ළමා පරපුරට ගැසූ මාතලේ පා පහර

මාතලේ කයිකාවල පදිංචි නාමල් තරංග රණතුංග නමැති පස්‌ හැවිරිදි දරුවා මෙසේ කියයි "දොස්‌තර මහත්තයා මට පයින් ගැහුවා..."

"ඒ මොකද...?" අපි පුංචි තරංගගෙන් විමසමු.

"මම බිත්තියට හේත්තු වුණා. ඒ නිසා මට පයින් ගැහුවා..."

පුංචි තරංග බිත්තිය යෑයි කියන්නේ මාතලේ මූලික රෝහලේ ධඡD කාමරයේ හාඩ්බෝඩ් ආවරණයට ය. පොඩි එකා මෙයට හේත්තු වන්නට ඇති. දෙතුන් පාරක්‌ පයින් අනින්නටත් ඇති. එවිට ඇතුළේ සිටි දොස්‌තර කෝපයට පත්ව එළියට පැමිණ පොඩි එකාට පයින් ගසා තිබේ.

මේ දොස්‌තරගේ කකුල කඩා කටේ එබිය යුතු බවට අපි යෝජනා කරමු. එයට විරුද්ධ වන පාඨකයන් කියනු ඇත්තේ දොස්‌තර වෙස්‌ ගත් මේ නීචයාගේ අතපය හතරට කඩා කටේ එබිය යුතු බවටය. එහෙත් අප කියන්නේ එක කකුලක්‌ ඒ සඳහා ප්‍රමාණවත් බවටය. එය ස්‌ථිර වශයෙන් ම පොඩි දරුවාට පහර දුන් කකුල විය යුතු ය යන්න අප තරයේ කියමු. මාතලේ රෝහල් අධ්‍යක්‍ෂ දොස්‌තර අර්ජුන තිලකරත්න කියන පරිදි දරුවෝ බොරු නො කියති. එය ඇත්තම ඇත්ත කතාවකි. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර තිබේ. එහෙත් විත්තිකාර දොස්‌තර තවමත් වැඩ ය. එය පරීක්‍ෂණයට බාධාවක්‌ විය හැකි ය. එබැවින් ඔහුගේ වැඩ තහනම් නො කරන්නේ ඇයි? මෙයට වසර 40 කට පමණ පෙර දිනෙක එවකට ඉතා නොදියුණු තත්ත්වයේ පැවැති නුගේගොඩ හන්දියේවූ සිද්ධියක්‌ මෙහිදී සිහිපත් කරමු. එදින දහවල් වරුවේදී අවුරුදු 5 ක්‌ පමණ වයසැති යාචක දරුවෙක්‌ නුගේගොඩ බෝ රුක අසල පිහිටි බස්‌ නැවතුමේ සිඟමන් යදිමින් සිටියේ ය. දරුවා ඉවසනු බැරි වූ "මහතෙක්‌" බස්‌ නැවතුමේ සිටි තරුණියන්ට පෙනෙන්ටත් එක්‌ක දරුවාට පා පහරක්‌ දුන්නේ ය. එය ඉතා අඩු ලංසුවේ පා පහරක්‌ වූ අතර දරුවා ඇදවැටුණේවත් ඔහුට රිදුණේවත් නැත. එහෙත් සැණෙකින් මතු වූ දරුවාගේ යාචක පියා යකඩ පොල්ලක්‌ ගෙනවුත් දැත බදා "මහතාගේ" හිසට පහර දුන්නේ ය. "මහතා" පසුව මියගිය බව පුවත්පත්වල පළ විය.

දරුවකු යනු ඉතා අගනා වස්‌තුවකි. එය සමාජය විෂයයෙහි ඉතාම සංකීර්ණ වස්‌තුවකි. දෙමාපියන් දරුවන් උදෙසා කරන දෙය තරම් ලොකු දෙයක්‌ අන් කිසිවකුවත් උදෙසා කරන්නේ නැත. තම දරුවා වෙනුවෙන් මරාගෙන මැරෙන්නට මවුපියන්ට පුළුවන. දරුවන්ට පහර දෙන දරුවන් පුළුස්‌සන නීචයන් ද තාත්තලා වෙසින් සිටින බව අපි පිළිගනිමු. එය බහුතරය නොව අංශු මාත්‍ර වූ සුළුතරය ය. එබඳු නීචයන් හසු වූ විට පොලිසිය උන්ට පහර දෙන්නේ උන් උසාවියෙන් නිදහස්‌ වුවත් මතක සිටින පරිදි ය. ඒ සම්බන්ධයෙන් අපි පොලිසියට මහත්සේ ස්‌තුතිවන්ත වන්නෙමු. වැඩිහිටියකු විසින් පොඩි දරුවකුට පහර දෙනු ලබන්නේ මන්ද යන්න මෙහිදී සොයා බැලිය යුතු ය. පෙරළා පහර දීමට තරම් ශක්‌තියක්‌ නැති නිසා වැඩිහිටියා පොඩි එකාට තලයි. එහෙත් පොඩි එකා වැඩිහිටියකු වූ විට එවැනි තැලීමක්‌ සිදු නොවන්නේ තැලෙනු ලබන්නා විසින් තලනු ලබන්නා උස්‌සා පොළොවෙහි ගැසීමට ඉඩ තිබෙන නිසා ය.

මාතලේ දොස්‌තර පස්‌ හැවිරිදි දරුවකුට පයින් ගැසුවේ මොන හිතකින්ද? ස්‌ථිර වශයෙන් ම මේ දොස්‌තර උන්මාදකාරයෙකි. මාතලේ දිස්‌ත්‍රික්‌ වෛද්‍ය නිලධාරියා වෙත ඔහු ඉදිරිපත් කර වාර්තාවක්‌ ලබා ගන්නා ලෙස පොලිසියෙන් ඉල්ලමු. ඔහු මානසික රෝගියකු නම් දරුවාට සේම ඔහුට ද අනුකම්පා කර සුදුසු රෝහලකට පිටත් කරන ලෙස වගකිවයුත්තන්ගෙන් ඉල්ලමු.

 

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.