පුරාවිද්‍යා මෝල්ලු ගිලින ගාල්ලේ ලෝක උරුමය



ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක වටිනාකමක්‌ ඇති ස්‌ථාන විනාශ කරමින් නිධන් හෑරීම, නිධන් කැඩීම, පුරාවස්‌තු මංකොල්ල කෑම අද අපේ රටේ සාමාන්‍ය දෙයක්‌ බවට පත්ව තිබේ. අපේ රටේ ලෝක උරුමයක්‌ ලෙස නම්කර ඇති ගාලු කොටුවත් ඒ දුක්‌ඛිත ඉරණමට ලක්‌වීමේ ශෝකජනක කතාවයි මේ.

ගාලු කොටුව, කොළඹ කොටුව, යාපනේ කොටුව ඇතුළු කොටු ඉදිකරනු ලැබුවේ මේ රටේ ඒකීය භාවය ආරක්‍ෂා කිරීම සඳහා නොවේ. අපේ රට යටත්කර ගැනීම සඳහා පැමිණ පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතිකයන්ගේ පටු දේශපාලන අරමුණ ඉටුකර ගැනීම සඳහායි.

නමුත් අද ගාලු කොටුව අපේ රටේ ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක උරුමයක්‌ බවට පත්ව තිබේ. ලන්දේසි පාලන සමයේදී බෙන්තර ගඟේ සිට වලවේ ගඟ දක්‌වා මුහුදුකරයද පිටිගල, මාපලගම, කටුවන ආදී රටේ අභ්‍යන්තර ප්‍රදේශද පාලනය කරනු ලැබුවේ ගාලු කොටුවේ සිටි උප ආණ්‌ඩුකාරවරයා විසිනි.

අක්‌කර අනූවක්‌ පුරා විසිරී තිබෙන ගාලු කොටුව අද සම්පූර්ණයෙන්ම පාලනය කෙරෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු යටතේය. දකුණේ ප්‍රධාන අග නගරය වන ගාල්ල නගරය තුළ මුහුදට ආසන්නව පිහිටි ගාලු කොටු පවුරේ එක්‌ බිත්තියක පළල අඩි 4 - 5 අතර ප්‍රමාණයකි. ගාලු කොටු පවුර ඉදිකර තිබෙන්නේ මැටි, හුණු, වැලි සහ ගල් යොදාගෙනය. මෙම ගාලු කොටුව අද පෙම්වතුන්ගේ පාරාදීසයක්‌ බවටත් සල්ලාලයන්ගේ මනදොළ සපුරන කෙළිබිමක්‌ බවටත් පත්ව ඇති සැටි එහි යන එන්නෙකුට පැහැදිලිවම දැකබලාගත හැකිය.

නමුත් අපේ මෙම අනාවරණය වෙන්වන්නේ ගාලු කොටුවේ දවසින් දවස ඉහළයන අනවසර ඉදිකිරීම් පිළිබඳවයි. මේ සඳහා දිය හැකි හොඳම නිදසුන ගාලු කොටුව තුළ නීති විරෝධී ලෙස පිහිනුම් තටාක ඉදිකිරීමයි.

ගාල්ල - කොටුව තුළ පිහිටි රුම්පාත් වීදියේ සහ පරව වීදියේ ස්‌ථාන දෙකක අලුතින් පිහිනුම් තටාක දෙකක්‌ ඉදිකිරීමට ව්‍යාපාරිකයන් දෙදෙනෙකු වැඩ ආරම්භකර තිබේ.

මෙම පිහිනුම් තටාක දෙක ඉදිකරනු ලබන්නේ රුම්පාත් වීදියේ අංක 25 දරණ ස්‌ථානයේ සහ පරව වීදියේ අංක 2 දරණ ස්‌ථානයේය. ගාලු කොටුව තුළ යම් ඉදිකිරීමක්‌ සිදුකරන්නේ නම් ඒ සඳහා අනිවාර්යෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය ලබාගත යුතුවේ.

නමුත් නීති විරෝධි ලෙස ඉදිකෙරෙන මෙම පිහිනුම් තටාක දෙක සඳහා මෙම ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් එක්‌ අයෙකුවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිසි අවසරයක්‌ ලබාගෙන නැත.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නීතියට අනුව ගාලු කොටුව තුළ පිහිනුම් තටාකයක්‌ ඉදිකළ හැක්‌කේ පර්චස්‌ 30 ක ඉඩමක්‌ සහ එම ඉඩම තුළ අවම වශයෙන් කාමර අටක ගොඩනැඟිල්ලක්‌ ඉදිකර ඇති නිවසකට පමණි.

