වසර හතකට පසුව ලංකාවට ආවේ
රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළිය

- ගයනි ගිසන්තිකා

මම දැන් මුහුකුරා ගිය කෙනෙක්‌

42 වැනි රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම නිළිය "ෙච් ගුවේරා" (මරා දැමූ ජීවත්වන මිනිසා) නාට්‍යයේ ජූලියා කෝට්‌ස්‌ගේ චරිතය නිරූපණය කළ ගයනි ගිසන්තිකාට හිමිවෙනවා. දිගුකලකට පසුව ලංකාවට ඇවිත් වේදිකාවේ යමක්‌ කළ ගයනිට ලැබුණු සම්මානය හින්දාම අපි ඇයට ඉඩක්‌ වෙන් කරන්න හිතුවා. මොකද එහෙම නොකළොත් අපි ඇයට ආසාධාරණයක්‌ කළා කියලා හැඟෙනවා. ඒ හින්දා රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළිය වූ ගයනිගේ හඬ මෙලෙස අපි අවදිකරවූවා.



ගයනි ලැබුණු සම්මානය ගැන මොකද හිතන්නේ ?

ඇත්තටම සතුටුයි. වසර හතකට පස්‌සේ නිර්මාණයකට දායකවෙලා මට සම්මානයක්‌ ලැබෙනවා. අනික මම සෑහෙන කාලයක්‌ ලංකාවෙන් පිටත තමයි ජීවත්වුණේ. ලංකාවෙන් යන්න කලින් මම එතරම්ම වැඩ කළෙත් නැහැ. කොහොම වුණත් ලැබුණ සම්මානය ගැන ලොකු සතුටක්‌ තියෙනවා.

කොච්චර කාලෙකින්ද ලංකාවට ආවේ ?

අවුරුදු හතකට විතර පස්‌සේ. අපි 2007 වසරේ තමයි ලංකාවෙන් පිටත්වුණේ. ආපසු ලංකාවට ආවේ 2013 අප්‍රේල් මාසයේ. නමුත් අපි ආවා කියලා කවුරුවත් දන්නේ නැහැ.

ලංකාවට ආපු ගමන් ඇගයීමට ලක්‌වීම දැනෙන්නේ මොන විදිහටද?

ඇත්තටම මම කාලයක්‌ ලංකාවේ වැඩකළේ නැහැ. අප්‍රේල් මාසයේ ලංකාවට ආවට පසුව තමයි බුද්ධික දමයන්තගෙන් මට මේ පිටපත ලැබෙන්නේ. අනික මීට කලින් මට බුද්ධිකව හමුවෙලා තිබුණෙත් නැහැ. මම ගොඩක්‌ සතුටුවෙනවා ඔහුට හරි මාව මතක්‌වීම ගැන. මුලින් නම් පොඩි බයක්‌ තිබුණා. මොකද සෑහෙන කාලයකින් වැඩකරන්න පටන්ගන්නේ.

ඇයි මේ වැඩිපුර මාධ්‍ය ඉදිරියට එන්නේ නැත්තේ ?

ඇත්තටම මාධ්‍ය ඉදිරියට එන්නේ නැතුවාම නෙමෙයි. පසුගිය දවස්‌වල පුවත්පතක වගේම විද්යුත් මාධ්‍යයේ මම දායක වුණු ෙච් ගුවේරා නාට්‍යය පිළිබඳ සාකච්ඡාවක්‌ පැවැත්වුණා. මම ඊට සහභාගි වුණා. කොහොමටත් මම යම්කිසි දෙයක්‌ කරලා මාධ්‍ය ඉදිරියට එන එක හොඳයි කියලා හිතුවා. වැඩක්‌ නොකර මාධ්‍ය ඉදිරියට ඇවිත් වැඩක්‌ නැහැනේ. මම හිතන්නේ මේක තමයි හොඳම වෙලාව මාධ්‍යයට කතා කරන්න. එතකොට හේතුවක්‌ තියෙනවානේ මා ගැන කතා කරන්න. කොහොමටත් මාධ්‍ය වගේම ගොඩක්‌ දෙනෙක්‌ මම ආවා කියලා දන්නේ නැහැ.

තරුපති එක්‌ක ගෙවන ජීවිතය ගැන කතා කළොත් ?

