ගෝපි අප්පන් සමග ආයෙත් කොටි කොළොප්පම්

ත්‍රස්‌ත විමර්ශන කොට්‌ඨාශය මේ මොහොත වනවිට කොටි සැකකරුවන් දෙදෙනෙක්‌ ගැන සොයමින් සිටිති. මේ සැකකරුවන් දෙදෙනාගෙන් එකෙක්‌ ගැන හෝ තොරතුරු ලබා දෙන අයෙකුට ලැබෙන මුදලේ ලංසුව රුපියල් ලක්‌ෂ දහයකි. ත්‍රස්‌ත විමර්ශන ඒකකය සොයමින් සිටින්නේ කපීපන් පොන්නයියා සෙල්වනායගම් හෙවත් ගෝපි හෙතත් කාසියන් නැමැත්තෙක්‌ හා ඔහුගේ සගයා බව කියන නවරත්නම් නවනීදන් හෙවත් අප්පන් නැමැත්තෙකි. ගෝපි තිස්‌ එක්‌ හැවිරිදිය. උස අඩි හයකි. සිරුර තළෙළුය. මහුණේ වම්පස තොලට උඩින් කැපුමක කැළලක්‌ ඇත. ඔහුගේ සගයා අප්පන් තිස්‌හය හැවිරිදිය. උස අඩි පහයි අ`ගල් දෙකකි. සිරුර තළෙළුය.

ත්‍රස්‌ත විමර්ශන ඒකකය මොවුන් හොයන්නේ මේ දෙදෙනා පුනරුත්ථාපනය නොවු එල්.ටී.ටී.ඊ කාඩරයන් නිසා බව කියන්නේය. පසුගිය මාර්තු 11 වැනිදා කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේදී පොලිස්‌ නිලධාරියෙකුට වෙඩි තබා පලා ගියේ මොවුන් දෙපළ බව හඳුනාගෙන තිබෙන බව පොලිසිය පවසන්නේය. මේ සැකකරුවන් ගැන පොලිසිය කියනා කතාව මෙසේය.

ත්‍රස්‌ත විමර්ශන ඒකකයෙන් ඇසෙන ගෝපිගේ වගතුග පොට්‌ටුඅම්මාන් ගේ බුද්ධි අංශයේ ඔහු සමගම කටයුතු කළ කීර්ති නම් කාඩරයෙක්‌ වූයේය. ගෝපි නැමැත්තා කීර්තිගේ මෙහෙයුම් éයත් කළ ප්‍රධාන සාමාජිකයෙක්‌ වුයේය. ගෝපිගේ පවුලේ සහෝදරයින් පස්‌ දෙනෙකි. මේ අයගෙන් දෙදෙනෙක්‌ එල්.ටී.ටී.ඊ. කාඩරයන්ය. ඔවුන් දෙදෙනා යුද්ධයේ දී හමුදා ප්‍රහාර වලටලක්‌ව මිය ගියහ. ගෝපිගේ පවුල මහ විරු පවුලක්‌ ලෙස කිලිනොච්චියේදී සම්භාවනාවට ලක්‌ වු පවුලක්‌ විය. එල්.ටී.ටී.ඊ බුද්ධි මෙහෙයුම්වල නිරතවෙමින් සිට ගෝපි විවාහ වන්නේ ත්‍රී කුණාමලයේ පාලඋත්තු ප්‍රදේශයේ තරුණියක්‌ සමගය.

යුද්ධය ඇවිලෙමින් යන අවසාන වකවානුවේ ගෝපි රටින් පැනගත්තේය. 2010 වනවිට හේ සවුදි රාජ්‍යයේ ට්‍රක්‌රථ රියදුරෙක්‌ ලෙස රැකියාව කරමින් සිටියේය. ඒ වකවානුවේ හෙතෙම විදේශගත කොටි හිතවාදීන් සමග සම්බන්ධකම් පවත්වා තිබිණි. එහිදී ගෝපි සමග යුරෝපයේ සිටි කොටි හිතවාදී කණ්‌ඩායම් හා කොටි නායකයින් Rජු සම්බන්ධතා පැවැත්වු බව කියෑවිණි. ඔහුට විශාල වශයෙන් මුදල් ලැබුණ බව කියෑවිණි. අවසානයේදී උතුරේ කොටි සංවිධානය යළි බලගැන්වීම සඳහා වන දෙමළ ඩයස්‌පෝරාවේ කොන්ත්‍රාත්තුව සහිතව ගෝපි ලංකාවට පැමිණි බව කියෑවිණි. ඒ පසුගිය වසරේදීය.

