ජම්බුතැන්න ශ්‍රී නිශ්ශංක මල්ලව විහාරයේ
අඩුපාඩු සපුරනවා නම් පිනක්‌
දායක සභාව ඉල්ලයි

ෂේන් වීරසිංහ - ගිණිගත්හේන

අඹගමුව කෝරළයේ ඉතාමත් දුෂ්කර එහෙත් මනහර, සුවබර සිසිල් පරිසරයක පිහිටා ඇති ජම්බුතැන්න ශ්‍රී නිශ්ශංකමල්ලව විහාරස්‌ථානය දැනට අඩුපාඩු රැසකින් පිරී ඇති නිසා, එම අඩුපාඩු සම්පූර්ණ කර ගැනීමටත්, අභිනව චෛත්‍යරාජයාණන් වහන්සේ ඉදිකිරීමටත්, පන්සල අලුත්වැඩියාකොට සංවර්ධනය කිරීමටත්, රජයෙන් බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් හා පිංවත් දානපතියන්ගෙන් ආධාර, උපකාර බලාපොරොත්තු වන බව විහාරස්‌ථ දායක සභාව දන්වා සිටී.

මෙම විහාරස්‌ථානය දැනට පුරා වසර හැටකට වඩා පැරණිය. බුද්ධමන්දිරය, ධර්ම ශාලාව, ආවාසගෙය, බෝධිමළුව, ඝණ්‌ඨාර කුලුන සාමාන්‍ය තත්ත්වයේ පවතී. ඒවා අලුත්වැඩියාකොට සංවර්ධනය කළයුතුව ඇතැයිද අභිනවයෙන් චෛත්‍යයක්‌ ඉදිකළ යුතුව ඇතැයිද ශ්‍රී නිශ්ශංකමල්ලව විහාරවාසී පූජ්‍ය උඩගම ශීලරතන හිමියෝ කියති.

ශ්‍රී නිශ්ශකමල්ලව දහම් පාසලේ දරු දැරියන් සියයක්‌ පමණ දෙනා අධ්‍යාපනය ලබන අතර ඔවුන්ට අවශ්‍ය ඩෙස්‌ බංකු හිඟයක්‌ද පවතී. පුස්‌තකාලය සඳහා ප්‍රමාණවත් තරම් පොත්පත් නැති බවද දරු දැරියෝ කියති. ශීල සමාදානය සඳහා විහාරස්‌ථානයට පැමිණෙන උපාසක, උපාසිකාවන්ට, දහම් පාසල් දරු දැරියන්ට හා අනිකුත් බැතිමතුන්ට ප්‍රමාණවත් තරම් වැසිකිළි, කැසිකිළි පහසුකම් නැත. පානීය ජල පහසුකම්ද ප්‍රමාණවත් නොවන අතර නියඟය පවතින කාලයට ජල ප්‍රශ්නය බරපතල වන බැව් විහාරවාසී පූජ්‍ය උඩගම ධම්මානන්ද හිමියෝ කියති. පන්සලට ඉහළ කඳුකරයේ ඇති ස්‌වාභාවික දිය උල්පත්වල සිට නළමාර්ග ඔස්‌සේ දැනට පානීය ජලය ලබාගන්නා අතර එම ජලනළ කැඩී, බිඳී, අබලන්ව ඇති නිසා අඩි අටසීයක පමණ ප්ලාස්‌ටික්‌ බට ලබාදෙන්නේ නම් ජල ප්‍රශ්නය විස¹ගැනීමට හැකි බවද උන්වහන්සේ කියති. වත්තේගෙදර, ජම්බුතැන්න, බඹරගල, ගැටගහවත්ත, හෙන්නක්‌කන්ද, නීලවතුකන්ද, හඟරාපිටිය යන දුෂ්කර ගම්මාන හතක වාසය කරන දහස්‌ ගණනක්‌ බෞද්ධ ජනතාව වෙනුවෙන් ශ්‍රී නිශ්ශංකමල්ලව විහාරස්‌ථානයේ පවතින අඩුපාඩු සම්පූර්ණකොට සංවර්ධනය කිරීමටත්, අභිනවයෙන් චෛත්‍යයක්‌ ඉදිකිරීමටත්, රජයේ බුද්ධ ශාසන අමාත්‍යංශයේ හෝ පිංවත් දානපතියන්ගේ කාරුණික අවධානය යොමුකරන ලෙස විහාරස්‌ථ දායක සභාව ඉල්ලා සිටී.

පරිත්‍යාග සඳහා විහාරවාසී පූජ්‍ය උඩගම ශිලරතන හිමි, ශ්‍රී නිශ්ශංකමල්ලව විහාරස්‌ථානය, ජම්බුතැන්න, හඟරාපිටිය, හැටන් යන ලිපිනයට ලියන්න.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.