ආසියානු පැරාලිම්පික්‌ උළෙලට ශ්‍රී ලංකාව කඳවුරු බඳියි

අනුග්‍රහයට අවස්‌ථාව ඇත!

ඉන්ද්‍රජිත් සුබසිංහ

ඔක්‌තෝබර් මස 18 සිට 24 වැනිදා දක්‌වා දකුණු කොරියාවේ ඉන්චියොන්හී පැවැත්වීමට නියමිත ආසියානු පැරා ක්‍රීඩා උළෙල (ආබාධ සහිත වූවන්ගේ ක්‍රීඩා උළෙල) ට අවස්‌ථාව හිමිකරගැනීම වෙනුවෙන් 100ක පමණ පිරිසක්‌ මේ වන විට සංචිතගත කර පුහුණුවීම් වල යෙදවීමට ජාතික පැරාලිම්පික්‌ කමිටුව කටයුතු යොදා ඇත.

ඒ අතරින් 50කට අධික පිරිසක්‌ ඉන්චියොන් ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් ලබනු ඇතැයි ජාතික පැරාලිම්පික්‌ කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් ඡේ.ආර්. අම්පෙමොහොට්‌ටි මහතා 'දිවයින'ට පැවසීය.

අදාළ ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩා 23ක්‌ අන්තර්ගත වන අතර ඉන් ක්‍රීඩා 9කට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගීකරවීමට ඉලක්‌ක කර තිබේ. මලල ක්‍රීඩා, දුනු විදීම, පාපැදි, සවි එසවීම, පිහිනුම්, වෙඩි තැබීම, මේස පන්දු, ටෙනිස්‌ සහ සිටින් වොලිබෝල් යන අංශයි.

මෙම ක්‍රීඩාවල ශ්‍රී ලංකාවේ සෑම නියෝජනයක්‌ම පළමු දක්‍ෂතා දක්‌වන 6 දෙනා අතරට එනු ඇතැයි අපේක්‍ෂිත අතර මලල ක්‍රීඩා, පිහිනුම් සහ සවි එසවීම යන තරග අංශවලින් පදක්‌කම් පිළිබඳ වැඩි බලාපොරොත්තු තබා සිටියි.

මෙම ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවැති තරගාවලි සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරිපත් කිරීමට ජාතික පැරාලිම්පික්‌ කමිටුවට අවශ්‍ය මුල්‍ය පහසුකම් නොතිබූ නමුත් 2010 වසරේ සිට මේ සඳහා පරිසාධනය සලකන බැවින් එතෙක්‌ මෙතෙක්‌ පැවැති සෙසු ප්‍රධාන තරගාවලි වලදී දක්‌වන ලද දක්‍ෂතා හේතුවෙන් මේ වන විටත් මෙරටින් සැලකිය යුතු පිරිසක්‌ පරිසාධන මට්‌ටම ඉක්‌මවමින් මේ සඳහා සුදුසුකම් ලබා සිටිති. ඔවුනට අමතරව කැපී පෙනෙන දක්‍ෂතා දක්‌වමින් සිටින සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වයිල්ඩ් කාඩ් ක්‍රමයට තරග අවස්‌ථාව උදාකරගැනීමට පැරාලිම්පික්‌ කමිටුව කටයුතු යොදා තිබේ.

මේ දක්‌වා මෙම ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා නියෝජනය සඳහා අනුග්‍රාහකයකු ඉදිරිපත්ව නැති නමුත් අපේක්‍ෂිත නියෝජනය ලබාදීමට තමන්ට අවස්‌ථාව හිමිවෙතැයි ජාතික පැරාලිම්පික්‌ කමිටුව බාලාපොරොත්තු තබා සිටියි.

'ගිය වතාවෙත් අපිට ආසියානු පැරාලිම්පික්‌ උළෙලට යන්න විශේෂ අනුග්‍රාහකයෙක්‌ ඉදිරිපත් වුණේ නැහැ. නමුත් ක්‍රීඩා අමාත්‍යංශය ඉදිරිපත්වෙලා බරපැණෙන් වැඩි කොටසක්‌ දරමින් අපට ඒ අවස්‌ථාව ලබා දුන්නා. ක්‍රීඩක ක්‍රීඩිකාවන් නියෝජනය කරන ක්‍රීඩා සමාජවලත්, වෙනත් පරිත්‍යාගශීලී පුද්ගලයන්ගෙත් යම් සහයෝගයක්‌ ලැබෙනවා. මෙවරත් අපිට ඒ අංශවල සහයෝගය ලැබෙයි කියලා හිතනවා. ඒ වගේම යම් සමාගමක්‌ ඉදිරිපත් වෙනවා නම් ඒක අගය කරනවා' යෑයි ජාතික පැරාලිම්පික්‌ කමිටු සභාපතිවරයා වැඩිදුරටත් පවසන ලදී.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.