බොදුබල සේනා ස්‌වාමීන්වහන්සේලා අවේගශීලීවීම ගැන කනගාටුවෙනවා
- ඇමැති රාවුෆ් හකීම්

බුදු දහමේ 'සම්මා වාචා' යනුවෙන් යහපත් වචන භාවිතය පිළිබඳව කතා කළත් තමා හට බොදු බලසේනා සංවිධානයේ ස්‌වාමීන් වහන්සේලා අවේගශීලීව කතා කිරීම ගැන බලවත් සේ කනගාටු වන බව ඇමැති රාවුෆ් හකීම් මහතා පැවැසීය.

ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රස්‌ නායක ඇමැති රවුෆ් හකීම් මහතා මේ බව ප්‍රකාශ කළේ බස්‌නාහිර පළාත් සභා මැතිවරණය වෙනුවෙන් එම පක්‍ෂයෙන් ඉදිරිපත්ව සිටින කළුතර දිස්‌ත්‍රික්‌ අපේක්‍ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා අගලවත්ත වෙයන්ගල්ල ප්‍රදේශයේ පැවැති ජනහමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඇමැතිවරයා මෙසේ ද පැවැසීය.

බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගාඩඅත්තේ ඥනසාර හිමියන් පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක්‌ පවත්වා මා පිළිබඳව නින්දිත හා පහත් ආකාරයෙන් අදහස්‌ දැක්‌වූවා. ඒ පිළිබඳව මා කනගාටු වෙනවා. උන්වහන්සේ එහිදී කථා කළ ආකරය යහපත් වචන කතා කරන අනෙකුත් සංඝරත්නයටත් අපහාසයක්‌. බුදු දහමේ කරුණාව, මෛත්‍රිය පවතින බව අපි දකිනවා. එහෙත් බොදු බල සේනා සංවිධානයේ ලේකම් ඥනසාර ස්‌වාමින් වහන්සේ මේ තරම් දුරට අවේගශීලීව කතා කිරීම පිළිබඳව මා කනගාටු වෙනවා. බුදු දහමේ යහපත් වචන භාවිතය පිළිබඳ අපි දකිනවා. සම්මා වාචා කියන ආකාරයට එය සඳහන් කර තිබෙනවා. එහෙත් නින්දිත ලෙස පහත් ලෙස කථා කිරීම පිළිබඳව මා කනගාටු වෙනවා.

සෑම අවස්‌ථාවකදීම මා සංඝරත්නයට ගරු කරන කෙනෙක්‌. එහෙම තිබියදීත් මට පහත් ලෙස කතා කිරීම ප්‍රහෙලිකාවක්‌. අපේ ජනතාවගේ මානසිකත්වය පිළිබඳව කථා කිරීම ජනවරම තුළ අපිට තිබෙන අයිතියක්‌. එහෙම කතා කිරීම මගින් භික්‍ෂුන් වහන්සේලාට තියෙන ගෞරවයට හානියක්‌ වන්නේ නැහැ.

මේ රටේ සාමය සංහිඳියාව ගැන කතා කිරීමට අපිට අයිතියක්‌ තිබෙනවා. උගත් පාඩම් හා ප්‍රතසංවිධාන කොමිසමේ නිර්දේශ ගැන වරින් වර මා කතා කළා. අපි ජාත්‍යන්තරයට කරුණු කිව්වා කියලා මේ තරම් දුරට පරුෂ වචනයෙන් බැනිය යුතු නැහැ. නමුත් අපි මේ රට තුළ වෛරය ක්‍රෝධය ඇති වන ආකාරයට කටයුතු කරලා නැහැ. අපිට අවශ්‍ය මේ රටේ සංහිඳියාව හා සදාකල් පවතින සාමයයි.

මම එදත් අදත් කියන්නේ 2012 වසරේ සිට මේ බල සේනාවේ අය ක්‍රියා කරන ආකාරය දෙස බලන විට එය මේ රටම අගාධයට යන තත්ත්වයක්‌. ඉන් රට බේරා ගන්න නම් අපි ධෛර්යයෙන් ක්‍රියා කරන්න ඕන. අවවාද කරන ආකාරයෙන් පහත් නින්දිත ලෙස කථා කරනවානම් අපි ඒවාට යටත් විය යුතු නැහැ. කථා කිරීමේ අයිතිය හැම දෙනාටම පැවතිය යුතුයි. එම අයිතිය සඳහා අපි හැමවිටම ක්‍රියා කරනවා.

මෙහිදී මුස්‌ලිම් කොංග්‍රස්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එස්‌. එම්. අස්‌ලම් මහතාද අදහස්‌ දැක්‌විය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.