ඒ සඳහාද අනිවාර්යෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලබා ගතයුතු වේ. නමුත් මෙම නීති රීති තුට්‌ටුවකටවත් මායිම් නොකර මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා මේ වනවිටත් පිහිනුම් තටාක ඉදිකිරීම ආරම්භකර තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ සහ රැකවලුන්ගේ ඇස්‌ වසා මේවැනි දෙයක්‌ කළ හැකිද යන්න බරපතළ ප්‍රශ්නයකි. උත්තරය ලෙහෙසියෙන් පහසුවෙන් එය කළ නොහැකි බවයි. එමගින් පැහැදිලිවෙන එක දෙයක්‌ තිබේ. එනම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ සහ රැකවලුන්ගේ සහයෝගය නොනිල මට්‌ටමින් සහ සෘජු හා වක්‍ර ආකාරයෙන් මෙම ව්‍යාපාරිකයන් දෙදෙනාට ලැබී ඇති බවයි.

මේ වන විටත් මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා රැම්පාත් වීදියේ සහ පරව වීදියේ පොළව හාරා පස්‌ ඉවත්කර පිහිනුම් තටාක දෙක ඉදිකිරීම ආරම්භ කර ඇත. එපමණක්‌ නොවේ මෙම පිහිනුම් තටාකවල ඉදිකිරීම් කටයුතු ජනතාවගෙන් වසන්කොට රහසක්‌ ලෙස තබා ගැනීම සඳහා පොළව හාරා පස්‌ ඉවත්කරන ලද වළවල් මත එම වළවල් වැසෙන පරිදි ලෑලි දමා ඒ මත පිඩලිද අල්ලා තිබේ.

මෙමගින් මෙම ව්‍යාපාරිකයන් උත්සහ දරන්නේ අලුතින් ඉදිකරන පිහිනුම් තටාක අද ඊයේ ඉදිකළ ඒවා නොව වසර ගණනාවකට පෙර තමන් විසින් ඉදිකරන ලද ඒවා බව පෙන්වීමටය.

මහ මුහුද තරම් වටිනා පිහිනුම් තටාකයක්‌ සම්පතක්‌ වෙන කොතැනකවත් නැත. ගාලු කොටුව අසලම තිබෙන්නේ මහ මුහුදයි. එමනිසා ගාලු කොටුව තුළ නීති විරෝධි ලෙස කිසිවෙකුටවත් පිහිනුම් තටාක අලුතින් ඉදිකිරීමට ඉඩ ලබාදිය යුතු නැත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රුපියල් ශත වලින් යටකරගෙන මෙම ව්‍යාපාරිකයන් උත්සහකරන්නේ තමන්ගේ ව්‍යාපාරික අරමුණ ඉටුකර ගැනීමටයි.

රටක්‌ හැටියටත් ජාතියක්‌ හැටියටත් අපේ අභිමානය සමස්‌ත ලෝකයටම හඬ නගා කිව හැක්‌කේ අපේ මුතුන්මිත්තන් අතීත රජදරුවන් දහඩිය කඳුළු වගුරුවමින් සහ නිර්මාණ ශීලීත්වය ප්‍රදර්ශනය කරමින් ගොඩනැගූ මහ වැව් දාගැබ් වෙහෙර විහාර කලා නිර්මාණ පරසතුරු ආක්‍රමණ හේතුවෙන් විනාශ වී අද නටබුන් වී ඇති සම්පත් අපි රැක ගතහොත් පමණි.

එසේ නැතුව කොන්ක්‍රීට්‌ ගොඩනැඟිලි ඉදිකිරීම තුළින් රටක්‌ හැටියටවත් ජාතියක්‌ හැටියටවත් අපේ අභිමානය ප්‍රදර්ශනය කළ නොහැක. විදේශීය රටවල සිට සංචාරකයන් අපේ රටට පැමිණෙන්නේ ශ්‍රී ලංකාව තුළ ඇති ඓතිහාසික සහ පුරා විද්‍යාත්මක ස්‌ථාන නැරඹීම සඳහා මිස කොන්ක්‍රීට්‌ ගොඩනැඟිලිවල උස පළල මැනීමට නොවේ. නමුත් ඉතිහාසය ගැන සංස්‌කෘතිය ගැන අබමල් රේණුවක තරම්වත් දැනුමක්‌ නැති ඒවායේ වටිනාකම් ගැන අවබෝධයක්‌ නැති මෝඩ දේශපාලනඥයන් සහ ඔවුන්ට උපදෙස්‌ ලබාදෙන කේවට්‌ට උපදේශකයන් සිතා සිටින්නේ බටහිර රටවල සිට විදේශිකයන් අපේ රටට පැමිණෙන්නේ කොන්ක්‍රීට්‌ ගොඩනැඟිලිවල දිග පළල මැනීමට බවයි. නැත්නම් කාපට්‌ පාරවල් අධිවේගී මාර්ග නැරඹීමට බවයි.