ගෝපි එතැන් සිට උතුරේ ක්‍රියාත්මක වෙමින් සිටියේය. හේ විසිරී ගිය එල්.ටී.ටී.ඊ. හිතවාදීන් සොයා ගියේය. ඔවුන් සංවිධානය කරන්නට පටන් ගත්තේය. 2014 මහවිරු සමරුව වෙනුවෙන් පෝස්‌ටර් ව්‍යාපාරයක්‌ ඔහු විසින් සැලසුම් කොට තිබුණේය. දෙමළ ජාතිකයින්ගේ නිජබිමේ අයිතිය දිනාගන්න එකතුවෙමු යන පණිවුඩය සහිතව උතුරේ අලවා තිබු එම පෝස්‌ටර්, රට යළිත් යම් සසල කිරීමකට ලක්‌ කළේය.

මේ ගැන සෙවිල්ලෙන් සිටි බුද්ධි අංශ පලෙයිවලදී එල්.ටී.ටී.ඊ දැන්වීම් අලවමින් සිටි දෙදෙනෙක්‌ අත්අඩංගුවට ගත්තේය. ඔවුන්ගෙන් ප්‍රශ්න කරන විට ගෝපි නැමැති මේ අප්‍රකට කොටි නායකයා ගැන තොරතුරු හෙළිදරව් වුණේය. ඔහු ඒ වනවිට කිළිනොච්චිය ධර්මපුරම්වල ජීවත්වන බවට ලද ඒ තොතුරු මත ත්‍රස්‌ත විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක්‌ ධර්මපුරම් ගියේය. එසේ ගොස්‌ ඔහු ජීවත්ව සිටි බවට හඳුනාගත් නිවස වටකළ එහි සැඟවී සිට පොලිසියට වෙඩිතැබු ගෝපි පලා ගිය බව පොලිසිය කියන්නේය. මේ වෙඩි තැබීමෙන් එක්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ තුවාල ලැබුවේය.

දැන් ගෝපි නැත. ගෝපි සොයා පසුගිය කාලයේ ත්‍රස්‌ත විමර්ශන ඒකකය කිළිනොච්චිය පීරුවේය. පුද්ගලයින් අත්අඩංගුවට ගත්තේය. ඒත් ගෝපි තවමත් හොයාගන්නට නොහැකිවුණු බව පොලිසිය කියන්නේය.

කිලිනොච්චියෙන් ඇසුණු කතාව,

කිළිනොච්චියේ සාමකාමී පරිසරය බිඳවැටෙමින් යළිත් වෙඩි හුවමාරු වන්නේ මාර්තු මස එකොළොස්‌ වෙනිදාය. පොලිසිය සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යැමේදී පොලිසිය කියන අන්දමට ඔහු නිවසකට කඩා වැදී එහි පිටුපසින් පලා යන්නේය. පොලිසිය ඔහුට වෙඩි තබයි. පොලිසිය යළිත් ප්‍රකාශ කරන අන්දමට පලා යන සැකකරුද පොලිසියට වෙඩි තබයි. එම වෙඩි පහරින් පොලිස්‌ පරීක්‍ෂකවරයකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කරයි.

පලාගිය හොරාට රැකවරණය දීමේ චෝදනාව මත කිළිනොච්චියේ ධර්මපුරම් ගම්මානයේ පදිංචි බාලේන්ද්‍රන් ජෙයකුමාරි සහ ඇගේ දියණිය වන දාහතර හැවිරිදි බාලේන්ද්‍රන් විභූෂිකා පොලිස්‌ අත්අඩංගුවට පත්වන්නේ මාර්තු එකොළොස්‌ වැනිදා රාත්‍රියේදීය. මේ අත්අඩංගුවට ගැනීම සිදුකරනු ලබන්නේ සාමාන්‍ය පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ නොව ශ්‍රී ලංකා පොලිසියේ ත්‍රස්‌ත මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසකි.

පොලිසිය අත්අඩංගුවට ගැනීමට ගිය සැකකරුවා ගැන රට දන්නේ දැන්ය. නමුත් බාලේන්ද්‍රන් ජෙයකුමාරි ගැන කලක සිට මුළු රටම දන්නේය. ඇයගේ ස්‌වාමි පුරුෂයා වූ බාලේන්ද්‍රන් යුද හමුදාවට භාරදීමෙන් පසුව අතුරුදන් වූ පුද්ගලයෙකි. ජෙයකුමාරිගේ පුතුන් දෙදෙනා සිටින්නේද මේ රටේ යුද්ධයෙන් පුද්ගලයින් අතුරුදන් වූවන්ගේ නාම ලේඛනයේය.

