ජයග්‍රාහී ශ්‍රී ලංකාවට රන් 5යි රිදී 9යි

අසේල විතාන

එළැඹෙන පොදුරාජ්‍ය මණ්‌ඩලීය තරගාවලියේදී ශ්‍රී ලංකාවට සුබවාදී බොක්‌සිං පදක්‌කම් බලාපොරාත්තුවක්‌ ඇති කළ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුගියදා අවසන් වූ 'ලයන්ස්‌ කුසලාන' ජාත්‍යන්තර බොක්‌සිං තරගාවලියේදී රන් පදක්‌කම් 5 ක්‌ සහ ලෝකඩ පදක්‌කම් 9 ක්‌ දිනා ගැනීමට සමත් වූහ.ශ්‍රී ලංකා ආධුනික බොක්‌සිං සංගමය විසින් රටවල් 10 ක සහභාගීත්වයෙන් පළමු වරට පවත්වන ලද ලයන්ස්‌ කුසලාන ජාත්‍යන්තර තරගාවලියේ සමස්‌ත ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. එහිදී දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාවේ මොහොමඩ් ඩිල්ෂාන් සම්මාන ලැබූ අතර දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස අනුෂා කොඩිතුවක්‌කු සම්මාන ලැබුවාය.

විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 70 කට අධික සංඛ්‍යාවක්‌ සහභාගි වූ මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්‌කම් දිනා ගැනීමට මොහොමඩ් ඩිල්ෂාන්, දිනේෂ් සපරමාදු, අනුරුද්ධ රත්නායක, මලිත් ප්‍රභාෂ්වර සහ අනුෂා කොඩිතුවක්‌කු යන ක්‍රිඩක ක්‍රීඩිකාවෝa සමත් වූහ.

බොක්‌සිං පිටියේ දිගු නිහැඩියාවකින් පසු යළිත් ජාත්‍යන්තර වළල්ලට පැමිණි අනුරුද්ධ රත්නායක කි.ග්‍රෑ. 52 ෆ්ලයි බර පංතිය යටතේ කරට කර ප්‍රහාරවලින් අනතුරුව පිලිපීනයේ ඉයන් ක්‌ලාර්ක්‌ පරදා රන් පදක්‌කම දිනා ගැනීමට සමත් විය. අනුරුද්ධ හමුවේ පරාජය වූ ඉයන් දක්‍ෂතම පරාජිතයා ලෙස සම්මාන ලැබීය. ශ්‍රී ලංකාවට පළමු රන් පදක්‌කම දිනා දුන් මොහොමඩ් ඩිල්ෂාන් කි.ග්‍රැ. 64 ලයිට්‌ වෙල්ටර් බර පංතිය යටතේ කෙන්යාවේ ඩෙනිස්‌ ඔකුත් පරාජය කරමින් ශ්‍රී ලංකාවට පළමු රන් පදක්‌කම දිනා දීමට සමත් විය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන් අතරින් ශ්‍රී ලංකාවේ ඉහළම බලාපොරොත්තුව වූ අනූෂා කොඩිතුවක්‌කු කි.ග්‍රෑ. 45-51 ෆ්ලයි බර පංතිය යටතේ තායිලන්තයේ සොපියා සකුරාම් පරාජය කරමින් රන් පදක්‌කම දිනා ගත්තාය. සොපියා සකුරාම් දක්‍ෂතම පරාජිත ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍ර වූවාය.

කි.ග්‍රෑ. 60 ලයිට්‌ බර පංතිය යටතේ රන් පදක්‌කම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනකු වන දිනේෂ් සපරමාදු සහ අනුරුද්ධ ගුණතිලක තරග වැදුන අතර එහිදී රන් පදක්‌කම දිනේෂ් සපරමාදුට හිමිවිය. කි.ග්‍රෑ. 49 ලයිට්‌ ෆ්ලයි බර පංතිය යටතේද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනා තරග වැදුන අතර එහිදී රන් පදක්‌කම මලිත් ප්‍රභාෂ් විසින් දිනා ගත් අතර රිදී පදක්‌කම ගයාන් මධුෂාන්ට හිමිවිය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකඩ පදක්‌කම් 9 දිනා ගැනීමට සේනානායක නවරත්න, දිවාරත්න මල්ලවාරච්චිගේ, දමිත් විඡේරත්න, මංජු වන්නිආරච්චි, ගයාන් ජයවීර, සුරේෂ් පට්‌ටිආරච්චි, ශිරෝමාලා විඡේරත්න, ශෂිකලා චන්ද්‍රසේකර සහ හිම්හානි ද සිල්වා යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.