තුඩුගල පොඩි රාළහාමි

මතුගම ආසනය පුංචි අත්තනගල්ල නමින් අන්වර්ථ නාමයන් පටබැඳීමට සමත් වූ වසර විසිඑකක්‌ නොකඩවා ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරූ දයා ටී පැස්‌කුවල් මහතා පරාජය කරමින් 1977 මහ මැතිවරණයේදී මතුගම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස එක්‌සත් ජාතික පක්‍ෂයෙන් පත්වුයේ රෙජිනෝල්ඩ් විඡේගුණරත්න නොහොත් තුඩුගල පොඩි රාළහාමිය.

තුඩුගල පොඩි රාළහාමි තමන්ට ජන්මයෙන් උරුම වූ ගැමිකම, ගැමි බස, බෞද්ධ චින්තනය හා අපේකම කිසිදු අවස්‌ථාවකදී අමතක නොකළ අවංක මනුස්‌සයෙක්‌ විය.

කලක්‌ සසුන්ගතව සිටියකු වන පොඩි රාළහාමි සතු බුදුදහම පිළිබඳ හා සිංහල බස පිළිබඳ දැනුම ද අතිමහත් ය.

1977 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට ගිය රෙජිනෝල්ඩ් විඡේගුණරත්න මහතා අනිකුත් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු භෝජනාගාරයේ සිගරට්‌ උරද්දී තම බුලත් හපය ජයටම හැපුවේය. පොඩි රාළහාමිට බුලත් හපය හැපීමට තම ගෙදර, මැතිසබය, රජ ගෙදරත් එකය.

පාර්ලිමේන්තු භෝජනාගාරයේ සිගරට්‌ බොන මන්ත්‍රීවරුන් සඳහා අළු බඳුන් තබා තිබුණ ද, බුලත් කන්නන්ට කෙළ ගැසීමට පඩික්‌කමක්‌ නොමැති බව දුටු පොඩි රාළහාමි මන්ත්‍රීතුමාට යකා නැග්ගේය.

"ඇයි යකෝ මේකට එන්නේ ඉංග්‍රීසිකාරයෝ විතරද? මේ ලංකාවේ ඉන්න සිංහල, දෙමළ මිනිස්‌සුන්ට බුලත් විටක්‌ කාල කෙළ ටික ගහන්න පඩික්‌කමක්‌ නැත්තේ මොකද යෑයි ගෝරනාඩු කළේය. එතුමා පඩික්‌කමක්‌ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු භෝජනාගාරයට ගෙන ඒම සඳහා සටනක්‌ ඇරඹීය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භෝජනාගාරයට පඩික්‌කමක්‌ ගෙන ඒමට හැකි වූයේ මතුගම රෙජිනෝල්ඩ් විඡේගුණරත්න සතු නොපසුබස්‌නා උත්සාහය හේතුවෙනි.

පොඩි රාළහාමිට අයුක්‌තිය, අසාධාරණය පෙන්නන්න බැරි විය. එසේම ඔහුට ජාති, කුල, ආගම් භේද කිසිවක්‌ තිබුණේ නැති අතර, ඔහුට සෑම දෙනාම මිනිසකු පමණක්‌ විය. ඔහු හැම අයකුම දුටුවේ තමන්ගේ හිතවතකු, යහළුවකු ලෙසය.

තුඩුගල පොඩි රාළහාමි දේශපාලනයට පිවිසියේ එවක මතුගම පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ටී. පැස්‌කුවෙල් මහතාගේ දේශපාලන මඟÊපෙන්වීමෙනි. ගුරුහරුකමිනි. 1977 දී දයා ටී. පැස්‌කුවෙල් මහතාගේම දේශපාලන ගෝලයකු වූ තුඩුගල පොඩි රාළහාමි ඔහුගෙන් වෙන් වූයේ දෛවයේ සරදමකිනි.

දිනක්‌ පොඩි රාළහාමි හමුවීමට ආ ඔහුගේ සංවිධායකවරුන් කිහිපදෙනකු නම් ලැයිස්‌තුවක්‌ පොඩිරාළහාමි අතට දෙමින් පැවසුයේ මේ ශ්‍රී ලංකාකාරයෝ හිතං ඉන්නේ උන්ගෙ ආණ්‌ඩුවක්‌ තියෙනවා කියලා. මන්ත්‍රීතුමා මුන් ඔක්‌කොම මාරු කරන්න ඕනෑ යෑයි ඉල්ලීමක්‌ කළේය.