මේ පිරිස අතුරුදන් වූදා සිට ජෙයකුමාරී පුද්ගලයින් අතුරුදන් වූවන් පිළිබඳව හඬ නඟන සංවිධානයක ක්‍රියාකාරී සාමාජිකාවක්‌ වූවාය. ඩේවිඩ් කැමරන් යාපනයට පැමිණි අවස්‌ථාවේදී මහ හයියෙන් කෑ ගසමින් ඩේවිඩ් කැමරන්ට අතුරුදන් වූවන් පිළිබඳ කරුණු ඉදිරිපත් කළ පිරිස අතර ජෙයකුමාරි ද ඉදිරියෙන්ම වූවාය.

පලාගිය සැකකරුට රැකවරණය ලබාදීමේ චෝදනාව මත පොලිස්‌ ත්‍රස්‌ත මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන කිළිනොච්චිය දිසා විනිසුරුවරයා වෙත ඉදිරිපත් කරන ලද ජෙයකුමාරි මාස තුනක කාලයකට බූස්‌ස රැඳවුම් මධ්‍යස්‌ථානය වෙත යවා තිබේ. ඒ ඇයට පුනරුත්ථාපනය කිරීම පිණිසය. අවසන් යුද සමයේදී ආරක්‍ෂක අංශ වෙත භාර වූ දොළොස්‌ දහසකට වැඩි එල්. ටී. ටී. ඊ. සැකකරුවන්ට මෙන් දැන් ජෙයකුමාරිට ද පුනරුත්ථාපනය වීමට සිදුව තිබේ.

ජෙයකුමාරිගේ දියණිය වූ විභූෂිකාට යන එන මං නොමැති වූයේ ඇගේ මව පොලිස්‌ අත්අඩංගුවට පත්වීමෙන් පසුවය. මේ නිසා පුංචි විභූෂිකාද අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි. මව යම් දිනක නිදහස ලබන තුරු පුංචි විභූෂිකා ළමා නිවාසයක තබන ලෙස කිළිනොච්චිය දිසාවිනිසුරුවරයා නියෝග කොට තිබේ. පුංචි විභූෂිකා කිසිදු වරදක්‌ නොකළ ද ඇයට සිය පාසල් ගමන ද නතර කොට ළමා නිවාසයක කල් ගෙවීමට සිදුව ඇත. ළමා නිවාසයක සිටින ඇයට පාසල් යාමට කිසිදු බාධාවක්‌ නොමැති බව යම් අයෙකුට සිතිය හැකි නමුත් පුංචි විභූෂිකා ඉගෙන ගන්නා පාසලත් ඇයට භාරකොට ඇති ළමා නිවාසයත් අතර දුර නිසා ඇගේ පාසල් ගමනට බාධාවක්‌ එල්ල වී තිබේ.

පුංචි විභූෂිකාගේ පවුලේ කතාව එතැනින් හමාර වන්නේ නැත. ධර්මපුරම් ගම්මාන යේදී සිදුවූ මේ සිද්ධිය ගැන තොරතුරු සෙවීමට මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින හා ක්‍රියාකරන බ්‍රවීන් මහේසන් පියතුමා සහ රුකී ප්‍රනාන්දු මාර්තු මස දාසය වැනිදා සවස කිළිනොච්චියේ ධර්මපුරම් ගම්මානයට යන්නේ කොළඹ සිටය. නමුත් ඔවුන්ට ආපසු කොළඹට පැමිණීමට සිදුවන්නේ ඔවුන් ගමන් කළ වාහනයෙන් නොව පොලිස්‌ වාහනයකිනි. ඊට හේතුව ඔවුන් දෙදෙනාද අත්අඩංගුවට පත්වීමයි.

කිළිනොච්චියේ ධර්මපුරම් ගම්මානයේ සිදු වූ දේ සොයා බැලීමට ගිය මානව හිමිකම් සංවිධානයක ක්‍රියාකාරීන් දෙදෙනා අත්අඩංගුවට පත් වූයේ මන්ද? මේ තත්ත්වය ගැන තොරතුරු විමසූ අවස්‌ථාවේදී පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ ඊට මෙසේ පිළිතුරු දුන්නේය.

