උතුරු පළාත් සභාවෙන් අපේක්‍ෂිත අරමුණු ඉටුවෙයිද?

ශ්‍රී ලංකාව මේ මොහොත වන විට මුහුණ දී තිබෙන්නේ ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්ඡේදයකටය. කව්රු කෙසේ අර්ථ නිරූපණය කළත් අප හමුවේ ඇති ජාත්‍යන්තර බලපෑම සුළුපටු නොවේ. මේ සියල්ල අමතක කර දමා අපි සුරංගනා ලෝකයක ජීවත් වෙමු. දෙවැන්න බෙදී ආණ්‌ඩු පෙරළන්නට නැත්නම් බලය තහවුරු කර ගැනීමට උත්සාහ ගනිමු. දේශපාලනයක්‌ කරන්නට රටක්‌ තියෙන්නට ඕනෑ. රට බේරා ගැනීම මුලින්ම කළ යුතුයි.

ත්‍රස්‌තවාදයට එරෙහි වූ අවසන් භාගයේදී සිදු වූවායෑයි පැවසෙන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට නියමිත කාල වකවානුවක මේ වන විට රටේ ඇත්තේ අවිනිශ්චිත කාල පරිච්ඡේදයකි. ඇමැතිවරු නිලධාරින් සමඟ ලෝකෙ වටේ යමින් කරුණු කියති. මේ අතර බස්‌නාහිර හා දකුණු පළාත් සභාව විසුරුවා හැර ඉක්‌මන් මැතිවරණයකට රජය කටයුතු සලසා ඇත. ජන බලය ආණ්‌ඩුවට ඇති බව කියන්නට මේ මැතිවරණය පවත්වන බවට ද මතයකි.

උතුරට නැඟෙනහිරට ද පළාත් සභා පිහිටුවා ඇත. උතුර පළාත් සභාව කටයුතු කරන්නේ අපි කිසිසේත් ම අපේක්‍ෂා නොකළ අන්දමටය. විග්නේෂ්වරම් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්‌ වූ උතුරු පළාත් සභාව පසුගියදා මේ රටේ ඒකීයභාවය පළුදුවන යෝජනා කීපයක්‌ සම්මත කර ගෙන ඇත.

යාපනේ පලාලි සහ ත්‍රිකුණාමලයේ චීන වරාය ගුවන් තොටුපළවල සිට ඉන්දියාවට සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම, උතුරු දුම්රිය මාර්ගය තලෙයිමන්නාරම දක්‌වා දීර්ඝ කොට ඇති බැවින් තලෙයිමන්නාරමේ සිට දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් අතර නැව් සේවයක්‌ ආරම්භ කිරීම, කන්කසන්තුරේ වරාය පුළුල් කර වාණිජ වරායක්‌ ලෙස පුළුල් කිරිම ඒ යෝජනා අතර කීපයකි.

ඉන්දියාවේ සිට නැව් කෙළින්ම කන්කසන්තුරේ වරායට ගෙන්වා ගත යුතු බවට ද සාකච්ඡා වී තිබේ.

උතුරු පළාත් සභාව කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනයක්‌ ලෙසට නොවේ. වෙනම ප්‍රාන්ත රාජ්‍යයක්‌ ලෙසටය. ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයන් ද උත්සාහ කළේ මේ ප්‍රාන්ත රාජ්‍යය බිහිකර ගන්නටය. උතුරු පළාත් සභාව පිහිටුවීමෙන් අනතුරුව අද අප මුහුණ දී තිබෙන්නේ ද එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිතුම් පැතුම් තීන්දු තීරණ ක්‍රියාත්මක කරන්නට ද යන්න විමසා බැලිය යුතුව ඇත. අන්තර් ජාතික ගුවන් සේවා ආරම්භ කිරීමට නැව් සේවා ආරම්භ කිරීමට ශ්‍රී ලංකාවේ පළාත් සභාවකට නැත. තමන්ගේ පළාත් සභා බල ප්‍රදේශයේ කටයුතු සඳහා පිහිටුවාගත් ආයතනයන් අන්තර් ජාතික වශයෙන් ක්‍රියා කරන්නට යැම විහිළුවකි. අන්තර් ජාතික ගුවන් සඳහා ශ්‍රී ලංකාවේ දැනට අනුමැතිය ලැබී ඇත්තේ කටුනායක සහ මත්තල ගුවන් තොටට පමණි.

