ඉලක්‌කයක්‌ ඇතිව වැඩ කිරීමෙන්
ඕනෑම අභියෝගයක්‌ ජය ගත හැකියි
- අ.පො.ස. (සා.පෙළ) විභාගයේ පළමු වැනියා මෙනුෂිකා කියයි



මෙනුෂිකා තම මව හා පියා සහ සහෝදරයා සමග ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ පළමු වැනියා වීමට ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ මෙනුෂිකා ජයනි කාරියවසම් සිසුවිය සමත් වූවාය. ඇගේ පියා කේ. ඒ. ඥානසිරි මහතා ඔලබෝව සුදර්ශනාරාම විහාරස්‌ථානයේ පිරිවෙන් ගුරුවරයෙකු ලෙස කටයුතු කරන අතර මව මිනුවන්ගොඩ නාලන්දා (පිරිමි) මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස කටයුතු කරනු ලබන්නීය.

ඇයට එක්‌ සොහොයුරෙකු සිටින අතර එම සොහොයුරා ගම්පහ බණ්‌ඩාරනායක මහා විද්‍යාලයේ 10 වසරේ අධ්‍යාපනය ලබයි.

මෙනුෂිකා ජයනි කාරියවසම් ශිෂ්‍යාව සිය ජයග්‍රහණය ගැන තම නිවසේ සිට අදහස්‌ දක්‌වමින් මෙසේ පැවසුවාය.

මා 10 වසරේ සිට විද්‍යාලයීය ශිෂ්‍ය නායිකාවක්‌. ගණිත සහ දැනුම මිණුම, සාහිත්‍ය සංගමය, මාධ්‍ය සංගමයේ සාමාජිකාවක්‌ ලෙස පාසලේ කටයුතු කළ මා විද්‍යාලයීය දැල්පන්දු කණ්‌ඩායමේ ක්‍රීඩිකාවක්‌. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් මුළු ලංකාවෙන්ම පළමු ස්‌ථානය හිමිවෙයි කියා මා නොසිතුවත් විභාගයට මුහුණ දුන්නාට පසු ඉහළ මට්‌ටමකින් ලකුණු ලැබෙයි කියා බලාපොරොත්තු වුණා. විභාගයට මුහුණ දෙන්න පෙර විභාගයට සූදානම් වෙලා හිටියේ සිතින් කාලය කළමනාකරගෙනයි වැඩ කළේ. ලේසියි කියන කිසිම විෂයක්‌ අත් හැරියේ නැහැ. පාසල් අධ්‍යාපනයට මෙන්ම පෙළ පොත්වලට මුල් තැන දුන්නා. අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රධාන විෂයන් 06 ට අමතරව කාණ්‌ඩ විෂයන් ලෙස ඉංග්‍රීසි සාහිත්‍ය, තොරතුරු සහ සන්නිවේදන සාහිත්‍ය සහ ව්‍යාපාර සහ ගිණුම්කරණයෙන් විභාගයට මුහුණ දුන්නා. ඉංග්‍රිSසි සාහිත්‍ය විෂයට පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කළා. ප්‍රශ්නවලට අවශ්‍ය පිළිතුරු ලියන්න ඉගෙන ගත්තා. පසුගිය ප්‍රශ්න පත්‍ර සහ එම ප්‍රශ්නවලට ලකුණු ලබා දෙන ආකාරය අධ්‍යයනය කළා. අන්තර්ජාලය පාවිච්චි කළා. මා මටම සීමා මායිම් දාගෙනයි අන්තර්ජාලය පාවිච්චි කළේ. විභාගයට අවශ්‍ය සෑම පහසුකමක්‌ම ගෙදරින් මෙන් පාසලෙන් මට ලැබුණා. අම්මා, තත්තා, මල්ලිගෙන් මෙන්ම විද්‍යාලයේ විදුහල්පතිනිය වන එච්. කේ. එච්. ජයවර්ධන මහත්මිය ඇතුළු සමස්‌ත ආචාර්ය මණ්‌ඩලය මෙන්ම පාසලේ යෙහෙළියන්ගෙන් ලැබුණ ශක්‌තිය මතයි මා අද ලංකාවේ පළමු වැනියා වී සිටින්නේ. අම්මා තාත්තා අධ්‍යාපනයේ වටිනාකම හොඳින් දැනගෙන හිටියා. ළදරු පාසලේ ප්‍රසාන්ති ගුරුතුමිය අධ්‍යාපනයේ මුල් පියවර මට අම්මා තාත්තා එක්‌ක එකතු වෙලා අරන් දුන්නා.

අමතරව පංති කියා ගියේ අම්මා තාත්තා හිතවත් ගුරු භවතුන් දෙදෙනකු ළඟට පමණයි. ඉදිරියේදී විභාගය ලියන්න සිටින නංගිලා මල්ලිලාට කියන්නේ අධ්‍යාපනයට මුල්තැන දී බාහිර ක්‍රියාකාරකම්ද වර්ධනය කර ගන්න කියායි. තම තමන්ගේ කැමැත්ත අනුව කාලය කළමනාකර ගෙන එදිනෙදා වැඩ එදිනෙදා කරගත යුතුයි. සැම විටම අධ්‍යාපනයට මුල්තැන දී ඉලක්‌කයක්‌ ඇතිව වැඩ කළහොත් ඕනෑම අභියෝගයක්‌ ජයගත හැකියි.

මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.