ගාලු කොටුව තුළ පිහිටි ලයිට්‌ හවුස්‌ වීදිය තුළත් මේ වනවිට අනවසර ඉදිකිරීම් විශාල වශයෙන් සිදුවෙමින් පවතී. මෙම අනවසර ඉදිකිරීම් අතර ප්‍රධාන තැනක්‌ ගන්නේ ගාලු කොටුව තුළ පිහිටි පැරණි ගොඩනැඟිලි ඒවායේ ඓතිහාසික වටිනාකම විනාශවන පරිදි ප්‍රතිසංස්‌කරණය කිරීමයි.

භාණ්‌ඩයක වේවා ගොඩනැඟිල්ලක වේවා වටිනාකම වැඩි වන්නේ එහි ඇති පැරණි බව ආරක්‍ෂා වුවහොත් පමණි. නමුත් අද පැරණි ගොඩනැඟිලි ප්‍රතිසංස්‌කරණය කිරීමේදී වැඩි වශයෙන් සිදු වන්නේ ලෙහෙසියටත් පහසුවටත් පැරණි දේ වටිනාදේ ඉවත දමා අලුත් දේවල් එකතු කිරීමයි.

රටපුරා පිහිටි ඓතිහාසික ස්‌ථාන හා පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ස්‌ථාන අනාගත පරපුර වෙත සුරක්‍ෂිතකොට රැක බලා ගැනීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වගකීමක්‌ වේ. නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට රට පුරා පිහිටි ඓතිහාසික ස්‌ථාන තියා ප්‍රධාන ස්‌ථාන ටිකවත් ආරක්‍ෂා කරගැනීමට නොහැකි වීම ශෝකජනකය.

නිධන් හෑරීම, නිධන් කැඩීම, පුරාවස්‌තු කොල්ලකෑම අද රට වනසන මහා පරිමාණ ජාවාරමක්‌ බවට පත්වී තිබේ. මේවා කරන්නේ දේශපාලන බලය හිමි වරප්‍රසාදලත් සුපිරි හොරු විසිනි. මේ හොරු ඉදිරියේ ශ්‍රී ලංකා පොලිසියත් අසරණය. ජාතික උරුමයක්‌ බවට පත්වී ඇති ගාලු කොටුව රැක ගැනීම අද යුගයේ අවශ්‍යතාවක්‌ බවට පත්වී තිබේ. ඒ සඳහා ජනතාව පෙරමුණ ගතයුතුවේ. නිලධාරීන්ට එහි වගකීම බාරදී පැත්තකට වී බලා සිටියහොත් ගාලු කොටුව ව්‍යාපාරිකයන් සහ දේශපාලනඥයන් පිස්‌සු නටන ස්‌ථානයක්‌ බවට පත්වීම වැළැක්‌විය නොහැක.

ගාල්ල කොටුව ප්‍රදේශය තුළ පිහිටි ගාල්ලේ ජනප්‍රිය විදුහලක්‌ සඳහා තාප්පයක්‌ ඉදිකිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලා තිබිණි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒ සඳහා අවසර ලබාදී තිබුණේ තාප්පය අඩි තුනක්‌ පමණක්‌ උසට ඉදිකරන ලෙසයි. නමුත් තාප්පය අඩි හතක්‌ උසට ඉදිකර තිබේ. මේ පිළිබඳව විමර්ශනය කිරීමේදී හෙළිදරව් වූවේ තමන්ගේ දරුවකු පාසලට ඇතුළත් කර ගැනීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරියකු විසින් ඒ සඳහා අනුමැතිය ලබාදී ඇති බවය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තුළ සිටින දූෂිත නිලධාරීන් ගැන කියන්නට මෙවැනි උදාහරණ ඕනෑතරම් තිබේ. ජාතික පුවත්පතක්‌ ලෙස අපේ අරමුණ කාටවත් මඩ ගැසීම නොවේ අපට තිබෙන්නේ පොදු අරමුණක්‌ පමණි. එමනිසා ඓතිහාසික ගාලු කොටුව අනාගත පරම්පරාව වෙනුවෙන් රැකදීම සඳහා දකුණේ දේශපාලනඥයන් මෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තුළ සිටින රටට ආදරය ඇති නිලධාරින් කැපවී වැඩකළ යුතුවේ.

කොන්ක්‍රීට්‌ වනාන්තරයකින් පිරුණු හිස්‌ රටක්‌ වෙනුවට ගහකොළ සතා සිවුපාවාගෙන් පිරුණු ඓතිහාසික වටිනාකමක්‌ ඇති රටක්‌ අනාගත පරපුර වෙනුවෙන් අපට දායාද කළ හැක්‌කේ එවිටය.

* ප්‍රියදර්ශන ලියනගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.