මධ්‍යම රජයට අයත් විෂය පථය කුමක්‌ද, පළාත් සභාවට ඇති බලය කුමක්‌ ද පිළිබඳව පළාත් සභාවේ මහ ඇමැති නීති විශාරදයකු වීත් නොදැන සිටීම ඔහුගේ නීති දැනුමට ද තරම් නොවේ. පළාත් සභා මන්ත්‍රීවරුන්ට ඕනෑම යෝජනාවක්‌ ඉදිරිපත් කළ හැකිය. නමුත් එම යොජනා පළාත් සභා ව්‍යවස්‌ථා යටතේ කළ හැකිද, නොහැකිද යන්න පිළිබඳව විමසා බලා දුහුනන්ට දැනුම් තේරුම් කර නොදී මහඇමැති ද පිස්‌සු කෙළින්නට යැම හාස්‍යයට කරුණකි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝනය නොකර තමන්ගේ තරම දැනගෙන කතා කිරීම හොඳය. මීට පෙර ද මේ රට සිංහල බෞද්ධ රටක්‌ නොවේ. ජාතික කොඩියට ගරු නොකරන හැටි ඔහු කී විට ඒ වරද ගැන ද අපි කතා කළෙමු. අධිරාජ්‍යවාදීන්ගෙන් ත්‍රිකුණාමලය පවරා ගත් අන්දම අපට මෙහිදී සිහිපත් වේ. යටත්විජිත පාලනය පැවැති අවධිය ගැන සිතා බලන්න. දැන් අපි නිදහස්‌ ශ්‍රී ලංකාවක්‌ ය. විදේශීය බලපෑම්වලට නතු විය යුතු නැත. නිදහස්‌ රටක අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීම වරදකි. නවි පිල්ලේ ගේ යෝජනා ගැන ද විමසා බැලිය යුතුව ඇත. ත්‍රස්‌තවාදී පනත අහෝසි කරන්න උතුරින් හමුදාව ඉවත් කරන්න මියගිය කොටින් සැමරීමට ඉඩ දෙන්න ආදී යෝජනා ඇය ඉදිරිපත් කරන්නේ කාගේ වුවමනාවකට ද? ඇමරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපා සංගමයට ඕනෑ විදියට කටයුතු කරන්නට ඉඩ දිය නොහැකිය. පිල්ලේ නෝනා මේ රටේ ඇවිදිමින් කළේ ශ්‍රී ලංකාවට විනයක්‌ය. අපෙන් මානව හිමිකම් කඩ වීම් ගැන අහන අයට අපේ මානව හිමිකම් කඩවීම් ගැන නොපෙනුනේ මන්ද? දෙමළ බෙදුම්වාදීන් අවුරුදු තිහක්‌ තිස්‌සේ කළ විනාශයන් ගැන කියන්නේ නැත. ශ්‍රී මහා බෝධීන් වහන්සේට දළදා මාළිගාවට පමණක්‌ නොවේ. මුස්‌ලිම් පල්ලි ද, හින්දු කෝවිල් ද විනාශ කරමින් බෞද්ධාගමික නායකයන්, මුස්‌ලිම් හා හින්දු පූජකයන් මරා දැම්ම අයුරු අමතකද? බටහිර ජාතීන් ප්‍රභාකරන් බේරා ගන්නට නොකළ වෑයමක්‌ නැත. අපේ වීරෝදාර හමුදා භටයන් රාජ්‍ය නායකයන්ගේ මේ අමනෝඥ අධිරාජ්‍යවාදී මාර දූතයා මරා නොදැම්මා නම් අද වන විට අපට කතා කරන්නට රටක්‌ නැත. ප්‍රාන්ත රාජ්‍යයන් අටවා ගන්නට මානබලන උන්ට රටේ පෞරාණික ඉතිහාසය ගැන යමක්‌ කියා දිය යුතුව ඇත. ශ්‍රී ලංකා කියන්නේ සිංහල ද්විපයයි. අපගේ ධර්ම ද්වීපයයි. අප මහා සම්බුදුරජාණන් වහන්සේ තෙවරක්‌ වැඩිය දේශයයි. නිර්මල බුදු දහම නොනැසී පවතින ලෝකයේ එකම රාජ්‍යයයි. මේ සිංහල අපගෙ රටයි අප ඉපදෙන මැරෙන රටයි. මේ රට රැක ගැනීම අපගේ යුතුකමයි.