හරිම කාර්ය බහුලයි. තරු මේ වෙනකොට විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරයෙක්‌ විදිහට සේවය කරනවා. ඒ වගේම ශබ්ද පරිපාලන ආයතනයක්‌ පවත්වාගෙනත් යනවා. ඔය අතරේ ඔස්‌ටේ්‍රලියාවේ ප්‍රසංග කිහිපයකටත් සහභාගි වෙන්න හිතාගෙන ඉන්නවා. ඒක හින්දා පුතාලා දෙන්නාගේ වැඩ මගේ අතින්ම තමයි සිද්ධවෙන්නේ.

පුතාගේ විස්‌තර ටිකකුත් කියමුනේද?

ලොකු පුතා මයෝන් මුලිඳු මුණසිංහ. පුංචි පුතා මිථුන් සහන් මුණසිංහ. ලොකු පුතා නම් දැන් රෝයල් ජාත්‍යන්තර පාසලේ පෙර පාසල් යනවා. පුංචි පුතාට නම් වයස අවුරුදු දෙකහමාරයි.

රඟපෑම දරුවන්ගේ වැඩවලට බාධාවක්‌ නෙමෙයිද?

අපේ කාර්ය බහුලත්වය දරුවන්ගේ වැඩවලට බාධාවක්‌ වෙන්න පුළුවන්. හැබැයි මම ඔවුන්ගේ වැඩවලට මූලිකත්වය දීලා තමයි, අනෙක්‌ වැඩවලට අවධානය යොමුකරන්නේ. කිසිම වෙලාවක දරුවන්ගේ වැඩකටයුතු අතපසු කරන්නේ නැහැ. මගේ,අපේ ලෝකය දරුවන්ගේ අනාගතය සාර්ථක කිරීම වෙනුවෙන් නිසා හැමදෙයක්‌ම සමබරව කරන්න උත්සාහ කරනවා.

එතකොට තරුපතිගේ වැඩකටයුතු එහෙම ?

එයා මේ දවස්‌වල ගීත කිහිපයක්‌ නිර්මාණය කරනවා. ඒ අතරේ ඔස්‌ටේ්‍රලියාවේ ප්‍රසංග කිහිපයකටත් සහභාගි වෙන්න සූදානමින් ඉන්නේ. ඒ විතරක්‌ නෙමෙයි ඔස්‌ටේ්‍රලියාවේ ඉන්න පිරිසකට සංගීතය උගන්වනවා. මේ මොන වැඩ තිබුණත් විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරයෙක්‌ විදිහටත් සේවය කරනවා.

සම්මානය ලැබීම ගැන ඔහු මොකද කිව්වේ ?

ඇත්තටම තරුටත් ලොකු සතුටක්‌ තියෙනවා. පසුගිය කාලයේ මම බොහොම කාර්ය බහුල වෙලයි හිටියේ. මේ ජයග්‍රහණය ලැබුණේ බාධක රැසක්‌ මැද්දේ. ඒ හින්දා ජයග්‍රහණය ගැන සතුටුක්‌ පැහැදිලිවම තිබෙනවා. කොහොමටත් පවුලක්‌ එක්‌ක මේ වැඩේ කරන එක ලෙහෙසි නැහැ.

ඔබ ලංකාවෙන් පිටත්වෙන කොට මෙතැන තිබුණ තැන අද නැතිවෙලා කියලා හිතෙන්නේ නැතිද?

කලා කටයුතු එක්‌ක බලද්දී චිත්‍රපට විශාල ප්‍රමාණයක්‌ වගේම ටෙලිනාට්‍යයත් බිහිවෙලා තියෙනවා. ඒ වගේම නවක අධ්‍යක්‍ෂවරු, නළු නිළියෝ බිහිවෙලා. මෙගා නාට්‍ය රැසක්‌ දැන් නිර්මාණය වෙලා. ඒක දෙගුණ තෙගුණ වෙලා කියලයි මට නම් හැඟෙන්නේ. වේදිකාවේ වැඩිපුර හාස්‍යය මුසු නිර්මාණ බිහිවෙන්න පටන්අරගෙන. ඔය අතරේ ක්‍ෂේත්‍රයට ආදරය කරන පිරිසක්‌ යමක්‌ කරන්න උත්සාහ කරනවා.

අලුත් මුහුණු නිසා ගයනිට තැනක්‌ නැතිවේවිද?

කොතරම් අලුත් මුහුණු ආවත් කවදත් මට වේදිකාවේ වගේම සිනමාවේ ඉඩක්‌ තිබුණා. මම දැන් වයසින් මුහුකුරා ගිහිං. හැබැයි මට චරිත නැතුවම නෙමෙයි. මම හිතනවා මගේ හැකියාවන් තව මුවහත් විය යුතුයි කියලා.

දිනේෂ් විතාන
ඡායා - සමන් අබේසිරිවර්ධන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.