ජිනීවා අභියෝගය!

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 25 වැනි සැසිවාරයට ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවට පක්‍ෂව රටවල් 23 ක්‌ ඡන්දය ලබා දී තිබේ. එයට විපක්‍ෂව ඡන්ද 12 ක්‌ ලැබුණු අතර තවත් රටවල් 12 ක්‌ ඡන්දය දීමෙන් වැලකී සිටියහ. මෙවර කැපී පෙනෙන සිදුවීමක්‌ වූයේ පසුගිය වසරේ ලංකාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ ඉන්දියාව මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටීමය.

මෙම ප්‍රතිඵලය තම තම අභිමතය පරිදි විශ්ලේෂණය කර ස්‌වයංවින්දනයක යෙදීමට කවරෙකුට වුවද බාධාවක්‌ නැත. මෙම ප්‍රතිඵලය ශ්‍රී ලංකා රජය ලද පරාජයක්‌ ලෙස සැලකීමට මෙන්ම ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණයක්‌ ලෙස සැලකීමටද හැකිය. එසේම මෙය ශ්‍රී ලංකාව ලද අස්‌වැසිල්ලක්‌ හෝ සහනයක්‌ ලෙසද සැලකීමට හැකිය. කිසියම් යෝජනාවකට පක්‍ෂ නොවීම මෙන්ම මතයක්‌ ප්‍රකාශ නොකිරීම තුළ ද ඉතා අර්ථවත් සංඥවක්‌ තිබෙන හෙයිනි.

කෙසේ හෝ වේවා මෙම යෝජනාව පිළිබඳ අපට බරපතල විවේචනයක්‌ තිබේ. පළමුවැන්න මෙම යෝජනාව පසුපස තිබෙන විජාතික දුෂ්ට බලවේග මෙයින් අපේක්‍ෂා කරන ප්‍රතිඵලයයි. දෙවැන්න මෙය හුදෙක්‌ මානව හිමිකම් සුරැකීම සඳහා සද්භාවයෙන් කෙරෙන යෝජනාවක්‌ බව අපට තහවුරු නොවීමයි. තෙවැන්න මෙම යෝජනාව සකස්‌ කරනු ලබන නවනීදන් පිල්ලේ මහත්මියගේ පක්‍ෂග්‍රාහී විලාසයයි. මේ කරුණුවලට අමතරව මේ යෝජනාව පසුපස සිටින ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදීන් විසින් මානවහිමිකම් යන සංකල්පයට මුවාවෙමින් නිදහස්‌ රටවලට එල්ල කරනු ලබන අනිසි හා අයුක්‌ති සහගත බලපෑම් ගැනද අපට තිබෙන විවේචනයයි.

ලෝකයේ බිහිසුණුම ත්‍රස්‌තවාදී සංවිධානයක්‌ මෙන්ම එය මෙහෙය වූ µeසිස්‌ට්‌වාදී නායක ප්‍රභාකරන්ට බටහිර රටවලින් ලැබුණු අනුග්‍රහය සුළුපටු නොවේ. එක්‌සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයේ ක්‍රියාකාරකම් පිළිබඳව විමසා බලන්නේ නම් ඔවුන් එදා එල්.ටී.ටී.ඊ.යට දැක්‌වූ සහාය සුළුපටු නැත. එක්‌සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය මේ රට විනාශ කිරීමේ එල්.ටී.ටී.ඊ. මෙහෙයුම්වලට ලබා දෙන ලද ආධාර උපකාර කෙතරම්ද යන්නත් වෙනම විමසා බැලිය යුතුය.

බටහිරයන්ට වුවමනා පරිදි ප්‍රභාකරන් ගලවා ගැනීමට නොහැකි වීමේ වේදනාව පිරිමසා ගැනීමටත්, එමගින් ශ්‍රී ලංකාවට පාඩමක්‌ ඉගැන්වීමටත් අද බටහිරට වුවමනා වී තිබේ. බැලූ බැල්මට මෙම යෝජනාව ශ්‍රී ලංකාවේ යුද සමයේ සිදු වී ඇතැයි අපේක්‍ෂා කරන මානව හිsමිකම් විනාශවීමක්‌ පිළිබඳව කෙරෙන විමර්ශනයකි. එයට මූලික වන නවනීදන් පිල්ලේ මහත්මිය ඒ කාර්ය සඳහා නිල හිමිකම් ලද නිලධාරිනියකි. එහෙත් මෙකී සාධක දෙකම අපගේ මාතෘ භූමියට එරෙහිව ක්‍රියාත්මක වන දුෂ්ට මෙහෙයුමක විසම ඵල දෙකකි.

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදීන් තරම් ලෝක ඉතිහාසයට අපරාධ වාර්තා එක්‌ කළ පිරිසක්‌ සිටිත්ද? ඇමෙරිකානුවන් විසින් එදා (1945 දෙවැනි ලෝක යුද්ධයේදී) ජපානයේ හිරෝෂිමා නාගසාකි නගරවලට එල්ල කරන ලද තුච්ඡ ප්‍රහාරය මානව ඉතිහාසයේ බිහිසුණුම ක්‍රියාවකි. අදත් ජපානය එහි ප්‍රතිඵල විඳිමින් සිටියි.