පොඩි රාළහාමි බුලත් විටක්‌ හපමින් හාන්සි වී සිටි හාන්සි පුටුවෙන් නැගී සිටිමින් දැඩි කෝපයෙන් "තොපි මාව කන්න ආපු එවුන්ද? තොපි කොහොමද උන්ව ට්‍රාන්සර්Êකරන්නේ. මට දේශපාලනයේ 'අ' යන්න කියා දුන්නේ තොපි නොවෙයි. මම දේශපාලනය ඉගෙන ගත්තේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන්. උන් තමයි මාව මෙතනට ගෙනාවේ. එහෙම උන්ව මම කොහොමද යකෝ මාරු කරන්නේ. කියමින් ගෝරනාඩු කළේය. සංවිධායකයන් එකා දෙන්නා හෙමිහිට එතැනින් ඉවත් වුයේ නිහඬවමය.

තම දේශපාලනය තුළ පක්‍ෂ පාට නොමැති බවත්, තමන් කොතනට ගියත් මුල අමතක නොවන නියම ගැමියකු බව පොඩි රාළහාමි ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීය.

1983 කළු ජූලි සමයේ හොඳින් උඩු රැවුල වැවුණු බුලත් සැපීම නිසා දෙතොල් රක්‌ත වර්ණ වූ සුදු අත්කොට බැනියමක්‌ හා සුදු සරමක්‌ හැඳි හැඩිදැඩි පුද්ගලයකු ජීප් රථයකින් කොළඹ නගරයේ රියෑදුරු සමඟ ගමන් කරමින් සිටියේය.

මොහුගේ ස්‌වරූපය දුටු කලබලකාරී ලෙස කටයුතු කරමින් ද්‍රවිඩ ජනයාගේ දේපළ, ජීවිත වනසමින් මංකොල්ල කමින් සිටි පිරිසක්‌ මොහු දුටු ගමන් සිතුවේ මේ නම් ද්‍රවිඩ අයකු බවය. කලබල කරනා කණ්‌ඩායමක්‌ ජීප් රථය ඉදිරියට පැන නවතා වාහනය වටකර ඔහුට ජීප් රථයෙන් බැසීමට නියම කළේය.

කලබලවල නිරත පිරිස ඔහු ද්‍රවිඩයකු දැයි නිශ්චිතව දැන ගැනීම සඳහා "හා අයියා දැං බලන්න ඉතිපිසෝ ගාථාව කියපන්" යෑයි නියෝග කෙරිණි. ඒ දෙමළ ජාතිකයන්ට වචන උච්චාරණය නිවැරැදිව සිදුÊකිරීම දුෂ්කර බැවිනි.

ජීප් රථයේ සිටි උඩුරැවුල්කාරයාගේ රැවුල නැටවීමෙන් ඔහුට කේන්ති ගිය බව පෙනිණි. ඇඟිලි තුඩුවලින් රැවුල් අග කරකවමින් බිමට බට උඩුරැවුල්කාරයා ගාම්භීර ලෙස ජීප් රථයේ බොනට්‌ටුව උඩින් වාඩි විය.

තම දෙතොලට ඇඟිලි දෙකක්‌ තබා තදකර බුලත් කෙළ පාරක්‌ ගැසූ හේ රැල් බුරුල් හරිමින් "ඉතිපිසෝ නෙවෙයි යකෝ තුන් සූත්තරයම දන්නා එකෙක්‌ මං. වැදගනියව් පිරිත් අහන්න" යෑයි ගෝරනාඩු කළේය.

මේ මොකද්ද වෙන්න යන්නේ යෑයි කොලු රැළ නිරුත්තර විය. එකකු අසල සිටි මැදිවියේ අයකුගෙන් විමසුයේ "මේ චණ්‌ඩියා කවුද?" කියා ය.

මැදිවියේ පුද්ගලයා "මේ තමයි මතුගමින් පස්‌කුවෙල් මහත්තයා පරද්දලා පාර්ලිමේන්තුවට ආපු තුඩුගල පොඩි රාළහාමි මන්ත්‍රීතුමා" යයි ප්‍රකාශ කිරීමත් සමඟ කොලු

රැළ එකා දෙන්නා විසිරීමට පටන් ගත්තේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෙජිනෝල්ඩ් විඡේගුණරත්න මහතා තම දේශනය අරඹමින් "යකුනේ මේවා සහගහන අපරාධ, දෙමළ මිනිසුන්ගේ දේපළ විනාස කරලා, උන්ව මරල මේවා විසඳගන්න බෑ. දුවපිය පර බලු රැළ මෙතනින්" යෑයි ගෝරනාඩු කළේය. කොලු රැළ ආ ගිය අතක්‌ නැති විය.

එක්‌සත් ජාතික පක්‍ෂය තුළින් පොඩිරාළහාමි මන්ත්‍රී ධුරයකට පත් වුවත් කිසිම දිනක කිසිම අයකු ඉදිරියේ පොඩිරාළහාමි දෙකට නැමුණේ නැත. ඔහුට කිසිවකුට වඩා ඉහළින් සිටීමට අවශ්‍යතාවක්‌ නොතිබිණි. එසේම තවකෙකු පහළට ඇද දැමීමට ලොක්‌කාට කේලාම් කීම ද ඔහු පිළිකුල් කළේය.