"මේ දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ත්‍රස්‌තවාදී මර්දන පනතේ සඳහන් වැරදි සම්බන්ධයෙනුයි. ජාතීන් අතර අසමගිය ඇතිකිරීමට යම් යම් තොරතුරු ලබාදීම සහ මහජනයා අතර අසමගියක්‌ ඇතිකිරීම යන කාරණා මොවුන්ට එරෙහි චෝදනා වෙනවා. මේ අත්අඩංගුවට ගත් දෙදෙනා සම්බන්ධයෙන් ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ කටයුතු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනා කොළඹ පිහිටි ත්‍රස්‌ත මර්දන ඒකක මූලස්‌ථානය වෙත ගෙන ගොස්‌ ප්‍රශ්න කළේය.

කිළිනොච්චියේදී මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පැය විසිහතරක්‌ ඉකුත් වීමටත් පෙර ඇමරිකානු රජය ශ්‍රී ලංකා රජයට යම් තර්ජනයක්‌ සහිත ලිපියක්‌ ඉදිරිපත් කළේය. එම ලිපිය මගින් මේ සිද්ධිය ඔවුන් හෙළාදැකීමෙන් සෑහීමකට පත් නොවි ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුතුව ක්‍රියා කරන ලෙසත් ඔවුන්ට ආරක්‍ෂාව සපයන ලෙසත් ඉල්ලීමක්‌ කොට තිබිණි.

අපරාධ කීපයකට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය හා යුද හමුදාව කිළිනොච්චියේදී මෙසේ ඩෙඟා නැටුවත් යාපනයේ වඩුක්‌ කොඩෙයිහි දෙමළ මහා විද්‍යාලයේදී පිරිසක්‌ අමිලන්ට මැරෙන තුරු පහර එල්ල කරද්දී පොලිසියට ඔහුව බේරාගැනීමට නොහැකි විය. ඒ පොලිසියේ තත්ත්වයයි. නමුත් සෑම සිදුවීමක්‌ අවසානයේම පොලිසිය පැත්තෙන් නිකුත් කරනු ලබන නිවේදනයන් හා ප්‍රකාශනයන් දෙස බලන විට පොලිසිය කිසිදු වරදක්‌ කොට නොමැත. වරදකරුවන් වී ඇත්තේ එම සිද්ධියට දායක වූ ගම්වැසියෝය.

මේ හැසිරීම්වල සමස්‌ථය අප තුළ කුකුසක්‌ උපදවන්නේය. ගෝපි ගේ ආගමනය, ධර්මපුරම් ප්‍රදේශයේ නිවස වට කළ විට පොලිසියට වෙඩි තබා ගෝපි අතුරුදන් වීම, කිළිනොච්චියම දන්නා ජෙයකුමාරි වැනි කාන්තාවන් මෙන්ම මොනම හෝ අරමුණක්‌ වෙනුවෙන් පෙනී සිටිනා මානව හිමිකම් ක්‍රියාකාරීන් මේ අත්අඩංගුවට පත්වන අතාර්කික ආකාරය දෙස ලෝකය බලා සිටින්නේය. ජිනීවා නුවර ඇසෙන මානව හිමිකම් සංවාදයේ තවත් අදියරක්‌ නිමා වන්නේ රටට යහපත් ආකාරයෙන් නොවේ. මේ අයහපත අපට බටහිරින් ගෙනා එකක්‌ නොව, අප විසින්ම නිර්මාණය කරගත් කාලකණ්‌ණිකමක්‌ බව පෙනෙන්නේ අපේ තර්ක බුද්ධියත් ප්‍රශ්න කරන මෙවැනි සිදුවීම් පෙළගැසෙන විටය.

අප ප්‍රශ්නයකට මුහුණ දෙන්නට හදන්නේ ප්‍රශ්න පත්‍රයක්‌ හදාගෙනය. අවියට අවියෙන්, වෛරයට වෛරයෙන් උත්තර දෙන්නට යැමේ ආදීනව මෑත ඉතිහාසය පුරාම අප අත්වින්දේය. ලෝකය ඉදිරියේ අනුවණ විකටයන් වීමේ විලිලැඡ්ජාව දැන් අපට දැනෙන්නේ නැත. එහෙත් අප නිරුවත් වන්නේ වීදුරු ගෙවල් තුළ හිඳගෙන බව අප තේරුම් ගත යුතුය

හේමන්ත රන්දුණු
දිනසේන රතුගමගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.