ඇමෙරිකාවේ ඒ වධක ඉතිහාසය අලුත් කරමින් ඉන් පසු වියට්‌නාමයට කළ අපරාධය මෙන්ම මෑතකදී ඉරාකයට කළ විනාශයද ලොවම දනී. එබඳු තිරශ්චීන අපරාධ ඉතිහාසයක්‌ මත නැගී සිටින කුරිරු අධිරාජ්‍යවාදීන්ගේ සුජාත භාවය කුමක්‌ද? අපි නවනීදන් පිල්ලේ මහත්මිය ගැනද විවේචනයකට නොයමු. අපට ඇගේත් මාධ්‍යවේදියකු සේ පෙනී සිටින කැලම් මැක්‌රේගේත් වෙනසක්‌ නොපෙනේ.

මේ දෙදෙනාම දැන් කලක සිට ගෙන යන ලැඡ්ජා සහගත මෙහෙයුම පසුපස තවත් බලවේග ගණනාවක්‌ම තිබෙන බවද අපි දනිමු. දෙමළ ජාතික සන්ධානයේ ගරු මන්ත්‍රීවරුන් පිරිසක්‌ද ජිනීවා යෝජනාවට අඩු වැඩි සපයමින් සිටියහ. මේ නඩයෙන් පිටට පැන සිටින ගඡේන්ද්‍ර කුමාර්, පොන්නම්බලම් වැනි අයගේ අදහස වී ඇත්තේ දෙමළ ජනතාවට අන්තර්වාර පාලනයක්‌ ලබා ගැනීමය.

ශ්‍රී ලංකාවට එරෙහිව කෙරෙන ඊනියා අන්තර් ජාතික පරීක්‍ෂණයකදී තොරතුරු සැපයීමට දත මැද ගෙන සිටින පිරිස්‌ ද වෙති. ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන, බංකොලොත් දේශපාලන පක්‍ෂ ද ඒ අතර වේ. මානුෂික මෙහෙයුම් කළ සමයේ වන්නියේ සේවය කළ වර්ධරාජා නමැති වෛද්‍යවරයෙකුද එබඳු අවස්‌ථාවක්‌ අපේක්‍ෂාවෙන් සිටින බව වාර්තා වී තිබේ. ඇතැම්විට අපේ ආරක්‍ෂක අංශවල සිටි ඇතැම් අයද මෙබඳු ක්‍රියාවක දී යොදා ගත හැකි වනු ඇත.

මේ තතු මෙසේ වුවද රටක්‌ වශයෙන් අපට මෙම ලෝක තත්ත්වය මඟහැර යැමද අසීරු බව කිව යුතුය. අප මේ තතු අවධානයට ගත යුත්තේ බටහිරයන්ගේ අභිලාෂයන්ද ඉඳුරා දැනගෙනය. මේ ක්‍රියාදාමයේ දී එල්.ටී.ටී.ඊ.ය දැක්‌වූ ප්‍රතිචාර, ඔවුන්ගේ සැහැසිකම්, ඝාතන යනාදිය පිළිබඳව ද විමර්ශනයක්‌ වුවමනාය. ඔවුන්ගේ අපරාධකාරී පැවැත්ම මේ රට එතැනට ඇදගෙන ගිය බවද මෙහිදී අමතක කළ නොහැක.

අනෙක්‌ අතට ශ්‍රී ලංකාව යනු ස්‌වෛරී, ස්‌වාධීන රටක්‌ය යන්න මෙහිදී කිසිසේත්ම අමතක කළ යුතු නැත, යුද්ධයේ අවසන් කාලය තුළ ක්‍රියාදාමය විමර්ශනය කළ යුත්තේ ඉන් මේ රටට ලබාගත හැකි සාධනීය ප්‍රතිඵල කේන්ද්‍ර කර ගනිමින් මිස බටහිරයන්ට ගැතිව හෝ නිවටව නොවන බවද සඳහන් කළ යුතුය. දසක තුනක යුද්ධයක්‌ නිමා කළත් තවම අපට උතුරේ දෙමළ ජනතාව දිනාගත නොහැකි වීමේ සැබෑ හේතු මතුකර එයට ප්‍රතිකර්ම යෙදීමටද එබඳු විමර්ශනයක්‌ යොදා ගත යුතුය.

බටහිර අධිරාජ්‍යවාදයේ අරමුණු පරාජය කළ හැක්‌කේ මේ රටේ සියලු ජන වර්ග එක පෙළකට සිටින්නේ නම් පමණි. රටේ ස්‌වාධීනත්වය, ස්‌වෛරියත්වය අනතුරට දමා ජාත්‍යන්තරය කියන කියන පදවලට නැටීමට අප සූදානම් නොවන බව ලොවට කිව හැක්‌කේද එබඳු පුළුල් ජාතික සමඟියකින් පමණි. එය ඉවසීමෙන් හා බුද්ධියෙන් අත්පත්කර ගත යුතු ජයග්‍රහණයකි. එවිට නවනීදන් පිල්ලේලාට හෝ ඊනියා බටහිර අධිරාජ්‍යවාදීන්ට හෝ කොටින්ගේ මිනීවලවල් හැරීමේ අදහස අත්හැර දැමීමට සිදුවනු ඇත.

අප ඒ යථාර්ථය නිවැරැදිව තේරුම් ගත යුතුය. මානව හිමිකම් යනු මානව වර්ගයාගේ අභිවෘද්ධිය හා යහපත උදෙසාම සුරැකිය යුතු සාරධර්මයක්‌ විනා ජන ඝාතක, ජන පීඩක µeසිස්‌ට්‌වාදීන්ට ද උන්ගේ අශිෂ්ටකම් සාධාරණීකරණය කරන නග්න වෘකයන්ට ද හිමිවිය යුතු දෙයක්‌ නොවන බවද අවධාරණය කළ යුතුය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.