එකල එක්‌සත් ජාතික පක්‍ෂ නායකයා වූ ඡේ. ආර්. ජයවර්ධන මහතා ඇමතුයේ වෙව්ලමින් 'සර්' 'උතුමාණෙනි' යනුවෙනි. එහෙත් පොඩි රාළහාමිට ඒ වගක්‌ නොවිනි. පොඩි රාළහාමි ඡේ. ආර්. ට එතුමා සිටින තැනදී පවා ඇමතුයේ මේ උන්නැහේ ලෙසය.

"අපි වැරදි කරලා නැත්තං, අපි පිරිසිදු නං මොන යකාටවත් බය වෙන්න නැවෙන්න ඕනෑ නෑ යකෝ" යන්න කියූ පොඩි රාළහාමි තම චරිතය තුළින් එය ඔප්පු කර පෙන්වීය.

1977 එ.ජා.ප. රජය පත්ව ටික කලකින් යාපහුවේ පැවැති වප්මඟුල ජාතික උත්සවයක්‌ විය. වප්මඟුලේ ප්‍රධාන ආරාධිතයා වූයේ ඡේ. ආර්. ජයවර්ධන මහතා ය. වප් මඟුලේ ප්‍රධානියා වූයේ එවක කෘෂිකර්ම ඇමැතිවරයා වූ ඊ. එල්. සේනානායක මහතාය. ඊ. එල්. සේනානායක ඇමැතිතුමා අව් කණ්‌නාඩි දාගෙන, දෙපයට බූට්‌ස්‌ දෙකක්‌ දාගෙන, කෙවිටක්‌ අතට ගෙන අම්බරුවන් බැඳි නඟුල අතට ගනිද්දී තිබූ නුහුරු බව එය බලා සිටි පොඩිරාළහාමිට මෙන්ම අනිකුත් රැස්‌ව සිටියවුන්ට හාස්‍ය ගෙන දුනි.

මෙය බලා සිටි පොඩි රාළහාමි ඇඳ සිටි සුදු බැනියම ගලවා දමා සරම අඹරවා අමුඩය ගසා මල්කෑර කෙවිටක්‌ ද රැගෙන නඟුල වමතට ගත්තේය.

හොඳ අඬහැරයක්‌ නැඟූ හෙතෙම කුඹුරේ මඩ තලි කැපී අනික්‌ අතට පෙරළෙන ලෙස නඟුල හසුරුවමින්,

"ජහා යමන් පුතා, හෝ පුතා යන් පුතා, නිවන් දැකපන් මගෙ අප්පුච්චා" යයි හඬ නඟමින් සී සෑම කරගෙන ගියේය.

මෙලෙස පළපුරුදු ගොවි මහතකු ලෙස සී සෑමේ යෙදෙන පොඩි රාළහාමි දුටු ඡේ. ආර්. ජයවර්ධන මහතා "කෘෂිකර්ම ඇමැතිකම දෙන්න තිබුණේa පොඩි රාළහාමිට නේ" යෑයි කියුවේ රැස්‌ව සිටියවුන් සිනා ගස්‌සමිනි.

නියම ගොවි රජකු වූ රෙජිනෝල්ඩ් විඡේගුණරත්න මන්ත්‍රීතුමා තමා හමුවීමට එන හිතවතුන්ට දුන්නේ තමන් විසින්ම තම කිරි හරක්‌ පට්‌ටියෙන් දොවාගත් උණු උණු කිරි ජෝගුවකි.

ඔහු තම මන්ත්‍රීකමින් කිසිවක්‌ හරිහම්බ නොකළ අතර තමන්ට පරවේනියෙන් ලැබුණු ඉඩකඩම් පවා පන්සලට, පිරිවෙනට, පාසලට ප්‍රජා සේවාවන්ට දන් දීම නිසා දරුවන්ට ඉතිරි වූයේ ඉතාමත් සොච්චමකි.

මන්ත්‍රීකම ගරු සේවයක්‌ ලෙස සැලකූ පොඩි රාළහාමි මතුගම මැතිවරණ කොට්‌ඨාසයේ පමණක්‌ නොව කළුතර දිස්‌ත්‍රික්‌කය ශ්‍රී ලාංකීය දේශපාලන වංශ කතාව තුළ අවංක, පිරිසිදු එඩිතර චරිතයකි.

මෙම විශේෂාංගය සැකසීමේදී තොරතුරු හා ඡායාරූප ලබා ගැනීමට සහාය ලබා දුන් හිටපු පළාත් සභා මන්ත්‍රී අනිල් කුමාර විඡේසිංහ මහතාට හා දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී හෂාන් විඡේසිංහ මහතාට ස්‌තුතිය පළ කරමි.

සටහන හා ඡායාරූප
අනුර ජයසේකර

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.