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 22 වැනි සැසිවාරය ආරම්භ කරන්නට නියමිත මේ කාලයේදීම උතුරු පළාත් සභාව තම අදහස්‌ හා යෝජනා ඉදිරිපත් කළේ ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අපි පිළිගන්නේ නැහැ, අපි වෙනම රටක්‌, ජාතියක්‌ යෑයි ලොවට හඬගා කියන්නද? ලෝක සාමය ගැන කතා කරන්නට සැදී පැහැදී ඉන්නා බලවතුන් එම සංවිධානයේ සාමාජික රටවල්වල අභ්‍යන්තර ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ මේ අන්දමටද? යුද අපරාධ චෝදනාවක්‌ එල්ල කරන්නේ කරුණු පිරිසිදුවටම සොයා බලා ද? ශ්‍රී ලංකාවේ විශේෂයෙන් යුද්ධයෙන් විනාශවී තිබුණු දේශයේ කරන ලද සංවර්ධනය ගැන සොයා නොබලන්නේ ඇයි.

උතුරු පළාත් සභාව කොටින් විසින් බිමේ වළලා තිබුණ එක බෝම්බයක්‌වත් ඉවත් කළේද? පාලමක්‌ බොක්‌කුවක්‌ සෑදුවේද. ආණ්‌ඩුව දුම්රිය මාර්ග සාදා වාරය ද සාදා ගුවන් තොටුපළවල් ද විවෘත කළාට පසු ඒවා උදව් කරගෙන ජාත්‍යන්තරය සමඟ එක්‌ වී අපටම අරියාදු කිරීමට ලක ලෑස්‌ති වේ.

උතුරු පළාත් සභාව පිහිටුවීමට රජය කටයුතු කිරීම ඉදිරි පියවරකි. රටේ නීතිය හා සාමය ආරක්‍ෂා වන අන්දමට ද ඒකීය රාජ්‍යයක්‌ ලෙස රට සංවර්ධනය කිරීමට ද පළාත් සභාවේ මහ ඇමැති ඇතුළු අමාත්‍ය මණ්‌ඩලය පියවර ගත යුතුව ඇත. නමුත් සිදුවන්නේ අප නොසිතූ නොපැතූ දෙයකි.

මෙවැනි අවස්‌ථාවකදී පළාත් සභා වෙන් වෙන් වශයෙන් බෙදී නොව, එකම රටක්‌ සේ පෙනී සිටිය යුතුව ඇත. දේශපාලන පක්‍ෂ භේද අමතක කර එක්‌ වී රට රැක ගත යුතුව ඇත. බටහිර ක්‍රිස්‌තියානි බලවේගවලට අප යටත් වියයුතු නොවේ. අප ජාතිකත්වය මත පදනම්ව මානව හිමිකම් කුමන්ත්‍රණකරුවන්ට සිහිබුද්ධියෙන් යුක්‌තව මුහුණ දෙමු.

කේ. මතිලාල්

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.