ඔව්!

සපත්තු දෙකක්‌ මිලදී ගැනීමට වත්කමක්‌ නැති දුප්පත් දැරියක පාසලට පැළඳගෙන ආ රබර් සෙරෙප්පු කුට්‌ටම ඇගේ ගෙලෙහි එල්ලූ ගුරු මාතාවක්‌ ගැන පසුගිය දා පුවත්පත්වල පළවිය. ඊයේ (29 වැනිදා) අපි ඇය ගැන කතු වැකියකුත් ලියුවෙමු. මුලින්ම අපි ඇයට යෙදූ ගුරු මාතාව යන යෙදුමෙහි මාතාව යන පදය ඉල්ලා අස්‌කර ගත්තෙමු. මන්ද, ඇයට මාතාව යෑයි කියුවොත් මේ රටේ සියලුම මාතාවන් එම පදයෙන් තමන් ඇමතීමට විරුද්ධ වන නිසා ය. මේ අතර එම ගුරුවරිය වෙනත් පාසලකට මාරු කර ඇති බව ද අපි දැන ගතිමු. මෙහි තිබෙන ලොකුම ප්‍රශ්නය වන්නේ ගුරුවරිය මාරුව ලබන්නේ තවත් පාසලකට වීම ය. එවිට ඒ පාසලේ දරුවන්ටත් කලින් පාසලේ දරුවන්ට හටගත් අවදානම ම හට ගනී. මෙබඳු අවස්‌ථාවල කළ යුත්තේ චූදිත ගුරුවරිය අනිවාර්ය නිවාඩු යවා පරීක්‍ෂණයක්‌ පැවැත්වීම ය. මේ රටේ විනය පරීක්‍ෂණවල ස්‌වභාවය අනුව මෙකී ගුරුවරිය නිදහස්‌ වීමට ඇති ඉඩකඩ බහුල ය. ඒ නිසා කල්තබාම ඇය වෙනත් පාසලකට යෑවීම එක්‌ අතකින් හොඳ ය. එවිට අධ්‍යාපන දෙපාර්තමේන්තුවට මේ කාරණය සම්බන්ධයෙන් දැරීමට සිදු වන මෙහෙයුම් වියදම ද අඩුකර ගත හැකි ය.

ඒ ප්‍රශ්නය දැනට ඔහොමම තබමු. සාමාන්‍ය ජනතාවට බලපාන තවත් ප්‍රශ්නයක්‌ සාකච්ඡාවට ගනිමු. ඇසේ සුද ඉවත් කර අක්‍ෂි කාච තැන්පත් කිරීමේ සැත්කමේදී ආණ්‌ඩුවේ වියදමින් කාචය සපයනු ලැබේ. එහෙත් සමහර දොස්‌තරවරු එම කාචය ප්‍රතික්‍ෂේප කරන බවත්, පෞද්ගලික අංශයෙන් කාච ලබා ගන්නා ලෙසට ලියුම් දෙන බවත්, රුපියල් 20,000 ඉක්‌මවන එම කාචයේ වටිනාකමින් 51% ක්‌ දොස්‌තරට යන බවත් ඊයේ (29 දා) දිවයිනේ මුල් පිටුවේ සඳහන් ය. මේ වැහි කුණාටු හෙණ පුපුරණ කාලයේ ඔවැනි දේ කිරීම සුදුසු දැයි අපි පෙර කී 'සමහර' දොස්‌තරවරුන්ගෙන් අසමු. ඇසට කාචයක්‌ දමන්නේ මහලු වියේ පසුවන අම්මෙක්‌ හෝ තාත්තෙකි. මේ අය බොහෝ විට එක්‌කෝ පැන්ෂන් කාරයෝ ය. එහෙමත් නැත්නම් වෙනත් අයගෙන් යෑපෙන්නෝ ය. සාමාන්‍යයෙන් ඇසක්‌ රතු වුණ විට ඉදිමුණ විට දමන බෙහෙත්වල මිල පටන් ගන්නේ රුපියල් 35 කිනි. මේවා 'අයිෙඩ්‍රාප්ස්‌' යනුවෙන් හඳුන්වමු. මේ අයිෙඩ්‍රාප්ස්‌ කුප්පියක්‌වත් ලබා ගැනීමට රුපියල් 35 ක්‌ නැති වැඩිහිටියෝ මේ රටේ සිටිති. ඒ මිනිසුන් කාචයක්‌ සඳහා රුපියල් 20,000 ක්‌ වැය කරන්නේ කොහොමද? මෙහිදී සිදුවන්නේ සැත්කම කර ගැනීමට බැරිව වැඩිහිටියාගේ ඇස අන්ධ වී යැම ය.

අපේ රට තුළ ඉතා පුළුල් මට්‌ටමේ නිදහස්‌ සෞඛ්‍ය සේවයක්‌ තිබුණ ද ඉස්‌පිරිතාලවල බෙහෙත් නැත. මෙය වෛද්‍ය උපදෙස්‌ නොමිලේ, බෙහෙත් මිලට ගත යුතු ය යන පදනමේ වැඩකි. වෛද්‍යවරුන් වැඩිහරියක්‌ ඖෂධ නියම කරන්නේ ඖෂධීය නාමයෙන් නොව වෙළෙඳ නාමයෙනි. මේ අනුව ශත 50 ක්‌ වන පැරසිටමෝල් පෙත්ත රුපියල් දෙකේ සිට 10 දක්‌වා විවිධ වෙළෙඳ නාමයන්ගෙන් ෆාමසිවල තිබේ. පපුවේ මහන්සිය හෙවත් 'හතිය' නමැති තත්ත්වයට ගන්නා සල්බියුටමෝල් නමැති ඖෂධීය නාමයෙන් හැඳින්වෙන බෙහෙත් පෙත්ත විවිධ වෙළෙඳ නාමවලින් රුපියල් 2 සිට 15 දක්‌වා මිල ගණන්වලට ෆාමසියේ තිබේ. මේ ආරම්භයක්‌ පමණි. මේ අනුව රුපියල් 100 බෙහෙත් පෙත්තකට රුපියල් 1000 ක්‌ ගෙවීමට සිදුවන අවස්‌ථා ද තිබේ. ඒ බව දැන දැනත් දොස්‌තරවරු අසරණ රෝගීන්ට මිල වැඩි ඖෂධම නියම කරති. එයට හේතුව කොමිස්‌ කෙළිය ද?

ඔව්!

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.