සිංහල අවුරුද්දේ අයිතිකාරයා කසිප්පු ගැසූ ඩ්‍රයිවර්ද?

සිංහල අවුරුද්ද අයිති කාටද? වැඩිහිටි කසිප්පු කාරයන්ටද? එහෙමත් නැතිනම් දරුවන්ටද? අපගේ අදහස නම් සිංහල අවුරුද්දේ සැබෑ අයිතිකාරයා දරුවා බවය. වැඩිහිටියා ක්‍රමයෙන් කසිප්පුවල අයිතිකාරයා බවට පත් වෙමින් පවතී. බැදපු හරක්‌ මස්‌වල අයිතිකාරයා බවට පත් වෙමින් පවතී. ඩෙවල් කළ ඌරු මස්‌ සහ කුකුළු මස්‌වල අයිතිකාරයා බවට පත් වෙමින් පවතී. සියලු මිනීමැරුම්වල අයිතිකරු ඔහුය. ස්‌ත්‍රී දූෂණ, ළමා අපචාර, හොරකම්, කුඩු බිස්‌නස්‌ යනාදියෙහි අයිතිකරුද ඔහුය.

හිඟුරක්‌ගොඩට නුදුරු කිඹුලාවල ගමේ ජීවත් වූ දිව්‍යාංජලී නමැති කුඩා දැරියක්‌ සිංහල අවුරුදු දවසේ සිය මිත්තනිය බැලීම සඳහා මව හා පියා සමග එක්‌ව යතුරුපැදියක නැගී යමින් සිටියදී අනතුරකට ලක්‌ව මිය යැමේ ශෝකජනක පුවත සෙනසුරාදා (19) "දිවයිනේ" පළවිය. පිටුපසින් පැමිණි වාහනයක්‌ මේ තිදෙනා ගමන් කළ යතුරුපැදියෙහි පිටුපස ගැටී ඇත. එහි සම්පූර්ණ වගකීම පිටුපසින් පැමිණි රියකරුවාගේය. අනතුරේදී හටගත් සංඝට්‌ටනය නිසා කුඩා දිව්‍යාංජලී පාරට විසි වූ අතර අනතුර සිදුකළ තැනැත්තා ඇගේ සිරුර මතින් රිය ධාවනය කළේය. ඇය නහයෙන් කටින් ලේ දමා මියගියාය. රිය අනතුර දුටු වෙනත් වාහන රැසක්‌ දැරිය රෝහලට ගෙනයැමේ කටයුත්ත භාර ගැනීමට නොකැමැතිව වේගය වැඩිකර එතැනින් මාරු විය. ලේ ගලන දැරියක්‌ වාහනයක පටවා ගත් විට ආසන කවරවල ලේ ගෑවෙයි. ඇය රෝහල් පොලිසියට ගෙන ගිය විට සමහර විට රෝහල් පොලිසියට කට උත්තර දීමට සිදුවෙයි. වාහනකාරයා යන්නේ අවුරුදු පාටියකට නම් ඔහුගේ ගමන පරක්‌කු වෙයි. එසේ පරක්‌කු වී ඔහු පාටියට යන විට එක්‌කෝ කෑම ඉවරය. නැතිනම් අරක්‌කු ඉවරය. එහෙමත් නැතිනම් ඔහු සමග එකට බොන්නට සිටි අය කලින්ම වෙරි වී සිහි නැත. ලංකාවේ ජනයා ඉතා වේගයෙන් ශිෂ්ටාචාරයේ ආපස්‌සට ගමන් කරමින් සිටින බව පෙනෙයි. අද කකුල් දෙකෙන් යන ගමන මිනිසා විසින් මෙයට වසර දහස්‌ ගණනකට පෙර ගමන් ගත්තේ කකුල් හතරෙනි. අප ආපසු යමින් සිටින්නේ කකුල් හතරේ ගමනටය.

අද වන විට ලංකාව වඩාත් නාගරික පහසුකම් තිබෙන රාජ්‍යයක්‌ බවට පත්ව තිබේ. අද අපේ රටේ පාරවල් ලොකුය. වාහනත් වැඩිය. අනතුරුත් වැඩිය. අත්ට්‍රැක්‌ටරයකට සවි කළ ටේ්‍රලරයක නැගී සිංහල අවුරුදු නෑගම් යමින් සිටි විස්‌සක පමණ පිරිසක්‌ ට්‍රැක්‌ටරය ඇළකට පෙරළීමෙන් දියේ ගිලුණ බවත් ඔවුන්ගෙන් එකොළොස්‌ දෙනෙක්‌ මිය්ගිය බවත් සති අන්තයේදී පොළොන්නරුවේ අරලගංවිලෙන් වාර්තා විය. ඒ ෙ€දවාචකයෙහි කඳුළු වියෑළෙන්නටත් කලින් කතරගමදී සිදු වූ රිය අනතුරකින් පස්‌ දෙනෙක්‌ මළහ.

ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු සම්බන්ධයෙන් වෘත්තීයවේදීන් තිදෙනකු කළ සමීක්‍ෂණයක වාර්තාවක්‌ iesl.ceylonhost.com නමැති වෙබ් අඩවියේ ඇත. මෙයට අනුව පසුගිය වසර 20 තුළ ශ්‍රී ලංකාවේ රිය අනතුරු සංඛ්‍යාව වසරකට 3.6% ප්‍රතිශතයකට අනුව ඉහළ ගියේය. ඒවා අතරිනුත් මාරක අනතුරු සංඛ්‍යාව වැඩි විය. 1980 දී 7.8% ක්‌ව තිබූ මාරක අනතුරු ගණන 1998 වන විට 9.7% ක්‌ වී තිබිණ. අද මේ ගණන 11.6% සිට 15% දක්‌වා ඉහළට නැග තිබේ. රටක සංවර්ධනය ඉහළ යන විට එයට සාපේක්‍ෂව මාර්ග පුළුල් වී රථ වාහන ප්‍රමාණය ඉහළ යන විට මිනිසුන් බස්‌ රිය හෝ දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවා අත්හැර දමා පුද්ගලික වාහන පාවිච්චියට අවතීර්ණ වූ විට රිය අනතුරු සංඛ්‍යාවද ඉහළ යැම නොවැළැක්‌විය හැකියෑයි කෙනෙක්‌ කියනු ඇත. මෙහි තේරුම වන්නේ රටක්‌ සම්පූර්ණයෙන්ම සංවර්ධනය වී අවසන් වන විට ඒ රටේ වාසය කළ මනුෂ්‍යයන් සියලු දෙනාද වාහනවලට යටවී මිය යා යුතු බවද? දිව්‍යාංජලීලා අතොරක්‌ නැති ප්‍රමාණයක්‌ මහ පාරේ මිය යා යුතු බවද?

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.