වස්‌ති ප්‍රතිකාරයත්, අවිවාහක කාන්තාවනට ගුද මාර්ගය ඔස්‌සේ ඖෂධ සහ තෙල් වර්ග භාවිත කර වස්‌ති කිරීමක්‌ සිදු කරයි.

මෙම ප්‍රතිකාර මගින් ගර්භාෂගත දෝෂ අවම කිරීම බීජ මේරීමේ ප්‍රමාදයන් නැති කිරීම, ඔසප්වීමේදී ඇතිවන වේදනාව නැති කිරීම සිදු කළ හැකිය.

බාහිර ප්‍රතිකාර

හෝමෝන අසමතුලිතතාව සමතුලිත කිරීම සඳහා බාහිර ප්‍රතිකාර ලෙසින් හිසට ඖෂධීය තෙල් වර්ග ආලේපය, නාසයට ඖෂධීය තෙල් වර්ග යොදා නස්‌න කිරීමද, කෂාය වර්ග, ගුලි වර්ග, තෙල් වර්ග පානයට දීම ආදියද සිදුකරනු ලබයි.

මෙම ප්‍රතිකාර ලබාදෙන අතර යුවතියකට හෝමෝන අසමතුලිතවීමට බලපා ඇති මානසික හේතු සහ හොමෝන අසමතුලිත බව ඇතිවීම නිසා මතුව ඇති මානසික පීඩනය අවම කිරීම සඳහා උපදේශන සේවය ලබාදිය යුතුය. එහිදී මනස සැහැල්ලුවෙන්, සතුටින් ජීවිතය ගතකිරීමට අවශ්‍ය පරිසරය සකස්‌ කිරීම අත්‍යවශ්‍යය. එසේ නොමැතිව කෙතරම් ඖෂධ ප්‍රතිකාර සිදු කළත් මතුව ඇති හෝමෝන අසමතුලිතතාව සමතුලිත කළ නොහැකි බව සිහි තබා ගන්න.

ආචාර්ය වෛද්‍ය දයානි සිරිවර්ධන
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

දුරකථන 0112792394, 0114906962

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.