ජාතික මදුරු මර්දන සතිය සහ
ජාතික මනුෂ්‍ය මර්දන දශකය


ජාතික මදුරු මර්දන සතිය මෙයට දින දෙක තුනකට පෙර ඇරඹිණ. ඒ අතර ජාතික මිනිස්‌ මර්දන දශකය මෙයට වසර කිහිපයකට පෙර මදුරුවන් විසින් ආරම්භ කරනු ලැබ තිබිණ. කොළඹ සහ තදාසන්න ප්‍රදේශ හැරුණුවිට වෙනත් ප්‍රදේශ බොහොමයක නගර සභාවල කුණු ලොරි කසළ ඉවත් කිරීම මගහැර තිබෙන විට වැසි කාලයට පසු එන සෑම පායන කාලයකම මදුරුවාගේ මිනිස්‌ මර්දන දශකය ශක්‌තිමත් වෙයි.

ඉතාම ගීතවත් කෘමියකු වන මදුරුවා තියුණු වයලින් වාදනයක්‌ මිනිසාගේ කණ ළඟ පවත්වා ශරීරයේ වෙනත් තැනක වසා ලේ උරා බොයි. සංගීතය යනු ප්‍රේමයේ ආහාරය වන්නේ යම් සේද මදුරුවන් වැඩි හරියකගේ ආහාරය මිනිස්‌ ලේය. ගස්‌වල යුෂ උරාබී ජීවත්වන මදුරු වර්ගද ලෝකයේ සිටියත් උන් නිතරම සිටින්නේ ඝන කැලෑ මැද නිසා අපේ කතාවට සම්බන්ධ වන්නේ නැත. විකිපීඩියා විශ්ව කෝෂයේ Mosqito යන තීරුව මගින් විස්‌තර කරන පරිදි, ක්‍ෂීරපායී සතුන්ගේ ලේ උරාබොන මදුරුවන් සේම මනුෂ්‍යයාගේ ජීවිතයට ප්‍රයෝජනවත් වන මදුරු වර්ගද සිටිති. එහෙත් එකී මිත්‍රශීලී මදුරු වර්ග ගැන පැහැදිලිs කිරීමක්‌ එමගින් කියෑවෙන්නේ නැත. ඒ බැවින් අප දන්නේ මදුරුවා යනු දුටු තැන ඇල්ලිය යුතු අපරාධකරුවකු ලෙසය. පණපිටින් හෝ මරා ඇල්ලිය යුතු සතකු ලෙසය. එහෙත් මදුරුවන් පණපිටින් අල්ලන රටක්‌ නැත. එසේම අල්ලන සැණින් මියයන මේ සතා කොතරම් මැරුවත් වැඩක්‌ නැත. මන්ද හැම වැහි කාලයකටම පසු මේ සතා මැලේරියාව, කහ උණ ඇතුළු උණ රෝග විශාල ප්‍රමාණයක්‌ ද µයිලේරියාව හෙවත් බරවාද පැතිරවීමෙහි කෙළවරක්‌ නැති නිසාය.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට (හෝ අමාත්‍යාංශය) අනුබද්ධව සෞඛ්‍ය පරීක්‍ෂකවරු හමුදාවක්‌ම සිටිති. පසුගිය වසරේදී මදුරුවන් බෝවන ස්‌ථාන 1043165 ක්‌ හඳුනා ගැනීමට ඔවුනට හැකි විය. ඒවායින් තැන් 96236 ක්‌ම නිවාස හා රජයේ ගොඩනැඟිලිය. ඔවුන්ගෙන් 18451 කට නඩු පවරන ලදී. මදුරු ගහනය නිසා ඩෙංගු තර්ජනයට වැඩිපුරම ලක්‌ව සිටින්නේ කොළඹ, ගම්පහ, කලුතර, රත්නපුර, නුවර ප්‍රදේශවල ජනතාවය. මිනිසුන් තමන්ගේ ගෙවල්වල මදුරුවන්ට බෝ වීමට ඉඩ හරින්නේ නොසැලකිල්ල නිසා බව ඇත්ත. එහෙත් කසළ ප්‍රශ්නයද මදුරුවන් පැතිරෙන්නට බලපාන්නේය. නූතන ලංකාවේ මධ්‍යම පන්තිය පමණක්‌ නොව ඉහළ පන්තියද කසළ නිසා බරපතළ ලෙස පීඩාවට ලක්‌ව සිටිති. කෙසෙල් ගෙඩිය කෑවාට ලෙල්ල කන්නේ නැත. එය කසළය. තේ හදා බීවාට තේ හැදීමට පාවිච්චි කළ තේ කොළ මණ්‌ඩි ටික කන්නේද නැත. එය කසළය. මාළු අනුභව කළාට උන්ගේ බොකු බඩවැල් අනුභව කරනු නොලැබේ. ඒවා කසළය. විසිකර දැමිය යුතු කසළය. මේවා ගෙවත්තේ කුණු වළකට දැමූ විට එහි එන ලක්‍ෂ සංඛ්‍යාත මැස්‌සෝ ඒවායෙහි වසා, ඒවා මත පැන නැගෙමින් පවත්නා Brand new විෂබීජ ප්‍රකෝටි සංඛ්‍යාවක්‌ අපේ උදරයට යැමට වැඩ සලස්‌වති. බොහෝ ගෙවල්වල කසළ කළමනාකරණය කරනු නොලැබේ. PHI පැනීමට විනාඩි කිහිපයකට පෙර එන ඔත්තුව මත යෝගට්‌ කෝප්ප, තැඹිලි කෝම්බ සහ පොල්කටු කණපිට හරවා තබා බේරීම පෘථග්ජන සිරිතය. PHI සෞඛ්‍ය සම්බන්ධයෙන් පවත්වන පාඩම ඉතා ඉහළින් පිළිගන්නා ජනයා ඔහු නික්‌ම ගිය සැණින් පෙර පරිදිම මලපෙරේත ජීවන සුවඳට ඇලෙති. ඉතින් PHI ගෙදරට එන එකේ නිමකුත් නැත. මදුරුවන් විදින එකේ නිමකුත් නැත. කාට කියම්ද?

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.