ඒ පාපන්දු බහිරවයා මේ හැර තවත් අරමුදල් ගිල තිබේද?

සභාපති අණින් පරීක්‍ෂණයක්‌


ඉන්ද්‍රජිත් සුබසිංහ

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ලැබුණු අරමුදල්, එහි පසුගිය බලධාරීන් විසින් කොපමණ පමණින් තම පෞද්ගලික ගිණුම්වලට බැරකර ඇතිද යන්න සෙවීමට වත්මන් සභාපතිවරයා විසින් පුළුල් පරීක්‍ෂණයක්‌ අරඹා තිබේ.

මේ සඳහා හේතුවී ඇත්තේ ඉතාලියේ පාපන්දු සංගමයක්‌ විසින් 2008 වසරේදී මෙරට පාපන්දුවේ යටිතල සංවර්ධනය වෙනුවෙන් එවනු ලැබූ යුරෝ 40,400 ක හෙවත් රුපියල් මිලියන 6.3 කට ආසන්න මුදලක්‌ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සර්වබලධාරී චරිතයක්‌ බවට එවක පත්ව සිටි, මේ වන විට ජගත් පාපන්දු සම්මේලනය විසින් ජීවිත කාලයටම බලපාන පරිදි පාපන්දුව තහනම් කර තිබෙන පුද්ගලයෙකු සිය පෞද්ගලික ගිණුමට බැර කර ඇති බවට තොරතුරු හෙළිවීමය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය හර්ලි සිල්වේරා මහතාගේ සභාපතිත්වය යටතේ පැවැති වකවානුවේදී මෙම සිදුවීම සිදුව ඇති අතර ස්‌ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ අංක 021190989-01 දරණ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ගිණුමට 2008-01-11 දා අදාළ ඉතාලි පාපන්දු සංගමය විසින් බැර කළ යුරෝ 40,400 ක මුදල කළුතර පාපන්දු ලීගයේ සංවර්ධනය වෙනුවෙන් කළුතර හැටන් නැෂනල් බැංකුවේ අංක 1110024198 දරණ ගිණුමට බැර කළ බව එවක පාපන්දු සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර හෙබවූ ක්‍රිශාන්ත පෙරේරා මහතා සටහනක්‌ දමා තිබේ.

නමුත් සොයා බැලීමේදී කළුතර පාපන්දු ලීගය නමින් එම බැංකුවේ හෝ එම අංකයෙන් යුත් ගිණුමක්‌ නොමැති බව හෙළිව ඇති අතර, ගිණුම් කටයුතු පිළිබඳව සොයා බැලීමේදී සැබැවින්ම සිදුව ඇත්තේ අදාළ හිටපු පාපන්දු සර්වබලධාරීයාගේ නමින් යුත් කොල්ලුපිටියේ පිහිටි පෞද්ගලික බැංකුවක අනේවාසික යුරෝ මුදල් තැන්පතු ගිණුමකට (2008-01-21 දා) බැර කිරීමය.

මෙරට විදේශ විනිමය ප්‍රතිපත්තියට අනුව පෞද්ගලික ගිණුමකට මෙලෙස මුදල් තැන්පත් කිරීමට අවහිරතා තිබෙන බැවින් ස්‌ටැන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවෙන් අදාළ පෞද්ගලික ගිණුමට මොවුන් මුදල් බැර කරගෙන ඇත්තේ එය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ගිණුමක්‌ ලෙසින් පෙන්වාදෙමින් බවද වාර්තා වේ.

නමුත් මෙම මුදල් බැරකිරීම පිළිබඳ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන මාසික ගිණුම් වාර්තාවේ හෝ වාර්ෂික ගිණුම් වාර්තාවේ කිසිදු සටහනක්‌ නොමැති වීමද පුදුමයට කරුණකි.

ඒ වෙනුවට අදාළ මුදල කළුතර පාපන්දු ලීගයේ සංවර්ධනය උදෙසා ලබාදීමට 'පාපන්දු සම්මේලනය එකඟවිය' යනුවෙන් පමණක්‌ එවක ප්‍රධාන විධායක විසින් සටහනක්‌ තබා ඇත. පාපන්දු සම්මේලන ව්‍යවස්‌ථාවට අනුව 'පාපන්දු සම්මේලනය' ලෙසින් හැඟෙනුයේ පාපන්දු සභාපතිවරයා පමණක්‌ වන අතර පාපන්දු විධායක කමිටුව හෝ කවුන්සිලය යන්න එයින් හැඟවෙන්නේ නැත. එසේම කිසිවෙකු මෙම ගනුදෙනුව අනුමත කළ බවක්‌ද එහි සඳහන් නොවේ. ඒ අනුව මෙම ගනුදෙනුවේදී සෙසු පාපන්දු සම්මේලන නිලධාරීන් නොමග යවා ඇති බවක්‌ ගම්‍යවන අතර මෙම සටහන තබා ඇත්තේ එම මුදල ලැබීමට පෙර දිනයක්‌ සහිතව වීමද කැපී පෙනේ. ඒ අනුව මෙය සියලු ගනුදෙනු සිදුව අවසානයේ පෙර දිනයක්‌ යොදමින් දැමූ සටහනක්‌ද යන සැකයද මතුව තිබේ.

මෙම ගනුදෙනුවේදී ශ්‍රී ලංකා විනිමය ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීමට අමතරව රජයේ විගණකාධිපතිවරයාවද නොමග යවා ඇති අයුරක්‌ පෙනෙන්නට ඇති අතර වත්මන් පාපන්දු පරිපාලනයේ ක්‍රියාත්මකවීම්වලට එරෙහිව මේ වන විට නීතිය ඉදිරියට ගොස්‌ සිටිනුයේද මෙම ගණුදෙනුවේදී ඇඟිල්ල දිගුවන පිරිස්‌ සහ ඔවුන්ගේ අන්තේවාසිකයන් බව පාපන්දු ක්‍ෂේත්‍රයෙන් වාර්තා වේ.

මෙම කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රොද්‍රිගූ මහතාගෙන් 'දිවයින' කරන ලද විමසීමකදී 'පාපන්දු සම්මේලනයේ මුදල් කිසිම විදිහකට එහි නිලධාරියකුගේ ගිණුමට බැර කරන්න බැහැ. මොකද කිසිම නිලධාරියෙකුගේ මුදල් පාපන්දු සම්මේලනයේ තිබිලත් නැහැ. ඇත්තෙත් නැහැ. මේ සල්ලි අරගෙන පාපන්දු සංවර්ධනයට වැයකළා නම් තව කමක්‌ නැහැ. මේවා මේ රටේ දුප්පත් පාපන්දු ක්‍රීඩකයන්ගේ මුදල්. මේ ගනුදෙනුව ගැන සවිස්‌තරාත්මක වාර්තාවක්‌ අපි මීළඟ විධායක කමිටුවට සහ කවුන්සිලයට ඉදිරිපත් කරනවා. ඒ විතරක්‌ නෙමෙයි මේ වගේ ගනුදෙනු කොපමණක්‌ තව කරලා තිබෙනවාද කියලත් පරීක්‍ෂණයක්‌ පවත්වනවා' යෑයි පිළිතුරු දුන්නේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.